අගමැතිගෙන් රන්ජන්ට උපන්දින සුභ පැතුම්!

අගමැතිගෙන් රන්ජන්ට උපන්දින සුභ පැතුම්!

11 March 2016 08:08 am

අද (11) උපන්දිනය සමරන සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට උදෑසනම දුරකතනයෙන් අමතා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ උපන්දිනයට සුභ පතා ඔහු විසින් කරගෙන යනු ලබන සමාජ සේවා සහ දූෂන විරෝධී කටයුතු අඛණ්ඩව කරගෙන යන මෙන් ඉල්ලා තිබේ.

එහිදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අගමැතිවරයාට  ‘සර් මම අර කුලියාපිටියේ ඉස්කෝලෙ දරුවව හම්බවෙන්න ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒක මගේ මැතිවරණ කළාපය නොවුනත් ඒ අම්මටයි පුතාටයි සිදුවෙච්ච අසාධාරණය නිසාමයි මට එහෙම යන්න සිද්ධ වුනේ. මම වෙන කවුරුවත් කපන්න හිතාගෙන ගිය ගමනක් නෙමෙයි මේක. සර් මං ගැන වරදවා හිතන්න එපා' යනුවෙන් සඳහන් කළ විට

‘කිසිම ප්‍රශ්නයක් නෑ රන්ජන්. ඔයා ඒකට මැදිහත් වෙච්ච එක ඉතා හොඳයි. අදාළ අය මාස 2 ක් යනකන් කිසිදෙයක් කලේ නෑ. අනික අපි ඉස්කෝලයක් හොයල දෙන්නෙ දරුවට මිසක් අම්මට නෙමෙයි. ඔයා ප්‍රශ්නෙට මැදිහත් වෙලා ආණ්ඩුව බේරගත්තා. මැතිවරණ කොට්ඨාශ ගැන හිතන්න එපා. නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට මුළු ලංකාවම ඔයාට එක මැතිවරණ කළාපයක් කියල හිතාගෙන වැඩ කරන්න' යනුවෙන් අගමැතිවරයා එකෙණෙහිම පවසා ඇත.