ක්‍රිකට් නීති ප්‍රශ්න කරන සිදුවීම් දෙකක් !

ක්‍රිකට් නීති ප්‍රශ්න කරන සිදුවීම් දෙකක් !

7 January 2019 02:15 pm
ඕනෑම ක්ෂේත්‍රයක නීති පනවන්නේ ඊට අදාල ක්ෂේත්‍රයේ යහපත, පැවැත්ම වෙනුවෙනි. ඒ අනුව එම පනවන නීති වඩාත් සාධාරණ විය යුතුය. එය ක්‍රීඩාවටද පොදු කරුණකි.
ඕනෑම ක්‍රීඩාවක නියුතු පුද්ගලයන් එකී ක්‍රීඩාවට අදාල නීති පිලිපැදිය යුතු අතර නීතිවලට අවනත නොවන්නේ නම් ඊට එරෙහිව දඬුවම් පමුණුවනු ඇත.
 
ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පනවා ඇති නීති පද්ධතිය නැවත ප්‍රශ්න කරන සිදුවීම් දෙකක් පසුගිය දිනවල වාර්තා විය.
 
පළමු සිදුවීම
 
පසුගිය දෙසැම්බර් 24 වැනිදා පැවති බංග්ලාදේශ-බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි 20/20 තරගයේදී කොදෙව් කණ්ඩායම පන්දු යවමින් සිටින විට පිටියේ විනිසුරුවරයා නිපන්දුවක් සටහන් කිරීම සම්බන්ධයෙන් දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
 
ඉනිමේ සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළේ කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස්ය. එම පන්දුවාරයේ අවසන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් උඩ පන්දුවක් ලබාදුන් අතර එම උඩ පන්දුව ලෝන්ග් ඕෆ් ක්‍රීඩකයා සුරැකිව රැකගත්තේය. කෙසේ වෙතත් පිටියේ විනිසුරු බංග්ලාදේශ ජාතික තන්වීර් අහ්මඩ් එය නිපන්දුවක් වශයෙන් සටහන් කළ අතර එහෙත් එය නීත්‍යනුකූල පන්දුවක් බව බැලූ බැල්මට පෙනිණි. විනිසුරුගේ තීරණයට කොදෙව් නායක කාලෝස් බ්‍රේත්වේට් ඇතුළු ක්‍රීඩකයන් විරෝධය පළකර අතර කොදෙව් නායකයා විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව ලබා ගත්තේය.
 
විනිසුරුවරයාද තමන්ට වැරදුණු බව අවබෝධ කරගත් අතර ඔහු සිය තීරණය වෙනස් කිරීම සඳහා සූදානම් විය. කෙසේ වෙතත් තරග තීරක ජෙෆ් ක්‍රෝගෙන් ඒ සඳහා අවස්ථාව නොලැබුණු අතර ජෙෆ් ක්‍රෝ සහ කොදෙව් ක්‍රීඩකයන් අතර මිනිත්තු කිහිපයක කතාබහක් සිදු විය.
 
විනිසුරුගේ තීරණය අවසන් තීරණය බවට පත් වෙමින් එම පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කෙරුණු අතර ඊට හේතු වූයේ ක්‍රිකට් නීතිවලට අනුව පන්දු යවන්නා සීමා ඉර ඉක්මවා යන්නේද යන්න සම්බන්ධයෙන් විනිසුරු තීරණ නැවත විමසා බැලීමට අවස්ථාව නොමැතිවීමයි.
 
ක්‍රිකට් විනිසුරුවරුන්ද මනුෂ්‍යයන් වන බැවින් ඔවුන්ට ද වැරදීම් සිදුවිය හැකිය. එහෙත් ක්‍රිකට් නීතිවලට අනුව විනිසුරුවරයා සර්ව බලධාරියා වන අතර ඔහුගේ තීරණය අවසන් තීරණය වේ. ඉහත තරගයේදී සිදු වූ මෙම සිදුවීම තරගයේ තීරණයට බලපෑමක් එල්ල නොකළ නමුත්, තරගයේ අතිශය උණුසුම් උද්වේගකර මොහොතක මෙවැනි සිදුවීමක් වූයේ නම් එය පන්දු යවන කණ්ඩායමට දැඩි අසාධාරණයකි.
 
අනෙක් වැදගත් කරුණ වන්නේ අදාල පන්දු වාරයේ පස්වැනි පන්දුව ද විනිසුරුවරයා නිපන්දුවක් වශයෙන් සටහන් කළ අතර එය ද බැලූ බැල්මට නීත්‍යනුකූල පන්දුවක් ලෙස පෙනිණි.
 
එම පන්දුවාරයේදී බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 30 ක් ලබාගත් අතර ඉන් ලකුණු අඩකටම දුර්වල විනිසුරු තීරණ හේතු විය. එපමණක් නොව කොදෙව්වන්ට වටිනා කඩුල්ලක් ද අහිමි විය.
 
