ජාතික දැල්පන්දු කණ්ඩායම තේරීම පසෙකලා අමුතු නිලවරණයක් !

ජාතික දැල්පන්දු කණ්ඩායම තේරීම පසෙකලා අමුතු නිලවරණයක් !

31 January 2019 04:30 am

ජාතික කණ්ඩායම තේරීම පසෙකලා අමුතු නිලවරණයක් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද සැරසේ.

 

ජූලි මස පැවැත්වෙන ලෝක සූරතාවය සඳහා පුහුණුවීම් වල යෙදෙන ජාතික දැල්පන්දු කණ්ඩායමේ තේරීම් තරග ජනවාරි 20 වැනිදා වන විට පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් අද වනතුරු ඒ කිසිවක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇත. ඒ හැර, ජූනි මස පැවැත්වෙන ආසියානු යොවුන් තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායමට මේ වනතෙක්ම පුහුණුකරුවෙක් පත් කර ගැනීමට ද බලධාරීන් අසමත් වී ඇත.

ව්‍යවස්ථාවට අනුව දැල්පන්දු නිලවරණයක් පැවැත්විය යුත්තේ වසර 4 ට වරක් ය. ඒ අනුව 2017 න් පැවති අවසාන නිලවරණයෙන් පසුව ඊ ළඟ නිළවරණය පැවැත්විය යුත්තේ 2021 වසරේ දී ය. නමුත් පසුගිය දා දැල්පන්දු ෆෙඩරේෂනයට අදාල සම්මේලන කැඳවන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද අවධාරණය කරන්නේ නිලවරණයක් පැවැත්විය යුතු බවයි.

1. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද විසින් සියලුම අත්‍යවශ්‍ය රාජකාරී පසෙක ලා නිලවරණ පවත්වන්නට හදන්නේ කවුරුන් බලයට පත් කිරීමේ අවශ්‍යතාව මත ද ?

2. 2017 නිළවරණයට පෙර , ලක්ෂ්මී වික්‍ටෝරියාගේ යුගයේ සිට පැවති ලක්ෂ 3 ක මුදල් අක්‍රමිකතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ගත් පියවර කුමක්ද ? 2017 වන විට තිබූ ලක්ෂ 3 කට අධික මුදල් අක්‍රමිකතාව 2019 වන විට Write off කර අමතක කර දැමිය හැකිද ?

3. වත්මන් උප සභාපතිනිය වන ලක්ෂ්මී වික්ටෝරියා මේ යෝජිත නිලවරණය සහ බල සැලසුම පසුපස රඟන භූමිකාව කුමක්ද ?

4. හයිසින්ත් විජේසිංහ සහ දීප්ති අල්විස් නැවතත් කණ්ඩායම් පුහුණුකරුවන් වීමට සහ ස්වේච්ඡාවෙන් තම දැනුම බෙදන්නට ඉදිරිපත් වන්නේ සද්භාවයෙන් ද ? ඔවුන්ගේ පුහුණුකරු ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් මේ අර අදින්නේ කුමකටදැයි නොවැටහේද ?

5. යොවුන් කණ්ඩායමේ ජාතික පුහුණුකාරිණිය ලෙස පළමුව ආධුනික පුහුණුකාරිනියක් පත් කිරීමත් ඉන් පසුව ඇයගේ සහායට යැයි පවසා ජ්‍යේෂ්ඨ පුහුණුකාරිණියක් උපදේශක පුහුණුකාරිණිය ලෙස පත් කර සංචාර වලට සහභාගී කරවීමේ ක්‍රමවේදය පිළිබඳ මහජනයා දැනුවත් ද ? 2017 දී අසාර්ථක බොට්ස්වානා ලෝක යොවුන් සූරතා සංචාරයට පුහුණුකාරිනිය ලෙස අමල්කා වන්නිතිලක සහ ජානකී ගුණසේකරව පත් කර පසුව හයිසින් විජේසිංහට උපදේශක තනතුරක් ලබා දීම පිළිබඳ ඉතිහාසය ඔබට අමතකද ?

6. ඉදිරියට එළඹෙන්නේ සංචාරක සමයයි. ජූනි මස යොවුන් ආසියානු සංචාරය ජපානයේ ය. ජූලි මස ලෝක සූරතාවලි සංචාරය එංගලන්තයේ ය.
ලක්ෂ්මි වික්ටෝරියා - හයිසින්ත් විජේසිංහ සහ දීප්ති අල්විස් ! මේ තදියම ජපාන සහ එංගලන්ත සංචාර වලට කොක්ක ගැසීම පිණිස නොවේ යැයි අපිට නොතේරේද ?

ක්‍රීඩා මාධ්‍යවේදීනී ; මේ ඔබ ලක්ෂ්මි වික්ටෝරියා - හයිසින්ත් විජේසිංහ සහ දීප්ති අල්විස් පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වරයාගේ තීන්දු තීරණ පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතු කාලයයි.

මහජන මුදල් පුද්ගලික බූදල මෙන් සලකා , බලය අතට ගැනීමත් විදෙස් සංචාර වලට සහභාගී වීමත් ජීවනාභිප්‍රාය කරගත් නෝනලා පිරිසක් සහ අනවබෝධයෙන් කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යංශ නිළධාරීන් පිරිසකට මහජන මුදල් අවභාවිත කිරීමට ඉඩ දිය යුතුද ?

විද්‍යුත් සහ මුද්‍රිත ක්‍රීඩා මාධ්‍යවේදිනී ;
ක්‍රීඩා අමාත්‍ය තුමනි :

මේ ඔබේ අවධානය පිණිසයි

- සහන් කසීර වික්‍රමසිංහ