නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වෘතාන්තය - 01

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වෘතාන්තය - 01

11 May 2019 01:40 pm

1974 වසරේදි ඕස්ට්‍රේලියානු නයින් නෙට්වර්ක් නිර්මාතෲ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් පැකර් තම වෘත්තීය දිවිය හමාර කරමින් තම කනිෂ්ඨ පුත්‍ර කෙරී පැකර් වෙත නයින් නෙට්වර්ක් ආයතනය බාර දෙමින් විශ්‍රාම යන්නට විය. ඒ වනවිටත් 1956 ආරම්භ වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනි කලාව ඉතා සීග්‍ර දියුණුවක් කරා යොමුවෙමින් පැවතිණි. 1970 දශකය තුල එතෙක් ආනයනික වැඩසටහන් මත පදනම්ව තිබු ඕස්ට්‍රේලියානු රූපවාහිනිය TV;MAKE IT AUSTRALIAN සංකල්පය යටහේ දේශිය වැඩසටහන් වලට නැඹුරු වෙමින් පැවතිණි.

මින් මහත් ප්‍රතිඵල ලැබුවෙ ඕස්ට්‍රේලියානු ක්‍රීඩාවයි. දේශිය තරඟ සහ ජාත්‍යන්තර තරඟ විකාශන කටයුතුවල සීග්‍ර වර්ධනයක් සිදුවෙමින් පැවති අතර එතෙක් රජයේ මාධ්‍ය ආයතනය වූ ABC ආයතනයට තරඟ කරමින් වාණිජ රූපවාහිනි නාලික ක්‍රීඩා විකාශයන් හී අයිතිය සඳහා තරඟායට යොමු විය.

කෙරී පැකර්ගේ නයින් නෙට්වර්ක් ආයතනය මුලින්ම ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොල්ෆ් ක්‍රිඩාව හරහාය. ඕස්ට්‍රේලියානු විවෘත ගොල්ෆ් තරඟමාලාවෙහි රූපවාහිනි නිළ විකාශන අයිතිය හිමිකරගන්න ඔහුගේ මීළඟ අවධානය යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දෙසටය. ඒ අනුව 1976 වසරෙදී ඉදිරි වර්ශ 03ක් සඳහා රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5ක ලංසුවක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නට කෙරී පැකර් කටයුතු කලේය. කෙසේ නමුත් දශක දෙකක ABC නාලිකාව සමඟින් සමීපව් කටයුතු කල ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ABC ආයතනයේ ලංසුවට වඩා අට ගුණයක වටිනාකමකින් යුතු වූ කෙරී පැකර්ගේ ලංසුව නොසලකා හැරියේය.

kerry packer

මොනයම් ලෙසකින් හෝ ක්‍රිකට් විකාශනය කෙරෙහි මැදිහත් වීමට උත්සහ කරමින් සිටි කෙරී පැකර්ගේ මීළඟ අවධානය යොමු වන්නේ එංගලන්තය දෙසටය. එවකට ටෙස්ට් ක්‍රිකට් සහ ප්‍රාන්ත ක්‍රිකට් මණ්ඩලය (TCCB) ලෙසින් හැඳින්වූ ක්‍රිකට් පාලන අධිකාරිය සමඟ සාකච්චා කොට 1977 එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා වන විකාශන අයිතිය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කලේය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශ මත ඕස්ට්‍රේලියානු ඩොලර් 210,000ක මුදලකට විකාශන අයිතිය ABC ආයතනයට පැවරීම සඳහ TCCB ආයතයන තීරණය කරනු ලබන්නේ එය කෙරී පැකර්ගේ ලන්සුට සාපේක්ෂව 14%ක වටිනාකමක්ව තිබියදීය. කෙසේ නමුත් අවසන් මොහොතේ තම ලංසුව දෙගුණ කරමින් එකී තරඟාවලියේ විකාශන අයිතිය TCCB ආයතනය හරහා දිනා ගැනීමට් කෙරී පැකර් සමත්විය. කෙසේ නමුත් කොන්ත්‍රාත්තුව දිනාගැනීමේදී තමන් හට සිදුවූ අකටයුතුකම් පිලිබඳව කෙරී පැකර් ඉතා කණස්සලකින් පසුවිය.

1974 කාලවකවානුව තුල ජනප්‍රියත්වය ගිලිහිමෙන් පැවති නයින් නෙට්වර්ක් ජාලයට නැවත ප්‍රේක්ශකයන් දිනාගැනීමට සහ රූපවාහිනි දර්ශකයන්හි ඉහලට පැමිනෙන්නටද කෙරී පැකර්ගෙ ක්‍රීඩා විකාශන හරහා හැකිවිය. මේ හෙතුවෙන් කෙසේ හෝ තරඟකාරී ක්‍රිකට් තරඟයන්හී විකාශනය කිරීමේ නොනිමි ආසාවකින් කෙරී පැකර් පසුවිය.

මේ අතරවාරයේම කෙරී පැකර්ගේ ඉතා සමීප මිතුරෙකු සහ බටහිර ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු වූ ජෝන් කොනෙල් විසින් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟ සංවිධානය කිරීම සමබන්ධව මූලික අදහසක් කෙරී පැකර් වෙත යොමු කල අතර ඒ සඳහා එවකට ඩෙනිස් ලිලී වැනි ප්‍රභල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් රැසකගේ කළමණාකරු වු ඔස්ටින් රොබට්සන් ගේ සහයද හිමිවිය. තම මිතුරා විසින් ගෙන ආ මෙම අපූරු යෝජනාව් පිලිබඳ ඉතා දැඩි ලෙස සිත බැඳගත් කෙරී පැකර් වහ වහා ඊට අවශ්‍ය කටයුතු සැලසුම් කරන්නට විය. නමුත් මේ සමබ්න්ධව සියලුම කටයුතු ඉතාමත්ම රහසිගතව සිදු කරන්නට කෙරී පැකර් තීරණය කලේය.

ඒ අනුව ලොවටම රහසින් නයින් නෙට්වර්ක් ප්‍රධාන කාර්‍යාලයෙහි වූ කෙරී පැකර්ගේ කාමරය තුල සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවෙහිම ඉරණම ලහි ලහියේ ලියවෙමින් පැවතිණි. තමා විසින් මේ පිඹුරුපත් සකසන්නේ එතෙක් මෙතෙක් ක්‍රිකට් ලොව විප්ලවකාරීම සංග්‍රාමය පිලිබඳව බව කෙරී පැකර් හෝ නොදැන සිටින්නට ඇත. එමෙන්ම තමාගේ කටුසටහන් මත කෙමෙන් කෙමෙන් ගොඩනැගෙන මෙම සංකල්පය ඉදිරි ක්‍රිකට් ක්‍රීඩාවේ රූපණය සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවනෝපය තීරණය කරන නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය බවත් කෙරී පැකර් කිසිදාක නොසිතන්නට ඇත.

මතුසම්බන්ධයි.

මීළඟ කොටස : රහස හෙලිවෙයි, කෙරී පැකර් උසාවි විත්ති කූඩුවට

අසංක අරඹගොඩ