ක්‍රිකට්වල දේශපාලනය ගැන මැතිව්ස්ට චෝදනා කරන මහේලගේ දෑත් පිරිසිදුද?

ක්‍රිකට්වල දේශපාලනය ගැන මැතිව්ස්ට චෝදනා කරන මහේලගේ දෑත් පිරිසිදුද?

27 May 2019 06:34 am

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දේශපාලනය ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඇන්ජලෝ මැතිව්ස්ට සහ දිනේෂ් චන්දිමාල්ට චෝදනා කරනවා. සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ පවසා තිබෙනවා.

තමන් සහ කුමාර සංගක්කාර, ක්‍රිකට්වලට දේශපාලනය ඈඳා නොගන්නා ලෙස මැතිව්ස්ට උපදෙස් ලබා දුන් බවත්, ඔහු ශක්තිමත් නායකයෙකු ලෙස කටයුතු කළේ නම් ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී තිබෙන අගාධයට නොවැටෙන බවත්, මැතිව්ස් එසේ කටයුතු කළා නම් තවමත් ජාතික කණ්ඩායමේ නායකයා මැතිව්ස් බවත් මහේල ජයවර්ධන පවසා තිබෙනවා.

මහේල වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිව්ස් මෙන්ම චන්දිමාල් ද ක්‍රීඩාවෙන් පරිබාහිර දෑත්වලට ක්‍රීඩාව හැසිරවීම සඳහා අවස්ථාව ලබා දුන් බවයි. කණ්ඩායමේ අභ්‍යන්තර ගැටලු කණ්ඩායම තුළම විසඳා ගැනීමට ඔවුන් නායකයන් ලෙස අසමත් වූ බවත්, ඒ නිසා ක්‍රීඩාව පරිහාණියට පත් වූ බවත් ඔහු පවසනවා.

මහේල ජයවර්ධන සිදු කරන චෝදනා පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. එහෙත් ගැටලුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සිදුවීම ඊයේ පෙරේදා ආරම්භවූවක් ලෙස සලකා, දීර්ඝ නිද්‍රාවකට හසුවීමෙන් පසු හදිසියේ අවදි වූ පුද්ගලයෙකු මෙන් මහේල අදහස් දැක්වීමයි.

ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන අතපෙවීම් ඉතිහාසය පුරා දක්නට ලැබුණු අතර එය මෙරට සමස්ත ක්‍රීඩාවටම අලුත් ගැටලුවක් නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාව සලකා බැලුවහොත් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රිය වීමත් සමග දේශපාලන අතපෙවීම් උත්සන්න වූ අතර පසුගය මෑත වසර කිහිපය තුළ අලුතින් සිදුව ඇති එකම දේ ක්‍රීඩකයන් කණ්ඩායම තුළ දේශපාලනය කිරීම පමණි.

ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගෙනඒම සම්බන්ධයෙන් කණ්ඩායමේ නායකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වගකිව යුතු නම් ඊට වඩා දෙතුන් ගුණයකින් මහේල ජයවර්ධන ද වගකිව යුතුය.

අර්ජුණ රණතුංග මහතා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ලෙස කටයුතු කරන සමයේදී ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති වූ අතර ඊට හේතු වූයේ IPL තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමග තරගාවලියක් යෙදී තිබීමයි. එවකට සභාපති අර්ජුණ ප්‍රකාශ කළේ IPL හේතුවෙන් ජාතික කණ්ඩායමේ තරග මගහැර සිටීමට ක්‍රීඩකයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි. ඒ සඳහා ඉඩ නොතබන බව ඔහු ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් එවකට කණ්ඩායමේ නායකයා වූ මහේල සහ සංගක්කාර, මාලිංග යන ක්‍රීඩකයන් IPL යා යුතු බව තරයේ ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ තරගවලට සහභාගි නොවන්නේ නම් තිලාන් සමරවීරගේ නායකත්වයෙන් කණ්ඩායම එංගලන්තය හා සමග තරගාවලියට සූදානම් කිරීමට අර්ජුණ තීරණය කළේය. නායකයා කණ්ඩායම වෙනුවෙන් සෘජු තීරණ නොගත් බවට අද මැතිව්ස්ට, චන්දිමාල්ට චෝදනා කරන මහේල එදා පෙනී සිටියේ කණ්ඩායම වෙනුවෙන් නොව IPL ක්‍රීඩා කිරීම හරහා ලැබෙන මුදල් කුට්ටිය වෙනුවෙනි. මහේල ඇතුළු IPL සඳහා සහභාගි වන ක්‍රීඩකයන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී ඔහු හරහා ක්‍රිකට් අතුරු කමිටුවට බලපෑම් එල්ල කළ අතර අවසානයේ අර්ජුනට සිදු වූයේ එංගලන්ත සංචාරය හකුළාගෙ මහේලලාට අවශ්‍ය පරිදි IPL තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමයි.

අද ක්‍රිකට්වල දේශපාලනය ගැන කතා කරන මහේල එදා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස සිය කණ්ඩායම තුළට දේශපාලනය ගෙන ආවේ ඒ ආකාරයෙනි.