ලකුණු 15 ක් යනු 20/20 තරගය විශාල ලකුණු සංඛ්‍යාවක් වන අතර ගැටලුව වන්නේ විනිසුරුවරුන් වැරදි සිදු කිරීම පමණක් නොවේ. වැරැද්දක් සිදු වූ විට ඉන් ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණය වලක්වාලීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොවීමයි.
 
දෙවැනි සිදුවීම
 
දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායක ෆැෆ් ඩුප්ලෙසීට තරග තහනමක් නියම කර ඇති අතර ඒ අනුව පකිස්තානය සමග වොන්ඩරස්හිදී පැවත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ඔහුට අහිමි වනු ඇත. මෙම තරග තහනමට හේතුව වන්නේ දකුණු අප්‍රිකා-පකිස්තාන් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය කණ්ඩායමේ පන්දු වාර සංඛ්‍යාව යැවීම සඳහා නියමිත කාලයට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමයි. (slow over-rate)
 
ඩුප්ලෙසි පසුගිය වසරේ ජනවාරි මාසයේදීද එම චෝදනාවට වැරදිකරු වූ අතර ඒ අනුව වසරක කාලය තුළ දෙවැනි වතාවටත් එම වරද සිදු කිරීම හේතුවෙන් එක් තරගයක තහනමක් පනවා තිබේ.
 
එම තරගයේ පිටියේ විනිසුරුවරුන් වූ බෘෘස් ඔක්සන්ෆර්ඩ්, ජොඑල් විල්සන්, තෙවැනි විනිසුරු එස්. රවී යන විනිසුරුවරුන් ලබාදුන් වාර්තාවලට අනුව තරගයේ තීරක ඩේවිඩ් බූන් මෙම තරග තහනම ක්‍රියාත්මක කර තිබේ. 
 
මෙම තරගයේදී දකුණු අප්‍රිකානුවන් වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු සමග ක්‍රීඩා කළ අතර ඩුප්ලෙසි පකිස්තානුවන්ට එරෙහිව භාවිතා කළේ එම වේග පන්දු යවන්නන් සිව්දෙනා පමණි.
 
සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ට වඩා වේග පන්දු යවන්නන්ට ඕවරයක් අවසන් කිරීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය වේ. ඒ අනුව දඟ පන්දු යවන්නන් හා වේග පන්දු යවන්නන් මිශ්‍රණයක් සහිත තරගයකදී භාවිතා කරන නීති-රීතිම වේග පන්දු යවන්නන් පමණක් භාවිතා කරන විට ක්‍රියාත්මක වීම අදාල කණ්ඩායමට අසාධාරණයකි. අනෙක් අතින් වේග පන්දු යවන්නන් පමණක් භාවිතා කරන්නේ තණතිල්ලේ ස්වභාවය අනුවයි, තණතිල්ල වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර බැවිනි.
 
එකිනෙකට වෙනස් තත්වයන් දෙකකදී එක හා සමාන නීති-රීති පද්ධතියක් අනුගමනය කිරීම සුදුසු නොවන අතර ඒ අනුව පන්දු යැවීම සඳහා ගතවන කාලය සම්බන්ධයෙන් පවත්නා නීති වෙනස් විය යුතුය. ඊට තවත් හේතුවක් වන්නේ වර්තමානයේ ටෙස්ට් ක්‍රිකට් තරගවල පවත්නා තරගකාරීත්වය අනුව මෙවැනි තරග තහනම් ක්‍රියාත්මක වීම් සුලබ කරුණක් වීමයි.
 
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති ක්‍රියාත්මක විය යුත්තේ ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙනි. එකී නීතිවලින් කිසිදු කණ්ඩායමකට හෝ කිසිදු ක්‍රීඩකයෙකුට හෝ අසාධාරණයක් නොවිය යුතුය.
 
ඉහත පළමු සිදුවීමේදී තරග විනිසුරුවරයා තමන් අතින් වැරැද්දක් සිදු වූ බව පිළිගත්තද එහෙත් ක්‍රිකට් නීතිවලට අනුව නැවත එම වරද නිවැරදි කරගත නොහැකිය. එය නිපන්දුවක් නොවන බව විනිසුරුවරයා ද දනී, පන්දුවට පහර දුන් ක්‍රීඩකයා ද දනී. එපමණක් නොව තරග තීරකවරයා ද දනී. එහෙත් ක්‍රිකට් නීතිවලට අනුව කිසිවෙකුට කිසිවක් කළ නොහැකිය. දැන දැනත් කොදෙව්වන්ට සිදු වූ අසාධාරණය ඉවසා සිටිය යුතුය. මන්ද සර්ව බලධාරියා විනිසුරුය.
 
මෙවැනි ක්‍රිකට් නීති වෙනස් විය යුතුමය.
 
UN