සොඳුරු මරණය 25 - සුන්දර මරණය

සොඳුරු මරණය 25 - සුන්දර මරණය

27 September 2018 12:30 pm

සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම වගේ මරණයට බයයි. (සාමාන්‍යයෙන් කිව්වේ අසාමාන්‍ය අයත් ඉන්න නිසා). අඩුම වශයෙන් ඒ ගැන කතා කරන්න පවා බයයි.

බය නිසානේ කතා කරන්න කැමති නැත්තේ, ඒ ගැන කතා කිරීම පවා අශුභ දෙයක් ලෙස සලකන්නේ! නැත්නම් මළ ගෙදරක විතරක්ම මරණය ගැන ඇහෙන්න හේතුවක් නැහැ. තරුණ කාලේ මරණය විහිළුවක් සේ සළකන අය පවා වයසට යනකං ජීවත්වුනොත් අන්තිම කාලේ ගතකරන්නේ පුදුම භීතියකින්! මොකක්ද මේ භීතිය කියලා හොයලා බැලුවාම කාරණය මරණය! දැන්නම් මුහුණ දෙන්න වෙනවාමයි. (ළඟ ළඟ එනවා....) අපරාදෙ නෙවෙයිද මෙහෙම භීතියකට පත්වීම? නින්ද යන්නේ නැහැ, නැත්නම් නින්ද යාගෙන එද්දී බයවෙලා ඇහැරෙනවා, කවුදෝ ඇවිත් අඬගහනවා වගේ පෙනෙනවා, එක එක විකාර... වේලාසනම මරණය ගැන කතා කරලා ඒක සාමාන්‍ය දෙයක් බවට, නිතර සිහිකටයුතු කාරණයක් බවට, මිතුරෙක් බවට පත්කර ගෙන තිබුණානම්! එහෙනම් අන්තිම කාලේ පහසුවෙන් ගත කරන්න තිබුනා. මොකද, කොච්චර අත්හරින්න හැදුවත් මරණය එන බවත්, ඊට මුහුණ දෙන්න වෙන බවත් සත්‍යයක් නිසා. මරණය නියතයක් නිසා! මහළුව මරණය සිහිවන්නට පටන්ගන්නට පෙර, තරුණ කාලෙදී වුනත් මරණාසන්න ලෙඩක් සහිතව කාලයක් ගත කරන්න වුනොත් අපි ඒකම මහා බරපතල කාරණයක් බවට පත්කර ගන්නවා. පුදුම දෙයක් සිදුවුනා වගේ. වෙන කාටවත් නොවන දෙයක් වෙලා වගේ! මෙච්චර කාලයකට කිසිවෙක් මියගොස් හෝ මරණාසන්න වී නැහැ වගේ! බය නොවූ බව පෙන්නන්නත් ලොකු කතා කියනවා, හරියට බය වුනේම නැහැ වගේ. සමහරවිට බය කල් දා ගන්න දක්ෂ වුනා වෙන්න පුළුවන්!

ඇයි ඇත්තටම අපි මරණයට මෙතරම් බය? මටනම් හිතෙන්නෙම ඒක සවභාවිකවම එන භීතියක් නොවෙයි කියලයි. මොකද, දියුණුව කියන එකත් එක්ක මනුස්ස සංහතියම ජීවිතේ පුරුදු පුහුණු කරගත්තේ හරියට මැරෙන්නේ නැහැ වගේ ජීවත්වීම සඳහා කෙළවරක් නැති ගොඩගසා ගැනීමකට! ජීවත්වෙන්න සූදානම් වීමකට. ඒ සමගම මරණය කල් දාගන්න, හැකි තරම් ඈත් කර තබා ගත හැකි බොහෝ දේවල් සොයා ගැනීමත් වුනා තමයි. ඇයි, සූදානම් වෙනවා මිසක ජීවත් වෙලාම නැහැනේ! කොහොම වුනත්, මේ දේවල් මෙතරම් දියුණු නැති කාලෙක මීට වඩා පහසුවෙන් තටමන්නේ නැතිව මරණය භාරගන්න ඇති... පරණ කතාන්දරවල ඕනේ තරම් තියෙනවානේ අතරමගදී කෙනෙක් මිය ගිය විට ඒ අයව වළ දමා හෝ කැලයට විසිකොට ඉතිරි අය ඒ ගමන දිගටම ගිය බවට, බෝවෙන ලෙඩෙකු නම් මියයාම සඳහා තබා ගිය බවට, බරපතල තුවාළ වූ අයගේ ඇස් වසා පහසුවෙන් නිදාගන්න යැයි සැනසූ බවට! ඒ කියන්නේ මරණය ඉතාම සාමාන්‍ය දෙයක්, බලාපොරොත්තු වූ දෙයක්, කනස්සළු විය යුතු නොවන, බිය විය යුතු නොවන දෙයක්! ඒක එහෙම වෙන්න බැහැනේ කියලා කවුරු හරි කියන්න පුළුවන්. ඒත් මොනවා කරන්නද? කිසිවෙක් තාම මරණය ජය ගෙන නැහැ, ඒ විතරක් නෙවෙයි, හැමවිට ලෝකයේ ජීවත් වන්නන්ට වඩා මියගොස් ඇති ප්‍රමාණය වැඩියි!

