අෆ්රිඩි හෙළි කරන තරග පාවාදීම් නිසා ක්‍රිකට් ලෝකයම කැළඹෙයි !

අෆ්රිඩි හෙළි කරන තරග පාවාදීම් නිසා ක්‍රිකට් ලෝකයම කැළඹෙයි !

6 May 2019 08:00 am

පාකිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි විසින් තම ස්වයංචරිතාපදානය "GAME CHANGER" ලෙසින් පසුගියදා එළිදැක්වුණා. ඒත් සමඟම ක්‍රීඩා ලෝකය උඩුයටිකුරු කරමින් ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයකම සත්‍යය ලොවට නිරාවරණය වූ අතර පසුගියදා වඩාත් ප්‍රකට වූයේ සහීඩ් අෆ්රිඩිගේ සෑබෑ වයස පෙර දැක්වූ වයසට වඩා වසර පහක් වැඩිමහලු බව පැවසීමත් සමඟයි.

නමුත්, ඒ සියල්ල යටපත් කරමින් මේ වනවිට් ක්‍රීඩා පුවත් ලොව නැවතත් අවුලවන්නට ගේම් චේන්ගර් කෘතිය සමත්ව තිබෙනවා. ඒ 2010 වසරේ සිදුවූ කූප්‍රකට තරඟ පාවාදීමේ සිද්ධිය සම්බන්ධ ඉතා රහසිගත කරුණු කිහිපයක් මෙම කෘතිය ඔස්සේ හෙළිදරව් වීම නිසාවෙනි. ඊයේ දිනය වන විට ලොව ප්‍රමුඛ ක්‍රීඩා පුවත් සේවාවන් වන CRICINFO, CRICBUZZ, SKY, CHANNEL 09 මෙන්ම DAILYMAIL පුවත් සේවාවන් හී පවා ප්‍රමුඛ පුවතක් බවට මෙය පත්ව තිබුණා. ගේම් චේන්ජර් කෘතිය උපුටා දක්වමින් 2010 වසරේ සිදුවු මෙම පිළිකුල් සහගත තරඟ පාවාදීමේ පෙර සූදානම සහීඩ් අෆ්රිඩි විසින් දැන සිටි බවට පුවත් වර්තා කොට තිබුණා.

ගේම් චේන්ජර් කෘතියෙහි සඳහන් වන පරිදි මෙම සිදුවීම් මාලාවේ ආරම්භය සිදුවී ඇත්තේ 2009 වසරේ ශූරයන්ගේ කුසලානය අතුරතුරදීය. මසාර් මජීද් නම් ක්‍රීඩක ඒජන්තවරයෙක් ලෙස හඳුන්වා දුන් අයෙකු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා උපකරණ සඳහා වන කොන්ත්‍රාත් කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමට පාකිස්තානු ක්‍රීඩකයන් සමඟ සබඳතා ආරම්භ කර තිබෙන අතර, 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරඟ මාලාවේදී මොහු ඉතා සමීපව තම කණ්ඩායමේ සඟයන් සමඟ නිරන්තරයෙන් කල් ගෙවු බව සහීඩ් අෆ්රිඩි තම කෘතියෙන් හෙලිකර තිබෙනවා. මසාර් මජීද් එවකට සල්මාන් බට් ගේ ඒජන්තවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු තම පවුලේ අයද සමඟ පාකිස්තානු කණ්ඩායම ලැඟුම් ගත් හෝටලයේම නවතැන් ගෙන තිබෙනවා.

මසාර් මජීද් සහ ඔහුගේ පවුලේ අය ශ්‍රී ලංකාවේ එක්තරා වෙරළ තිරයක සිටියදි ඔහුගේ බාල පුතු අතින් මසාර් මජීද්ගේ ජංගම දුරකථනය මුහුදට වැටී අක්‍රිය වී ඇති අතර එය නැවත ප්‍රතිස්ථාපනය සඳහා ඔහු එංගලන්තයේ කුඩා දුරකථන අලුත්වැඩියා වෙළඳසකලට ලබදී තිබෙන්වා. මෙම වෙළඳසල සහීඩ් අෆ්රිඩිගේ ඉතා සමීප මිතුරෙකුගේ මිතුරෙකුට අයත් වූවක් වූ අතර දින කිහිපයකට පසුව ප්‍රතිස්ථාපනය කරන ලද දුරකථනය පරීක්ෂා කළ වෙළඳසලෙහි හිමිකරුට මසාර් මජීද් විසින් පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ සිදුකළ පණිවුඩ සංවාද ඇස ගැටී තිබෙනවා. තම මිතුරා මාර්ගයෙන් මෙම පණිවුඩ සහීඩ් අෆ්රිඩි හට ලැබී තිබෙන අතර ඔහු ඒ පිළිබඳව එවකට පාකිස්තාන පුහුණුකරු වකාර් යුනිස් සමඟ සාකච්ඡා කොට තිබෙනවා.

