තර්ජිනීලා අපට කියන ආර්ථික යුද්ධයේ ශෝකාන්තය

තර්ජිනීලා අපට කියන ආර්ථික යුද්ධයේ ශෝකාන්තය

11 September 2018 06:59 am

යාපනයේ ඉපිද මඩකලපුවට පැමිණ දැල් පන්දුව අතට ගන්නා ඇය අවසානයේ නවතින්නේ මෙරට දැල්පන්දු ඉතිහාසයට ආසියානු ශූරතා දෙකක් එක්කරමිනි. ආසියානු දැල්පන්දුවේ "ජිරාෆ්" ඇය විය යුතුය. අනෙක් සියලුම ක්‍රීඩිකාවන් කළ යුතුව තිබුණේ කෙසේ හෝ ඇයට පන්දුව පිරිනැමීම විතරය. ඇය ගෝල් කණුව අසල සිටිමින් ඉතා පහසුවෙන් පන්දුව දැල තුලට දමන්නේ තම උසට බාධා කරන්නට එකියෙක් ලොව නොමැති බව දන්නා නිසාමය. 2009 දීත් 2018 දීත් ඇය ලංකාව වෙනුවෙන් ආසියානු ශූරතාවක් දිනා දීමට කළ කී දෑ සහ දැරූ බර කිරා මැන බැලීම අසීරුය.
ඇය දෙමලෙකි. පට්ට දෙමළෙකි. යාපනයේ දෙමළෙක් වූ ඇය ලංකාවටම කියන නමුත් කිසිවකු තේරුම් නොගන්නා කතාවකි. ලංකාවේ බහුතරය අදහන්නේ තර්ජිනීලා සාමයේ හා සංහිඳියාවේ ප්‍රතිමූර්තීන් ලෙසය. නමුත් තර්ජිනී පවසන ඇතුලාන්තය තේරුම් ගැනීමට තරම් අප සංස්කෘතිකව මෝරා නැත. නැත්තම් අපි කැමති නැත. තර්ජිනීලා දැල්පන්දුව අල්ලන්නේ අවම ක්‍රීඩා පහසුකම් තිබෙන නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී මිස පාසලේදී නොවේ. දකුණේ කෙල්ලන්ට වාගේ පාසලේ පටන් දැල්පන්දු ගහන්නට පහසුකමක් තර්ජිනීලාට තිබුණේ නැත. දකුණේ කෙල්ලන්ට වාගේ කොට සායක් ඇඳගෙන පිටියට බහින්නට තර්ජිනීලාට ඉඩක් තිබුණේද නැත.
 
තර්ජිනීලා අපට කියන කතාව නම් මෙරට ඇති ආර්ථික යුද්ධයේ ශෝකාන්තයයි. තර්ජිනීට මෙරට ආර්ථික යුද්ධය ජයාගැනීමට අවැසි උසක් දෙවියන් ඇයට ලබාදී තිබුණි. තර්ජිනීට එසේ අසාමාන්‍ය උසක් නොතිබිණි නම් තර්ජිනී අද යාපනයේ කොහේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක සේවය කරනු ඇත. තර්ජිනීලා වාගේ සියයක් යාපනයෙන් මඩකලපුවෙන් කිළිනොච්චියෙන් සොයා ගැනීම අපහසු නැත. නමුත් ලංකාවට ඇති ලොකුම ගැටලුවත් ඒ තර්ජිනීලා සොයා ගැනීමට ඇති නොහැකියාවය.
 
tharjini sivalingam 02පාසල් ක්‍රීඩාව උතුරේ පමණක් නොව දකුණේ ද බෙදෙන්නේ විවිධ හැඳිවලිනි. ක්‍රීඩා සමාජ ජාලය ඇත්තෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා භාර නිළධාරියා සඳහා රාජකාරියක් මවන්නට මිස ක්‍රිඩකයන් තනන්නට නොවේය. ජාතික තේරිම් පද්ධතියක් ක්‍රියාත්මක වන්නට තියා එහෙව් පද්ධතියක්වත් නැත. නමුත් අප තවමත් යාපනෙන් ආ තර්ජිනී ගැන උදම් අනමින් සිටින්නෙමු.
 
ක්‍රීඩා ජීවිතය තුල මා දැක ඇති හොඳම ශාරීරික යෝග්‍යතාවක් සහිත වේගපන්දු යවන්නා කිළිනොච්චියේ දෙමළෙකි. පන්දුවාර 8 ක් වේගයේ කිසිම අඩුවක් පාඩුවක් කිසිම හතියක් අමාරුවක් නොමැතිව ඔහු පන්දු යවයි. පසුවදාට වුව ද ඔහු පන්දු යවන්නට සුදානම්ය. නමුත් ඔවුන් කිසිදා කොළඹක් දැක නැත. පැමිණෙන්නට සිහිනයක් වත් ඔවුන් සතුව නැත. දවල් හීන දැක තේරුමක් නැති බව ඔවුන් තේරුම් ගෙන ඇතිවා විය යුතුය.
 
අප තර්ජිනී ගැන උදම් අනන්නේ ඇය අපට ආසියානු ශූරතාවක් දිනා දුන් නිසා විතරය. අප මුරලි ගැන උදම් අනන්නේ ද ඔහු ක්‍රිකට් ලොව දිග්විජය කළ නිසා විතරය. එසේ නොවන්නට එදත් අදත් හෙටත් මුරලිලා තර්ජිනීලා බෙදුම්වාදී හැඩි දෙමළුන් විතරය.
 
ලංකාවේ පොදුජන සමාජය එළියට පැමිණිය යුතු සංස්කෘතික යුද්ධයත් ආර්ථික යුද්ධයත් තර්ජිනීලා අපට පෙන්වා ඉවරය. ලංකාව සංස්කෘතික හා ආර්ථික ත්‍රස්තවාදය පරදන මොහොතේ පටන් තර්ජිනීලා යාපනෙන් කිළිනොච්චියෙන් මඩකලපුවෙන් පමණක් නොව මහඔය, බිබිල, පදියතලාවෙන් ද සිය ගණන් බිහිවනු ඇත.
 
අසංක අරඹේගොඩ