කණ්ඩායම තෝරන්න වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකෙන් - හරීන්

කණ්ඩායම තෝරන්න වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකෙන් - හරීන්

21 April 2019 03:56 am

ඇතැමුන් පවසන ආකාරයට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරිමට තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ ෆේස්බුක් ඔස්සේ බවත් සියලුම ක්‍රිකට් ඔස්තාර්ලා සිටින්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බවත් ඒ ආකාරයෙන් රටක් ගොඩ ගැනීමට නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය පිළිබඳව එල්ල වන විවේචන සම්බන්ධයෙන් ඊයේ (20) පිළිතුරු ලබාදෙමිනි.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කිරීමට නොහැකි බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා තේරීම් කමිටුවට ද කළ හැක්කේ සිටින ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩකයින් තේරීම පමණක් බවයි ප්‍රකාශ කළේ.

එසේම තමන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මෙම තේරීම් කමිටුවට කිසිදු බලපෑමක් නොකළ බවත් ඉතිහාසයේ එවැන්නක් නොකළ ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා තමන් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙවර තෝරා ඇති කණ්ඩායමට අත්දැකීම් ඇත්ද නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා නමුත් අත්දැකීම් තිබුණත් ඔවුන් දක්ෂතාවන් අතර නැතිනම් ආත්ම විශ්වාසය නැතිනම් යම් අවදානමක් ගැනීමට සිදුවන බවත් ඒ අවදානම ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

RN