ෂහීඩ් අෆ්රිඩි හෙළි කරන 'වයසේ වැරැද්ද'

ෂහීඩ් අෆ්රිඩි හෙළි කරන 'වයසේ වැරැද්ද'

3 May 2019 05:37 am

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ චරිතාපදාන කෘතිය පසුගියදා ඉන්දියාවේදී හා පකිස්තානයේදී එළිදැක්විණි. එම කෘතිය නම් කර ඇත්තේ 'තරග වෙනස් කරන්නා' (Game Changer) යනුවෙනි.

ෂහීඩ් අෆ්රිඩි සිය චරිතාපදනාය හරහා අතිශය වැදගත් රහසක් හෙළිදරව් කරයි. ඒ තමන්ගේ වයස පිළිබඳවයි.

අප දන්නා පරිදි ක්‍රිකට් වාර්තාවල සටහන් වන පරිදි ෂහීඩ් අෆ්රිඩි උපත ලබා ඇත්තේ 1980 වර්ෂයේදීය. ඒ අනුව ඔහු 1996 වසරේදී ජාත්‍යන්ත තරග වරම් දිනා ගන්නා විට ඔහු 16 හැවිරිදි වියේ පසුවිය. එමෙන්ම ලොව වේගවත්ම එක්දින ශතකය වාර්තා කරන විට ද ඔහුගේ වයස අවුරුදු 16 කි. මේ වනවිට ඔහු 39 හැවිරිදි වියේ පසුවේ.

‍කෙසේ වෙතත් අෆ්රිඩි සිය ස්වයං චරිතාපදානය හරහා හෙළි කරන්නේ තමන් උපත ලැබූයේ 1975 වර්ෂයේදී බවයි. කෙසේ වෙතත් තමන් උපන් මාසය හෝ දිනය නොදන්නා බව ද ඔහු පවසනවා. ඒ අනුව ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගන්නේ වයස 21 දීය. ලොව වේගවත්ම එක්දින ශතකය වාර්තා කරන්නේද වයස 21 දීය. මේ වනවිට ඔහු 44 හැවිරිදි වියේ පසුවේ.

බරපතලම ගැටලුව වන්නේ මෙය නොවේ.

ෂහීඩ් අෆ්රිඩි එදා 1996 දී ‍කෙන්යාවේ පැවති සිව්කොන් තරගාවලිය සඳහා කණ්ඩායමට කැඳවද්දී සිටියේ කැරිබියන් දූපත්වලයි. ඒ 19 න් පහළ පකිස්තානු කණ්ඩායම සමගයි. ‍කෙසේ වෙතත් අෆ්රිඩිගේ ස්වයං චරිතාපදනායට අනුව නම් ඔහු එම කාලවකවානුවේදී 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම නීතිවිරෝධීය. මන්ද ඔහු ඒ වනවිට 21 වන වියේ පසුවීමයි.

පකිස්තානු ක්‍රීඩකයන් බහුතරයකගේ වයස පිළිබඳව ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනා සැකමුසු ස්වභාවයෙන් බලන අතර අෆ්රිඩිගේ මෙම හෙළිදරව්ව ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් වනු ඇත.

අෆ්රිඩි ජාත්‍යන්තර පිටියට පා තැබූ වකවානුවේදීම පකිස්තානු ජාතික කණ්ඩායමට පැමිණි හසන් රාසා පිළිබඳවද දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහු ඒ වනවිටත් 14 හැවිරිදි කොල්ලෙකි. එහෙත් බැලූ බැල්මට ඔහුට ඊට වඩා වැඩඩි වයසක් පෙනුණු අතර ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කළේ පකිස්තානය හිතාමතාම ක්‍රීඩකයන්ගේ වයස අඩුවෙන් සඳහන් කරන බවයි.

මෙම චෝදනාව මේ වනවිට ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන්ටද එල්ල වන අතර විශේෂයෙන් තවමත් 20 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන් සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් තුළ දැඩි සැකයක් පවතී. 1998 දී උපන් බව කියන රෂීඩ් ඛාන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2015 වසරේදීය. ඒ 17 හැවිරිදි වියේදීය.