අගමැති ආර්යාවගේ ආදර්ශය !

අගමැති ආර්යාවගේ ආදර්ශය !

13 September 2015 01:22 pm

ඊයේ (12) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ A කමිටු ශාලාවේදී, ආචාර්ය හංසමාලා රිටිගහපොල මෙනෙවිය විසින් සම්පාදිත 'පී. මලල්ගොඩ ලිපි එකතුව' කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසිනි. ආචාර්ය හංසමලා රිටිගහපොල මෙනවිය ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන්නියක් බැවින් උත්සවය සඳහා ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාලයන්හි ආචාර්ය මහාචාර්යවරුන් රාශියක් පැමිණ සිටිනු දක්නා ලදී. 
 
උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පැමිණෙනු දකිත්ම ආරාධිතයන් සියලුම දෙනා විස්මයට පත්ව තිබේ. ප්‍රධාන දේශනය සිදුකළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇයගෙන් විමසා ඇත්තේ 'මම දැක්කෙ නෑනෙ ඉස්සරහ සීට්එකේ ඔයා ඉන්නවා. දැන් ද ආවෙ ?' කියාය. ඊට පිළිතුරු දී ඇති මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පවසා ඇත්තේ 'මම එන්න ටිකක් පරක්කු වුනා. ඒ වෙලාවෙ ඉස්සරහ සීට්වල ඉඩ තිබුණෙ නෑ. ඒක නිසා මම මගේ යාලුවත් එක්ක බැල්කනි එකට ගිහින් වාඩිවෙලා සම්පූර්ණ වැඩසටහනම බැලුවා. මහාචාර්යතුමාගෙ දේශනය හරිම අපූරුයි.' යනුවෙන් පවසා තිබේ.
 
ඇගේ පිළිතුරෙන් විස්මයට පත්ව ඇති ආරාධිතයන් එකිනෙකා මුමුණා ඇත්තේ 'පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඕකටයි. හිටපු ආර්යාවක් උත්සවයට ආව නං සෙකියුරිටි එකටයි එයාටයි වෙනම පේළි දෙකක් වෙන් කරන්න වෙනවා. එයා එනකං උත්සවේ පටන් ගන්න වෙන්නෙත් නෑ. පොතේ කර්තෘ පැත්තක තියල හැම මාධ්‍යයක්ම පෙන්නන්න ගන්නෙ එයාව. මේක තමයි එදයි අදයි වෙනස' කියාය.