සොඳුරු මරණය 24 - වැරදි කරන්න, හැබැයි අවධියෙන්!

සොඳුරු මරණය 24 - වැරදි කරන්න, හැබැයි අවධියෙන්!

20 September 2018 06:39 pm

'ඇයි අපි යහපත් දේ කළ යුත්තේ? ඇයි අපි හොඳ ජීවිතයක් ගතකළ යුත්තේ?' බොහෝ අයට මතුවිය හැකි ප්‍රශ්නයක් මේක. 'කිසිම හොඳක් නොකරන/වැරදිම කරන මිනිස්සු ඔය හොඳින් ජීවත් වෙන්නේ, මොකුත්ම ප්‍රශ්නයක් කරදරයක් නැතිව', සමහරුන්ට එහෙමත් හිතෙනවා වෙන්න පුළුවන්.

හැබැයි ඒ අපිට පෙනෙන විදිහ පමණක් වෙන්නත් පුළුවන්. අපිට පෙනෙන දේවල් පෙනෙන ලෙසටම ඇත්තක්ද කියන ප්‍රශ්නෙත් බොහොම වැදගත්.

 අපි දන්නා කාරණයක් තමයි වැරැද්දක් ලෙස සමාජයක් විසින් පිළිගත්, එසේයැයි අපිත් විශ්වාස කරන දෙයක් කළා නම් එය නැවත නැවතත් අපේ සිහියට ඒම වැළකිය නොහැකි සත්‍යයක් බව. වරද බරපතළ ලෙස සැලකෙන්නක්නම් අවුරුදු ගණනාවක් ගියා වුවත්, වෙනත් කිසිවෙකුත් ඒ ගැන සැකයක් ඇතිව නොසිටියා වුවත් අපි තුළම මනස්තාපයක් නැවත නැවත ඇතිවන බව, සහ, කිසිවෙකුට සැකයක් ඇතිවී ඇත්දැයි/කිසිවෙකු අප කෙරෙහි විවේචනාත්මක වී ඇත්දැයි අප විමසිල්ලෙන් සිටින බව! ඉතිං ඔය හොඳට ඉන්නා බවට සමාජයට පෙන්නාගෙන සිටින්නන් දැනුවත්ව වැරදි කළ අය නම් ඔවුනට මේ ස්වයං විවේචනයන්ගෙන් ගැලවීමට හැකියැයි විශ්වාස කළ හැකිද? ඔවුන් හැමවිට භීතියකින් නොසිටින බවට අපට විශ්වාස කළ හැකිද? මේවාට පිළිතුරු කුමක් වුවත් අපේ සාකච්ඡාව වෙනත් අයගේ වැරදි හෝ ඔවුනගේ ස්වයං විවේචනයන් හෝ භීතීන් හෝ ගැන නෙවෙයි. ඇයි අපි හොඳ කළ යුත්තේ? හෝ , ඇයි අපි වැරදි නොකළ යුත්තේ? මේකයි අපේ සාකච්ඡාව!

 අපේම සතුට හා නිදහස වෙනුවෙන්. අපි යහපත් දේ පමණක් කළ යුතු වන්නේ අපේම සතුට හා නිදහස වෙනුවෙන්. මටනම් හිතෙන්නේ ඒක විතරමයි පිළිතුර! ආගමික අර්ථයන්ගෙන් ගත්තොත් වැරදි කිරීම පාපයක් හෝ පව් එකතු කරගැනීමක් ලෙස සඳහන් වෙනවා තමයි. පව් කියන වචනයේ අර්ථය කුමක් වුවත් මින් අදහස් වන්නේ වරද කළ පසු අප තුළ තිබූ සතුට හා නිදහස නැතිවීම වෙන්න බැරිද? අනෙක, කළ වැරැද්ද වසා ගැනීමට සිතා බොහෝ විට තව තවත් වැරදි කරන්නට වෙනවා, සමහරවිට තමා වටේ සිටින, තමාට වඩා සමීප අයවත් මේකට සම්බන්ධ කරගන්න සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරනා දේ ඇබ්බැහියක් බවට පත්වෙන්නත් ඉඩ තියෙනවා! බොහෝවිට මේ වැරදි (වැරදි යැයි සඳහන් දේ) කරන්නේමත් තමන්ට නැති සතුටක් සෙවීම සඳහාම තමයි. ඒ සතුට හරහා මේ පීඩා විඳින ජීවිතය වඩා නිදහස් එකක් කර ගැනීමට දරන උත්සාහයක්! කොහොම වුනත් සිද්ධ වෙන්නේ අන්තිමට තමාගේ පමණක් නොව සියල්ලන්ගේ සතුට හා නිදහස අහිමි කරගැනීම.