ජාතක කථාවක පැරණි ගොවි ගැමියෙක් හා ඔහුගේ පවුලේ අය ගැන මෙන්න මෙහෙම ලියැවී තියෙනවා. ඔහු ගැමියෙක් වුවත් මරණය ගැන නිතර සිහි කරමින්, සතියෙන් හිටි අයෙක්. 'මරණය ඕනෑම මොහොතක අප කරා ඒමට ඉඩ තිබේ', ඔහු මෙය නිතර ස්මරණය කළා පමණක් නොවෙයි, නිවසේ සියල්ලනටත් මේ ගැන දැනමුතුකම් දුන්නා. දිනක් ඔහු තම එකම පුත්‍රයා සමග කුඹුරේ වැඩ කරමින් සිටියදී සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් පුතා එතැනම මිය ගියා! කළබල නොවූ මේ ගොවියා පුතුගේ සිරුර ඔසවා ගසක් මුල තබා එය රෙදි කඩකින් වසා සී සෑම හමාර කිරීමට යුහුසුළු වුනා. දහවල් වෙද්දී ඒ පාරෙන් ගිය අයෙකු අමතා දිවා ආහාරය එක් අයෙකුට පමණක් සෑහෙන්න රැගෙන එන ලෙසත් ඒ සමග සුවඳ ද්‍රව්‍ය හා මල් රැගෙන එන ලෙසත් තම නිවසේ අයට දන්වන්නැයි ඉල්ලීමක් කළා. පණිවිඩය ලැබූ ඔහුගේ බිරිඳට සිදුව ඇති දේ අවබෝධ වූවා. එහෙත් ඇය හෝ ඇයගේ දියණිය හෝ පුතුගේ බිරිඳ හෝ නිවසේ සේවිකාව හෝ කිසිවෙකුම කිසිත් කලබලයක් කළේ නැහැ. ඉල්ලීම පරිදි එක් අයෙකුට කෑම සමග මල්ද, සුවඳ ද්‍රව්‍යද රැගෙන ඔවුන් කුඹුරට පැමිණියා. වෙනත් කිසිවෙකුගේ සහභාගිත්වයක් හෝ කිසිවෙකුගේ කෑ ගෑමක් රහිතව ඉතා සරල ආදාහනයක් සිදු වූවා.

මේ මොහොතේ ශක්‍රයා මෙතැනට ආවේලු. දර මත දැවෙනා යම් සිරුරක් දැක මේ දැවෙන්නේ සතෙකුගේ සිරුරක් දැයි වටවී සිටිවුන්ගෙන් ඇසුවේලු. ඒ පිරිමියෙකුගේ බවට ලැබුණු පිළිතුරෙන් විශ්මිත වූ ශක්‍රයා, 'ඒ ඔබලාගේ හතුරෙකුගේ සිරුරක්දැ' යි ඇසුවේලු. ගැමියාගේ පිළිතුර වූයේ, ' ඒ හතුරෙකුගේ නොව මගේ පුතුගේ සිරුරයි' යන්නයි. 'ඔහු ඔබට ආදරයෙන් සිටි පුතෙකු වූවා විය නොහැකියි', ශක්‍රයා කීවේලු. 'ඔහු ඉතා ආදරණීය පුත්‍රයෙකි', 'එසේනම්, ඔබ හඬා නොවැටෙන්නේ මන්ද?' ශක්‍රයාගේ පැනයට ගැමියාගේ පිළිතුර මෙසේ වීලු!

