තිසරගේ මංගල ශතකය අපතේ යයි, ලකුණු 21 ක පරාජයක් !

තිසරගේ මංගල ශතකය අපතේ යයි, ලකුණු 21 ක පරාජයක් !

5 January 2019 09:25 am
අද (05) පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක පරාජයක් ලැබීමට නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිටත් 2-0 ක් ලෙස නවසීලන්තය ජයගෙන සිටී.
නවසීලන්තය ලබාදුන් ලකුණු 320 ක ඉලක්ක හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 128 ක් ලකුණු පුවරුවේ සටහන් වනවිට දැවී ගියේ තවත් දැවැන්ත පරාජයක සළකුණු පෙන්වමිනි. ඉන්පසු පිටියේ එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ නායක ලසිත් මාලිංග නවසීලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කරමින් ලකුණු පුවරුව ඉදිරියට ගෙනගියේ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නළලත රැළි ගන්වමිනි.
 
27 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ඔවුන් දෙදෙනා අටවැනි කඩුල්ලට ඇරඹූ සම්බන්ධතාවය 36 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ලසිත් මාලිංගගේ දැවීයාමෙන් අවසන් වනවිට ඔවුන් දෙදෙනා ලකුණු පුවරුවට ලකුණු 75 ක් එකතු කර තිබිණි. ඉන්පසු නැවතත් තරගයේ ජයග්‍රහණය නවසීලන්තය වෙතට දෝලනය වූ අතර කෙසේ වෙතත් තිසර පෙරේරා හා එක්වූ ලක්ෂාන් සඳකැන් 9 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 51 ක් එකතු කළේය. ලක්ෂාන් සඳකැන් දැවී යනවිට ලකුණු පුවරුව සටහන් වූයේ 254 ක් ලෙසයි.
 
අවසන් කඩුල්ල සඳහා තවත් ලකුණු 66 ක් ලබා ගැනීමට තිබූ අතර ඒ සඳහා තවත් පන්දු 42 ක් ඉතිරිව තිබිණි. ඉන්පසු තිසර පෙරේරා සිය සහායක පිතිකරු වූ නුවන් ප්‍රදීප්ගේ කඩුල්ල ද ආරක්ෂා කර ගනිමින් තරගය කෙසේ හෝ ජයග්‍රහණය කරා ගෙනයෑමට උත්සාහ කළ අතර 46 වැනි පන්දුවාරය අවසන් වනවිට පන්දු 24 කදී ලකුණු 26 ක් රැස් කරගත යුතුව තිබිණි. කෙසේ වෙතත් 47 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී තිසර පෙරේරා මැට් හෙන්රිගේ පන්දුවකට ට්‍රෙන්ට් බෝල්ට් අතට උඩපන්දුවක් ලබාදීමෙන් සියල්ල අවසන් විය. ඒ වනවිට ලකුණු පුවරුව සටහන් වූයේ 298 ක් ලෙසයි.
 
26 වැනි පන්දුවාරයේදී පිටියට පිවිසි තිසර පෙරේරා සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් පන්දු 74 කදී ලකුණු 140 ක් ලබා ගැනීමට සමත් විය. තිසර පෙරේරා සිය මංගල ශතක සඳහා වැය කළේ පන්දු 57 ක් පමණි. එය ශ්‍රී ලාංකිකයෙකු රැස්කළ තෙවැනි වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්වේ. තිසරගේ වේගවත් ලකුණු 140 ට හයේ පහර 13 ක් හා හතරේ පහර 8 ක් ද අන්තර්ගත විය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 319 ක් රැස්කළ අතර ඊට කොලින් මන්රෝ ලකුණු 87 කින්, රොස් ටේලර් ලකුණු 90 කින් සහ ජිමී නීෂාම් වේගවත් ලකුණු 64 කින් දායක වූහ.
 
ශ්‍රී ලංකා ඉනිමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 71 ක් ලබා ගැනීමට සමත් වූ අතර තිසර පෙරේරාට අනගි දායකත්වයක් ලබාදුන් ලසිත් මාලිංග ලකුණු 17 ක් ලබා ගත්තේය. ලක්ෂාන් සඳකැන් පන්දු 20 ක් තුළ තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 6 ක් ලබා ගත්තද එය අතිශය තීරණාත්මක විය.
 
තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා හිමිකර ගත් අතර දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය 8 වැනිදා නෙල්සන්හිදී පැවැත්වේ.
 
තරගයේ ලකුණු පුවරුව....