විත අස පත 27 - කවි ලියූ කරවල කුමාරයා! - Lanka News Web (LNW)

විත අස පත 27 - කවි ලියූ කරවල කුමාරයා!

ටිකිරි බණ්ඩා ඉලංගරත්න කියූ විට බොහෝ දෙනෙකු ඔහු නොදනියි. නමුත් ටී.බී. ඉලංගරත්න කියූ විට තත්ත්වය එසේ නැත. නම කියූ විගස ම එක් පසෙකින් පැරණි - පරිණත දේශපාලකයෙකුත්, අනෙක් පසින් අතිශය නිර්මාණශීලී සාහිත්‍යයවේදියෙකුත් ක්ෂණිකව පහළ වී අපේ මනසේ අරක් ගනියි. ඔහු දේශපාලකයෙකු නොවී සාහිත්‍යයවේදියෙකු පමණක් වූවා නම් අප වඩාත් කැමති ය. නමුත් බොහෝ විට සිදුවන්නේ අප කැමති දේ නොවේ. එහි විලෝමයයි.

කෙසේ වුව ටී.බී. ඉලංගරත්න යනු සාපේක්ෂ වශයෙන් 'හොඳ' දේශපාලකයෙකි. ලෝකයේ බොහෝ තැන්වල මෙන් ම - විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ද හොඳ දේශපාලකයන් හෙවත් හොඳ දේශය පාලනය කරන්නන් ඇතැයි අපට විශ්වාසයක් නැත. ඒ අවිශ්වාසය එදාට මෙන් අදට ද, බොහෝදුරට අදට මෙන් හෙටට ද වලංගු වනු ඇත. ටී.බී. ඉලංගරත්න යනු සාපේක්ෂ වශයෙන් 'හොඳ' දේශපාලකයෙකු යැයි කීවේ එබැවිනි. ඇතැම් විට එසේ වන්නට ඔහු තුළ සිටි සාහිත්‍යයවේදියා ප්‍රමාණාත්මක බලපෑමක් එල්ල කරන්නට ඇත.

මහනුවර හතරලියැද්ද ගමේ ඉපැදුණු ඉලංගරත්න සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ රජයේ ලිපිකරුවෙකු වශයෙනි. පසුව දේශපාලනය වෙත යොමු වී එහි හිණිපෙත්තට ම ගමන් කළ නමුත් ඔහු කිසි දිනක ලිවීම හෙවත් සිය සාහිත්‍යය මැදිහත්වීම අමතක කළේ නැත. නෑදැයෝ, විලම්බීත, තිලක, තිලක සහ තිලකා, අඹ යාළුවෝ, ශිෂ්‍යත්වය, හපනා ආදී උදාහරණ ගණනාවක් ඒ සඳහා සජීවී සාක්ෂි ලෙස අදටත් පවතියි. එහෙව් කතන්දරකාර ඉලංගරත්න සිය දේශපාලන ජීවිතයේ ඇතැම් ප්‍රශ්නවලට ද උත්තර හෙව්වේ සාහිත්‍යයෙනි. අද අප මේ කියන්නට සැරසෙන කතාව ද එවැන්නකි.

වෙ‍ෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාලය ඉලංගරත්ගේ දේශපාලන ජීවිතයේ අතිදුෂ්කර සමයකි. බඩු මිල දිනෙන් දින ඉහළ යද්දී වෙනත් බොහෝ වෙ‍ෙළඳ ඇමතිවරුන්ට මෙන් ඉලංගරත්න වෙ‍ෙළඳ ඇමතිවරයාට ද පෙරළා ශාප කිරීම්වලට ලක්වන්නට සිදු විය. ජනතාව ඔහු උල තියද්දී පත්තරකාරයෝ ඔහුව එළව එළවා පතුරු ගැසූහ. අවසානයේ 'කරවල කුමාරයා' නමින් ඔවුහු ඔහු අභිෂේකයට ලක් කළහ. මේ කාරණා නිසා ඉලංගරත්න සිටියේ බෙහෙවින් සිත් වේදනාවට පත්ව ය.

ජී.එස්. ප්‍රනාන්දු නම් ප්‍රවීණ කාටූන් ශිල්පියා එවකට ඉලංගරත්න විවේචනය කළ ජනමාධ්‍යවේදීන් අතරින් ඉදිරියෙන් ම සිටියේය. ඔහු දිගින් දිගට ම ඉලංගරත්නට එරෙහිව සිය පින්සල මෙහෙය වූයේය. දිනක් ඔහු පුවත්පතක පළ කළ කාටූනයක් නිසා ඉලංගරත්න බෙහෙවින් ම සිත් තැවුලට පත් විය. වහා පෑනක් සහ කඩදාසියක් අතට ගත් ඉලංගරත්න මෙසේ සිය ශෝකය සහ කෝපය මුදා හැරියේය.

"මට ගහන ගැහුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තවත් ගහමින්
සැපත ළංකර ගන්න යහමින්"

එය කිසි සේත්ම තර්ජනාත්මක ලියැවිල්ලක් නොවූ අතර සිය ආවේගය කවියකින් මුදාහැරීමක් පමණක් විය. කවිය ලැබූ ජී.එස්. ප්‍රනාන්දු ද කලබලයට පත් වූයේ නැත. ඊට කලකට පසු ඉලංගරත්න කොළොන්නාව අසුනට තරග කර ජයග්‍රහණය කළ අවස්ථාවේ ජී.එස්. ඔහුට සුබ පතමින් මෙසේ පිළිතුරු කවියක් ලියා යැව්වේය.

"ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහගුණ
ආදරය පිළිගෙන
බැනුම් අසමින් සිනාසෙනු මැන!"

ඉලංගරත්න ඒ කවිය කියවා දැක්වූ ප්‍රතිචාරය කුමක්දැයි අපි නොදනිමු. නමුත් මේ කෙටි කතාන්දරය බොහෝ දේශපාලකයන්ට මෙන් ම බොහෝ ජනමාධ්‍යවේදීන්ට ද නොවක් පාඩම් කියා දෙන කතාවක් බව නොලියා ම බැරි ය.

එවන් දේශපාලකයෙකු වූ ටී.බී. ඉලංගරත්න අප අතැර ගොස් දැන් බොහෝ කාලයකි. එහෙත් ඔහ‍ෙගේ සාහිත්‍යයමය අවකාශය තුළ අපි තවම සැරිසරන්නෙමු. විටෙක විලම්බීත හි තිලක ලෙස ද, තව විටෙක අඹ යාළුවෝ හි සුනිල් හෝ නිමල් ලෙස ද, තවත් විටෙක නෑදැයෝ හි ජගත් ලෙස ද අපට ඔහු මුණගැසෙයි. දේශපාලනය කෙසේ වුව නිර්මාණශීලී සාහිත්‍යය භාවිතාවෙන් යුතු 'හොඳ' මිනිසුන් අපට පහසුවෙන් අමතකව යන්නේ නැත. වත්මන් දේශපාලකයන්ට සහ අනාගත දේශපාලකයන්ට වුව ද ඒ මතකය අතිශයින් ම අදාළ ය.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 26 - පිකාසෝගේ ගුවෙර්නිකා යථාර්තය!

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ශ්‍රීලනිපයෙන් 'ජනවාරි 8 මිතුරෝ' එළියට

දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 'ජනවාරි...

රනිල් 5ක් දෙන්නම් කියයි - ශ්‍රීලනිප මස් රාත්තලම ඉල්ලයි

දෙසැම්බර් 16, 2018

නව රජයට එක්වීමේ සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...