'දිවියේ සතුට අතීතය වූ පසු
අත්හරියි ඔහු තම මිනිස් සැකැසුම
සරපයෙකු වුවද හැර යන්නා සේ
අත් හරියි ඔහු ඒ දිරා ගිය හැව..
වැලපුමක් මිතුරෙකුගේ
ළං වේවිද අළු වෙත මළවුනගේ?
කුමකට ශෝක වෙමි මා?
ගමන් කරයි ඔහු යාමට ඇති මගෙහි...'

ගැමියාගේ බිරිඳට ද මේ සමාන වූ ප්‍රශ්න ලැබුනේ ලු. ඇයගේ පිළිතුර මෙසේ වී ලු!

'අනාරාධිතව පැමිණි ලෙස ඔහු
නොකියාම ගොසිනි හනිකට,
ආ ලෙසම ගිය බැවින්
තිබේද හේතුවක් ශෝකයකට?
වැලපුමක් මිතුරෙකුගේ
ළං වේවිද අළු වෙත මළවුනගේ?
කුමකට ශෝක වෙමි මා?
ගමන් කරයි ඔහු යාමට ඇති මගෙහි...'

ඊළඟ ප්‍රශ්නය යොමුව ඇත්තේ මියගිය තරුණයාගේ සහෝදරියටයි. 'සහෝදරියන් තම සහෝදරවරුනට සැබැවටම ආදරය කරයි. ඉතිං ඔබවත් වැලපෙන්නේ නැතිද?' ශක්‍රයා ඇසුවේලු.

'නිරාහාරයෙන් වැලපෙමින් සිටියද
මට ඉන් කිසිවක්ම ලැබේවිද?
මගේ නෑයන් මිතුරන්
අසතුටු නොවේවිද තව තවත්?
වැලපුමක් මිතුරෙකුගේ
ළං වේවිද අළු වෙත මළවුනගේ?
කුමකට ශෝක වෙමි මා?
ගමන් කරයි ඔහු යාමට ඇති මගෙහි...' යැයි ඇගේ පිළිතුර වීලු. ශක්‍රයා මියගිය අයගේ බිරිඳ වෙත ගොස් ඇයගෙන්ද නොහඬා සිටින්නේ මන්දැයි විමසී ලු.

'අල්ලනු නොහැකිව සඳ ඉහල අහසේ
ඵලයක් නැති මුත් හඬනා ළමුන් සේ
නැතිවූ තම ආදරණීයයන් ගැන
හඬයි මිනිසුන් ද කිමද ඵල ඉන් වන...
වැලපුමක් මිතුරෙකුගේ
ළං වේවිද අළු වෙත මළවුනගේ?
කුමකට ශෝක වෙමි මා?
ගමන් කරයි ඔහු යාමට ඇති මගෙහි...'

අවසානයේ ශක්‍රයා එම නිවසේ සේවිකාව කරා ගොස් ඇයට මෙතරම් ආදරයෙන් දයාවෙන්, දරුවෙකුට මෙන් සැලකූ මේ මිනිසා මියගොස් ඇති මුත් ඇය හෝ නොවැලපෙන්නේ මන්දැයි විමසා සිටියේලු.

'බිඳී ගිය විට මැටි මුට්ටිය
ආහ්! කවුරුන්ට හැකිවේද නිමවන්නට පෙර සේ?
මියගියවුනට හැඬුමද එලෙසමය, කිසිත් නැත
මහන්සියෙ පලක් වෙද?
වැලපුමක් මිතුරෙකුගේ
ළං වේවිද අළු වෙත මළවුනගේ?
කුමකට ශෝක වෙමි මා?
ගමන් කරයි ඔහු යාමට ඇති මගෙහි...' යැයි ඇය පිළිතුරු දුන්නී ලු!

- කුමාරි කුමාරගමගේ

සොඳුරු මරණය පෙර ලිපිය:
සොඳුරු මරණය 24 - වැරදි කරන්න, හැබැයි අවධියෙන්!