 සැබෑ ප්‍රශ්නය ඇත්තේ අපි තේරුම් නොගන්නා, තේරුම් ගන්නට උත්සාහ නොකරනා ඉසව්වක. මොන දෙයක් හෝ කර සොයාගන්නට තතනනා/ සොයනා මේ සතුට තමා තුළවන සතුටක්නම් නෙවෙයි. සතුටයි සිතා පිටතින් පිරවීමක්. ඉතිං අන්තිමට සිදුවන්නේ පිටතින් සතුට සොයා, ඒ හරහා එතෙක් තිබුනාවූ ඇතුලත සතුටත් අහිමි කර ගැනීම!

 දවසක් හොරෙකුට සුවිශේෂී පුද්ගලයෙක් හමුවුණා. මේ අමුත්තාගේ පෙනුමෙන්ම හොරා දැනගත්තා ඔහු ඉතා දියුණු මනුස්සයෙක් බව. දුටු මතින් හොරා මේ පුද්ගලයා කෙරෙහි ආදරයෙන් බැඳුනා. මේ දියුණු ගුරුවරයා වෙත ගිය ඔහු " මගේ දියුණුව වෙනුවෙන් කළ හැකි දෙයක් තිබේද?" කියා අසා නතර නොවී තවත් කියාගෙන ගියා, " පිළිතුර ලබන්නට පෙර මා ඔබට කිවයුතු යමක් තිබෙනවා, මම හොරෙක්, හොරෙක් වීමෙන් නිදහස් වෙන්නනම් මට බැහැ. මම ඒ සඳහා කිහිපවරක් උත්සාහ කළා. වැඩක් වෙන්නේ නැහැ. ඉතිං මම මගේ හොරකම බාරගෙන තියෙන්නේ. මම මගේ මුළු ජීවිත කාලෙම හොරෙක්ම තමයි. ඒ ගැන ආයිත් කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ ගැන අපි මුලින්ම එකඟ වෙමු". ගුරුවරයා කිව්වා, 'ඇයි ඔබ මෙතරම් භීතියකින්? කවුද ඔබේ හොරෙක් වීම ගැන කතා කරන්න යන්නේ?" "ඒ වුනාට මම පූජකවරයෙක් හෝ පැවිද්දෙක් වෙත ගිය හැම වරකම ඔවුන් පළමුව පවසන්නේ 'හොරකම නතර කර එන්න'කියායි" ඔහු පිළිතුරු දුන්නා.

