චන්දිමාල් ගෙදර, ටෙස්ට් නායකත්වය දිමුත්ට, දකුණු අප්‍රිකානු සංචාරයට අලුත් මුහුණු රැසක්

චන්දිමාල් ගෙදර, ටෙස්ට් නායකත්වය දිමුත්ට, දකුණු අප්‍රිකානු සංචාරයට අලුත් මුහුණු රැසක්

5 February 2019 09:33 am

පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න නම්කර ඇති බව වාර්තා වේ. ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය ද අහිමිව ඇති අතර ඒ සමගම කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගි වන කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය තවමත් හිමිව නොමැති අතර නව වෙනස්කම් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
 
අසාර්ථක නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවලින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දස්කම් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ අතර ක්‍රීඩකයන් සහ නිළධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා හදිසියේ ක්‍රීඩා ඇමතිවරයා ඕස්ට්‍රේලියාවට ද ගියේය. කණ්ඩායම තුළ සැලකිය යුතු වෙනසක් සිදුවන බවට විටින් විට ඉඟි පළවූ අතර ඒ අනුව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන කණ්ඩායම සඳහා ටෙස්ට් වර්ණ අහිමි ක්‍රීඩකයන් පස් දෙනෙකුම ඇතුළත්ව සිටී.
 
නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවලදී ඉනිම 8 කදී ලකුනු 92 ක් පමණක් වාර්තා කළ නායක චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර සදීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා ද ඉවත් කර තිබේ. විශේෂත්වය වන්නේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල එකම දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාටද අවස්ථාව අහිමි වීමයි. ඔහුටද නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරවලදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය.
 
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට නැවත අවස්ථාව හිමිව ඇති අතර කලකට පසුව මිලින්ද සිරිවර්ධන ද කණ්ඩායමට ඇතුළත් කර තිබේ. මීට අමතරව පළමු පෙළ වාර්තා අලුත් කරමින් තරගයක ඉනිම දෙකේදීම ද්විත්ව ශතක වාර්තා කළ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති අතර නවක දඟපන්දු යවන්නන් ලෙස පාදඟ පන්දු යවන ක්‍රීඩක ඕෂධ ප්‍රනාන්දුට සහ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට ද අවස්ථාව හිමිව තිබේ. ඔවුන් දෙදෙනාටම අමතරව ලක්ෂාන් සඳකැන් දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරයි.
 
අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති නිළ නොවන ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණි වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂිරාස් කණ්ඩායමට කැඳවා ඇති අතර ඒ අනුව කණ්ඩායමේ එකම අත්දැකීම් බහුල ක්‍රීඩක සුරංග ලක්මාල්ට නවක වේගපන්දු යවන්නන් තිදෙනෙකු සමග දකුණු අප්‍රිකාවට මුහුණදීමට සිදුවනු ඇත.
 
දිමුත් කරුණාරත්නගේ උප නායකයා ලෙස සීමිත ඕවර් කණ්ඩායමේ උප නායක නිරෝෂන් දික්වැල්ල නම්කර තිබේ.
 
ඇමතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම - 
දිමුත් කරුණාරත්න (නායක)
නිරෝෂන් දික්වැල්ල (උපනායක)
ළහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
මිලින්ද සිරිවර්ධන
කෞෂාල් සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජලෝ පෙරේරා
සුරංග ලක්මාල්
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
චාමික කරුණාරත්න
මොහොමඞ් ෂිරාස්
ලක්ෂාන් සඳකැන්
ලසිත් ඇඹුල්දෙණිය