ක්‍රීඩා අමාත්‍යංශය සතු ඉඩම හොර පාරෙන් ලෝක හොරෙකුට

ක්‍රීඩා අමාත්‍යංශය සතු ඉඩම හොර පාරෙන් ලෝක හොරෙකුට

3 September 2015 04:24 am

ක්‍රීඩා අමාත්‍යංශයට අයත්, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පාලනය වන ඉඩමක් ජාත්‍යන්තර මුල්‍ය වංචාවකට සම්බන්ධ රියෙන්සි එඩ්වඩ් නැමැත්තෙකුට හොර පාරෙන් ලබාදී ඇති බව වාර්තා වේ. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මෙම ගනුදෙනුව සිදුවී තිබේ. 
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයට අයත් මෙම ඉඩම වසර සියයකට අධික කාලයක් තිස්සේ අශ්ව රේස් සඳහා භාවිතා කළ අතර ඒ ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් නැමැති මෙරට පැරණිතම හා කීර්තිමත් ක්‍රීඩා සමාජයයි. එම ක්‍රීඩා සමාජය ක්‍රීඩා අමාත්‍යංශයට නියමිත බදු මුදල් ගෙවමින් එම ඉඩම අශ්ව රේස් සඳහා භාවිතා කළ අතර වසර සියයකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කළේය. එසේම එම ක්‍රීඩා සමාජය අදාල ඉඩම නිසි පරිදි නඩත්තු කරමින් සංවර්ධනය කර තිබේ.
 
එහෙත් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් පාලනාධිකාරියට දන්වා ඇත්තේ අදාල ඉඩම රෝයල් ලංකා ටර්ෆ් ක්ලබ් වෙත භාරදෙන ලෙසයි. ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් පාලනාධිකාරිය සිදුකළ සොයාබැලීමකදී හෙලිවී ඇත්තේ රෝයල් ලංකා ටර්ෆ් ක්ලබ් නමින් කිසිදු ක්‍රීඩා සමාජයක් නොමැති බවයි. සුගතදාස පාලනාධිකාරිය මෙම ඉඩම ලබාදී ඇත්තේ රියන්සි එඩ්වඩ් නැමැති ජාත්‍යන්තර මුල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකුටයි. මෙම පුද්ගලයා ඇමරිකාවේ සහ හොංකොං හි ඇමරිකානු ඩොලර් මිලියන 44 ක මුදල් වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර එම වංචාවලින් පසු ඔහු මෙරටට පැමිණ තිබේ. එම රටවල් පුද්ගලයන් විසින් සිදුකළ පැමිණිලි මත මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට පරීක්ෂණයක් සිදුකරමින් තිබේ. 
 
රියන්සි එඩ්වඩ් නැමැති පුද්ගලයාට මෙම ඉඩම ලබාදී ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි. එසේම වසර සියයකට අධික කාලයක් මෙම ඉඩම පරිහරණය කළ ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් ක්‍රීඩා සමාජය වෙත ඉඩම නැවත සුගතදාස පාලනාධිකාරිය වෙත පවරා ගන්නා බව කලින් දැන්විය යුතු වුවද එම පාලනාධිකාරිය එසේ ක්‍රියාකර නොමැත. 
 
ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් පාලනාධිකාරිය ප්‍රකාශ කරන්නේ තමන්ට කිසිදු දැනුම්දීමකින තොරව ඉඩම නැවත ලබාගෙන රියන්සි එඩ්වඩ් වෙත ලබාදී ඇති බවයි. මෙය සිදුවී ඇත්තේ රියන්සි සහ සුගතදාස පාලනාධිකාරිය අතර සිදුවූ නීත්‍යනුකූල නොවන අතයට ගනුදෙනුවකිනි. සුගතදාස පාලනාධිකාරියේ පුද්ගලයන් රියන්සි එඩ්වඩ්ගෙන සන්තෝෂම් ලබාගෙන මෙම නීතිවිරෝධී ගනුදෙනුව සිදුකර තිබේ. 
 
ශ්‍රී ලංකා ටර්ෆ් ක්ලබ් ක්‍රීඩා සමාජය පවසන්නේ මෙය නීතිවිරෝධී ගනුදෙනුවක් බවත් හා එතුළින් දීර්ඝ ඉතිහාසයක් සහ කීර්තිමත් ඉතිහාසයක් හිමි තම ක්‍රීඩා සමාජයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත්ය. මේ නිසා එම ක්‍රීඩා සමාජය මෙම දෙපාර්ශ්වයට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට ද පැමිණිලි කර තිබේ.
 
මේ අනුව සුගතදාස ජාතික ක්‍රිඩා සංකීර්ණ අධිකාරිය නීතිවිරෝධී අන්දමින් කටයුතු කර ඇති අතර ඉඩම ලබාදී තිබෙන්නේ කිසිදු නීතිමය තත්වයක් නොමැති නාමික රෝයල් ලංකා ටර්ෆ් ක්ලබ් නැමැති ක්‍රීඩා සමාජය හරහා ජාත්‍යන්තර මුල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයෙකුටයි.