බැසිල් සඳුදා ප්‍රෙස් එක තියන්නේ මට කෙළවන්න

බැසිල් සඳුදා ප්‍රෙස් එක තියන්නේ මට කෙළවන්න

27 February 2019 08:00 am

බැසිල් රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ අභ්‍යන්තර ගැටුම මේ වන විට කරළියට පැමිණෙමින් තිබේ.

අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් පසු මන්ත්‍රීවරයා සහ මාධ්‍යවේදියෙකු අතර සිදුව තිබු කතා බහකින් එය තහවුරු වී ඇත.

මාධ්‍ය හමුවෙන් පසු ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය හිතවත් මාධ්‍යවේදීයාගෙන් විමසා ඇත්තේ සෑම සඳුදා දිනකම සිය පක්ෂය වන පිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන මාධ්‍ය හමුව ආවරණය කිරීමට මෑතක සිට නොපැමිණෙන්නේ ඇයිද යන්නයි.

එහිදී මාධ්‍යවේදියා පවසා ඇත්තේ සඳුදා දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාව පැවැත්වෙන හෙයින් තමන්ට එය ආවරණය කිරීමට යෑමට සිදුව ඇති බවයි. එහෙයින් ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණීමට නොහැකි වන බව කියා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එය බැසිල් රාජපක්ෂ මහතාගේ උපක්‍රමයක් වන අතර සඳුදා දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් කැඳවන්නේ තමන්ට කෙලවීමට බවයි.

එවිට වැඩි අවධානයක් යොමු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මාධ්‍ය හමුවට හෙයින් ක්‍රමානුකූලව තමන්ගේ මාධ්‍ය හමුව දියාරු කළ හැකි බවට බැසිල් රාජපක්ෂ මහතා ගණන් බලා ඇති බව උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත.

අවශ්‍ය නම් පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලෙසද මන්ත්‍රීවරයා අදාළ මාධ්‍යවේදියාට පවසා තිබේ.