පිට පිට තෙවැනි වරටත් ලෝක ටෙස්ට් ශූරතාවය ඉන්දියාවට

පිට පිට තෙවැනි වරටත් ලෝක ටෙස්ට් ශූරතාවය ඉන්දියාවට

1 April 2019 03:00 pm

ලෝක ටෙස්ට් ශූරතාවය පිට පිට තෙවැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව ඊට අදාල ශූරතා සිහිවටනය සමග මුදලින් ඇමරිකානු ඩොලර් මිලියනයක් ඉන්දියාවට හිමි වෙනවා.
 
සෑම වසරකම අප්‍රේල් පළමුවැනිදා වනවිට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින කණ්ඩායම පෙර වසරේ ශූරයන් ලෙස නම් කරන අතර ඒ අනුව පසුගිය 2016 සහ 2017 වසරේද මෙම ශූරතාවය හිමි වූයේ ඉන්දියාවටයි.
 
අදින් (අප්‍රේල් 01) අවසන් වූ වර්ෂය තුළ ඉන්දියාව සිය මව්බිමේදී ඇෆ්ගනිස්ථානය සමග පැවති ටෙස්ට් තරගය ජය ගැනීමට සමත් වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් 2-0 ක් ලෙස පරාජයට කිරීමට සමත් විය. එංගලන්තයේදී 4-1 ක් ලෙස දැවැන්ත පරාජයක් අත්කර ගත් නමුත් ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ මව්බිමේදීම 2-1 ක් ලෙස පරාජයට පත් කළේ ඉතිහාසයේ පළමු වතාවටයි.
 
ඉන්දියාව පළමු තැනට පත්වූයේ දෙවැනි ස්ථානයේ සිටින නවසීලන්තයට වඩා ප්‍රසාද ලකුණු 8 ක පරතරයක් ද සහිතවයි. නවසීලන්තය ප්‍රසාද ලකුණු 108 ක් හිමි කරගෙන සිටින අතර විශේෂත්වය වන්නේ ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේද පළමුවැනි වරටයි. ඉතිහාසය පුරා ටෙස්ට් තරගවලදී එතරම් දක්ෂතා නොදැක්වූ නවසීලන්තය, කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී විශේෂ දස්කම් දැක්වීමට සමත් විය. 
 
දෙවැනි ස්ථානයේ සිටි දකුණ අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව ඉදිරියේ සිය මව්බිමේදීම ලැබූ පරාජය හේතුවෙන් තෙවැනි ස්ථානයට පත් වූ අතර ඕස්ට්‍රේලියාව සිව්වන ස්ථානයෙ පසුවේ. පස්වැනි ස්ථානය එංගලන්තයට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේ රැඳී සිටී. පකිස්ථානය හත්වැනි ස්ථානයත් බටහිර ඉන්දීය කොදෙව්වන් අටවැනි ස්ථානයත් බංග්ලාදේශය නවවැනි ස්ථානයත් හිමි කරගෙන සිටින අතර අවසන් ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.