 "එහෙනම් ඔබ ගොස් ඇත්තේ හොරුන් වෙත වෙන්න ඕනෑ. නැතිනම්, ඇයි? ඇයි ඔවුන් ඔබ හොරෙක් වීම ගැන කනස්සළු වන්නේ?" ගුරුවරයා කිව්වා. හොරාට හරිම සතුටුයි. ඔහු කිව්වා, "ආ එහෙනම් කමක් නැහැ. පෙනෙන විදියට දැන් මට ගෝලයෙක් විය හැකියි. ඔබ තමයි මට ගැලපෙන ගුරුවරයා". ගුරුතුමා ඔහුව බාර ගත්තා, 'හොඳයි දැන් යන්න, ගිහින් ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න. හැබැයි එක කොන්දේසියක් සමග. මෙය ඔබ අනුගමනය කළ යුතුයි. දැනුවත්ව සිටීම. (අවධියෙන් සිටීම). යන්න, ගෙවල් බිඳින්න, අනුන්ගේ දේ ගන්න, හොරකම් කරන්න, ඔබ කැමති සතුටු ඕනෑම දෙයක් කරන්න. එය මගේ ප්‍රශ්නයක් නොවේ. මොකද මම හොරෙක් නෙවෙයි. හැබයි මේ හැම දෙයක් පුර්ණ අවධියෙන් කරන්න".හොරාට ටිකක් සැකයි, මම උගුලක අහුවුනාවත්ද? කොහොම වුනත් මේ මනුස්සයා බොරු කාරයෙක් නොවන බව ඉතා පැහැදිලියි. ඒත්, මෙතරම් පහසුවෙන් මට ගෝලයෙක් විය හැකිද, හොරෙක් වෙමින්ම? බලමු... තෙවෙනි සතියේදී හොරා හැරී පැමිණියා. "මේක උගුලක්" හොරා ගුරුවරයාට කිව්වා, "මම දැනුවත්වූ විගස මට හොරකම කරගන්න බැරි වෙනවා. හොරකම කළොත් මගේ අවධි බව නැති වෙනවා. මොකක්ද මම කරන්නේ?"

 'ඔබ හොරෙක්ද, හොරකම් කරනවාද කතාව අපි කරන්න එකඟ වූ දෙයක් නෙවෙයිනේ. මට ඒවා අදාළ නැහැ. මම හොරෙක් නෙවෙයි. දැන් ඔබ තීරණය කරන්න. ඔබට අවබෝධය අවශ්‍යනම් ඔබ තීරණය කරන්න. ඔබට එය අවශ්‍ය නොවේනම් එයද ඔබම තීරණය කරන්න" ගුරුතුමා කිව්වා. 'හ්ම්ම්...' මනුස්සයා ටිකක් කල්පනා කළා. ' දැන් මේක ටිකක් අමාරුයි. මම එහි රසය හඳුනාගත්තා. එය ඉතා සුන්දර අත්දැකීමක්! මම සියල්ල අත්හරින්න කැමතියි. ඔබ කියනා ඕනෑම දෙයක්. පහුගිය රාත්‍රියක පළමුවරට මට රජමාලිගාවට ඇතුළුවිය හැකි වුණා. මම ගබඩාවට ඇතුළු වූවා. මට ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන්නට හැකියාව තිබුණා. එහෙත් ඔබගේ වචනය මා පසුපස එමින් තිබුණා. මට සිදුවූවා අවබෝධයෙන් ඒ දෙස බැලීමට. එවිට මට අවබෝධ වූයේ මේ දියමන්ති නිකංම නිකං ගල් වගේ, ඉතා සාමාන්‍ය ගල්. මගේ අවධිබව නැතිවන හැමවිට ඒවා දීප්තිමත් දියමන්ති ලෙස තිබුණා. මම නතරව මෙය කිහිපවිටක් අත්හදා බැලුවා. මම අවධියෙන් සිටිද්දී මට දැනුනා මම බුදුවරයෙක් ලෙස. එවිට මට දියමන්ති අතගා බලන්නවත් හිතුනේ නැහැ. මට දැනුනේ සියල්ල මෝඩ කමක් පමණක්ම බව. නිකන්ම නිකං ගල් වෙනුවෙන්! මගේ ජිවිතයම නැති කරගැනීමට! හදිසියේම මගේ අවධිය නැති වුනා. ඒවා බබලන්න පටන්ගත්තා, ඉතා මායාකාරීව! නමුත් අවසානයේ මම තීරණය කළා ඒ කිසිවක් නොවටනා බව".

 කුමාරි කුමාරගමගේ