වකාර් යුනිස් එම කරාණය සම්බන්ධව එතරම් සැලකිල්ලක් නොදක්වා ඇති අතර එම පණිවුඩ තුලින් එතරම් බැරෑරුම් ඛේදවාචකයක පෙරමං සලකුණු තමන් හා වකර් යුනිස් නොදුටු බවත්, මසාර් මජීද් සමඟ ඇති මෙම සබඳතා ඉක්මනින් පහව යනු ඇති බවට තමන් හා වකාර් යුනිස් සිතු හෙයින් ඒ මොහොතේ එම කාරණය ඉහල පරිපාලනය වෙත ගෙන නොගිය බවත් සහීඩ් අෆ්රිඩි තම කෘතියෙහි දක්වා තිබෙනවා.

කෙසේ නමුත් පාකිස්තානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ අබ්දුල් රසාක් 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ මාලාවේදී එවකට පාකිස්තානු 20-20 නායක සහීඩ් අෆ්රිඩි වෙත සල්මාන් බට්, මොහොමඩ් ආසිෆ් සහ මොහොමඩ් ආමීර් යන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් විවේකාගාරයේ හැසිරීම සමබන්ධව තමන් හට සැකයක් ඇති බවත්, ඔවුන් ඉතා බැරැරුම් කටයුත්තයක් සඳහා සූදානම් වන බවක් තමන්ට දැනෙනා බවත් පවසා ඇති අතර සහීඩ් අෆ්රිඩි විසින් කණ්ඩායම් සමඟිය සහ තරඟ මාලාව පිළිබඳ සැලකිල්ලට ගෙන ඉහත දුරකථන පණිවුඩ පිළිබඳ අබ්දුල් රසාක් හට නොදන්වා අබ්දුල් රාසාක්ගේ චෝදනාව නොසලකා හැර තිබෙනුයේ ඔවුන් තවමත් යොවුන් අත්දැකීම් රහිත ක්‍රීඩකයන් බව පවසමින්.

කෙසේ නමුත්, දුරකථන සංවාද සහ අබ්දුල් රසාක්ගේ චෝදනා තුලින් එකම කාරණයක් ගම්‍ය වීමත් සමඟ මේ පිළිබඳව ඉහල කළමනාකරණය දැනුවත් කිරීමට තමන් අදහස් කළ බව සහීඩ් අෆ්රිඩි තම කෘතියෙහි දක්වා තිබෙනවා. එමෙන්ම 2010 ආසියානු කුසලාන තරඟ මාලාවේ මුල්ම තරඟය ශ්‍රී ලංකාව සමඟින් දඹුල්ලෙදී පැවැති අතර එහිදී සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් පිළිබඳවද ඔහු තම කෘතියෙන් දක්වා තිබෙනවා. එම තරඟයේ පාකිස්තාන ආරම්භක පිතිකරු සල්මාන් බට් තරඟයේ දෙවන පන්දු වාරයේදී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී යන අතර එම දැවීයාමත් සමඟම අබ්දුල් රසාක් සහීඩ් අෆ්රිඩි වෙත පැමිණ එම දැවීයාම ඉතාමත් සැකසහිත අසාමාන්‍ය දැවී යාමක් බව පවසා තිබෙනවා. ඒ සමඟම විවේකාගාරයට පැමිණි සල්මන් බට් තමා විසින් විවේකාගාරයේ පසෙකට කැඳවා "අපි සෙල්ලම් කරන එකට සෑහෙන්න පඩියක් අපිට තරඟ ගාස්තු විදියට ගෙවනවා" ලෙස පැවසූ බවත් එහිදී ඔහු ඉතා වික්ශිප්තව තමා දෙස බලා සිටි බවත් ගේම් චේන්ජර් කෘතිය හෙළිදරව් කරනවා.

එම දැවීයාම පිළිබඳ ක්‍රික්ඉන්ෆෝ විස්තර විචාරයේ දැක්වෙන්නේ සල්මාන් බට් ඉදිරිපාදයටත් පසුපාදයටත් නොගොස් පන්දුවේ මාවත හඳුනානොගෙන ඉතා විකෘති පහරක් එල්ල කිරීම හේතුවෙන් දැවී ගිය බවයි. 

