අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

20 January 2019 04:29 am

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ කපිල චන්ද්‍රසේන මහතාය. ඔහු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි යුගයේ ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අතර බරපතළ දූෂණ චෝදනා ගණනාවකට ලක්වූ අයෙකි.

 

මෙම පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේම සේවය කරන, මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරියගේ දියණිය වන කපිතාන් මාධිනී චන්ද්‍රදාස බෙහෙවින් කෝපයට පත්ව තිබිණි. ඇය වහාම ගොස් තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ දූෂිත නිලධාරියා එහි සභාපති ධුරයට පත් කිරීමට එරෙහිව විරෝධය පළ කරන්නටය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඇයට මුලින්ම හමුවී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ඇය ඥාති දියණියව පිළිගෙන සුවදුක් විමසීමේදී ආවේගශීලීව සිටි මාධිනී ප්‍රකාශ කර තිබුණේ "මොකද්ද නැන්දි මේ කරලා තියෙන්නෙ ? කාවද ශ්‍රී ලංකන් එකට දාලා තියෙන්නෙ ? ඒක විනාස කරපු මේ වගෙ මිනිස්සු ආයෙත් එවනවද ඒ වගෙ තැන්වලට ? යනුවෙනි.

"අනේ බලන්නකො දුව, ඔයාවත් මාමිට කියන්නකො ඔය මිනිහව අයින් කරන්න කියලා. ඔය පට්ට හොරාව ඕකෙන් අයින් කරලා නිශාන්ත අයියව දාන්න කියන්න. එයා කොච්චර හොඳට ඕක කරගෙන ගියාද ?" යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු දෙද්දී මෙකී "නිශාන්ත අයියා" කවුරුන්දැයි මාධිනීට එකවැර සිහියට නැඟුණේ නැත. එහෙයින් ඇය විමසා තිබුණේ "කවුද නිශාන්ත අයියා ?" යනුවෙනි.

"ඇයි දුවේ. මගෙ අයියනෙ නිශාන්ත" ලෙස ඊට පිළිතුරු ලැබී ඇති අතර එක් දූෂිතයකු ගැන පැමිණිලි කරන්නට ගොස් ඊට එහා දූෂිතයකු එතැනට එවන්නට තෝල්කකම් කරන්නට සිදුවනු දැකීමෙන් කළකිරීමට පත් මාධිනී ආපසු හැරී පැමිණ තිබුණේ මහින්ද මාමිටත් කතා නොකරමය.

ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ අතර වාර්ෂිකව සමාගම රුපියල් බිලියන ගණනින් පාඩු ලබන තත්වයට ඇද දැමීමේ ප්‍රධානතම කාර්ය කළේ ඔහු විසිනි. වචනයෙන්ම කිවතොත් ශ්‍රී ලංකන් සමාගම කෑවේ නිශාන්ත වික්‍රමසිංහය.