ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය: ඇන්ජි,ලසිත්, චන්දිමාල්,තිසර ඇමති හරීන් සමඟ විශේෂ හමුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය: ඇන්ජි,ලසිත්, චන්දිමාල්,තිසර ඇමති හරීන් සමඟ විශේෂ හමුවක්

10 February 2019 05:38 am

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

 ඇන්ජලෝ මැතිව්ස් ,ලසිත් මාලිංග,තිසර පෙරේරා, සහ දිනේෂ් චන්දිමාල් එම සාකච්ජාවට සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරඟ බිමේ දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ මතුව ඇති අර්බුදය පිළිබඳව මෙම පිරිස සාකච්ජා කර ඇති අතර නැවත ජයග්‍රාහී මාවතට කණ්ඩායම රැගෙන එම සමබන්ධයෙන්ද එහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මෙම ක්‍රීඩකයන් සිව් දෙනා සමඟ එකම මේසයක සිට සාකච්ජා කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

මීට පෙර අවස්ථාවලදී කණ්ඩායමේ නායකයන් ලෙස කටයුතු කර ඇති දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග සමඟ ඇමතිවරයා සාකච්ජා පවත්වා තිබුණි.

එළඹෙන 13 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු සංචාරය නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරය වැනි පාරජිත සංචාරයක් නොවන තත්ත්වයට පත්කර ගැනීමේ අභියෝගයක්ද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ වෙයි.

අසාර්ථක නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවලින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දස්කම් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ අතර ක්‍රීඩකයන් සහ නිළධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා හදිසියේ ක්‍රීඩා ඇමතිවරයා ඕස්ට්‍රේලියාවට ද ගියේය.

ඒ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත යොමුකළ ලිපියෙන් අනතුරුවය.

නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවලදී ඉනිම 8 කදී ලකුනු 92 ක් පමණක් වාර්තා කළ නායක චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව තිබේ.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හා පරිපාලනය, පුහුණුකරුවන් ජයග්‍රහණ ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ධනාත්මකව කතා කළද ඔවුන් තරඟ බිමේදී අඛණ්ඩව පරාජය වීම වළක්වා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

මේ අතර එළඹෙන 21 වෙනි දින ක්‍රිකට් නිලවරණයද පැවැත්වීමට නියමිතය.