ඉන් අනතරුව එළඹි එංගලන්තය සංචාරයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සැකසහිත ක්‍රියාවන් සම්බන්ධව පාකිස්තාන කණ්ඩායම් කළමණාකරු යවාර් සහීද් සමඟ නිළ වශයෙන් තමා සාකච්ඡා කළ බවත් එහිදී මසාර් මජීද් සහ ක්‍රීඩකයම් අතර වූ දුරකථන පණිවුඩ පිටපත් ඔහුට ලබා දුන් බවත්, යවාර් සහීද් විසින් එම ක්‍රීඩකයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට මෙය ප්‍රමාණවත් නොවන බව තමන්ට පැවසූ බවත් තමා ලබා දුන් පිටපත හෝ ඔහු සැලකිල්ලට නොගත් බවත් සහිඩ් අෆ්රිඩි විසින් තම කෘතියෙහි දක්වා තිබෙනවා. කෙසේ නමුත් නොදම්ප්ටන් හී පැවැති පුහුණු තරඟයකදී නැවතත් මසාර් මජීද් කණ්ඩායම් ක්‍රීඩකයන් හා සිටිනු තමන් දුටු බවත් එහිදී ඔහු නැවතත් යවාර් සහීද් දැනුවත් කොට කණ්ඩායමේ ක්‍රිඩකයන් හට මසාර් මජීද් හා සබඳතා පැවැත්වීම වාරණය කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත්, සියල්ල කෙමෙන් කෙමෙන් බරපතල තත්ත්වයට පත්වූ බවත් එම කාලවකවානුව තුල තමන් ඉතා මානසික පීඩනයකින් හා වියවුලෙන් කල්ගත කල බවත් පවසන සහීඩ් අෆ්රිඩි ටෙස්ට් ක්‍රිඩාවෙන් හදිසියේ සමුගැනීමට ප්‍රධානම හේතුව එය බවද සඳහන් කොට තිබෙනවා. ලෝඩ්ස් හී පැවති පලමු ටෙස්ට් තරඟය ඉතා අප්‍රසන්න ලෙස නිමාවූ බවත් එහිදි තමන් ටෙස්ට් නායකත්වයෙන් සහ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැන්මට තීරණය කළ බවත් සහීඩ් අෆ්රිඩි පවසනවා.

"මට ඉතා හොඳින් මතකයි ඒ අවස්ථාව , අපි ලකුණු 220 විකට් 06 යි. පන්දුව යැව්වෙ මාකස් නොර්ත්, මම ස්වීප් පහරක් එල්ල කළා ඒක රැකගත්තා ස්ක්වෙයා ලෙග් වල. පන්දුව ඉහල ගුවනේ තියෙද්දි මම මගේ තීරණය ගත්තා. ඒ මොහොතේ පිටිය මැදදීම මම සල්මන් බට් හට කීවා ඔයා නායකත්වය ගන්න කියල"

නායකයෙකු ලෙස තමන් කණ්ඩායම ටෙස්ට් තරඟයක මෙහය වූ පළමු තරඟයේ සිව්වන දිනයේදීම සහීඩ් අෆ්රිඩි තම ටෙස්ට් දිවියේ නිමාව සම්බන්ධව තීරණය ගෙන තිබූ අතර, පළමු ටෙස්ට් තරඟය අවසන් වූ වහාම ඔහු පාකිස්තානය වෙත පැමිණියේය.

ඉන් අනතුරුව දෙවන ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් ලොව සිදුවූ අප්‍රසන්න නිපන්දු යැවීම වාර්තා විය. කූපක්‍රට මෙම් තරඟ පාවාදීම සම්බන්ධව මොහොමඩ් අසීෆ් , මොහොමඩ් ආමීර් හා සල්මන් බට් හට ICCය විසින් පිළිවෙළින් වසර 07ක් වසර 05ක් සහ වසර 10ක් ලෙස තරඟ තහනම් පැනවූ අතර බ්‍රිතානය අධිකරණය විසින් මසාර් මජීද් හට මාස 32ක් සල්මාන් බට හට මාස 30ක් මොහ්මඩ් ආසිෆ් හට වසරක් සහ මොහ්මඩ් ආමීර් හට මාස 06 බැගින් වූ සිර දඬුවම් නියම කලේය.

සහීඩ් අෆ්රිඩි අවසානයේ මෙම සිදුවීම සම්බන්ධව..

"YES FOR RECORD, I GAVE UP, I QUIT"
ඔව් අතීතයට අනුව, මා අත්හැරියා, මා පලාගියා"

ලෙස සටහන් කොට තිබෙනවා.

සටහන - අසංක අරඹගොඩ
මූලාශ්‍ර - GAME CHANGER කෘති උපුටන