දීප්තිගේ කිවිදා කොලම 26 - ෆැන්ටසියේ සැබෑ මානය

දීප්තිගේ කිවිදා කොලම 26 - ෆැන්ටසියේ සැබෑ මානය

28 September 2018 11:26 am

පසුගිය දිනක සමන් වික්‍රමආරච්චි මහතා සහභාගි වූ රූපවාහිනි වැඩසටහනක දී නිලාර් කාසිම් මහතා ඔහුගෙන් ව්‍යක්ත ප්‍රශ්නයක් ඇසුවේය.

“සමන් මොකක්ද යථ (Real) සහ යථාර්ථය අතර වෙනස. අප මේ ජීවත් වන යුගයේදී කලා කෘතියක් ප්‍රකාශමාන කළ යුත්තේ යථාර්ථය වෙනුවට සැබෑව හෝ යථද?’’

මහාචාර්ය ගම්ලතුන්ට අනුව ‘යථ’ යනුවෙන් වචනයක්වත් නිවැරදි සිංහල භාෂාව තුළ පැවතිය නොහැක. ඇත්තටම එය අලුත් පදයකි. ඒ සඳහා සිංහල භාෂා තටාකය තුළ තේරුමක් නැත. ඉංග්‍රීසි භාෂාවෙන් Real සහ Reality යන වෙනස සිංහල භාෂාවෙන් කියවීම සඳහා මා විසින් යථ සහ යථාර්ථය යන සංකල්ප දෙක යොදාගන්නා ලදී. මෙම වචන දෙක අතර සම්බන්ධය දයලෙක්තිකය.

ලැකාන් විසින් ෆැන්ටසිය නම් පදය සහ සංකල්පය පහදන විට ඔහු ඉන් අදහස් කරන්නේ යථ නම් සංස්ථාපිතය ගොඩනැංවීම වශයෙනි. ෆැන්ටසියේ සරල අදහස අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාවට ලබා දෙන පිළිතුර යන්නය. නමුත් ෆැන්ටසිය සඳහා ෆැන්ටාස්මැතික (Fantasmatic) තේරුමක්ද ඇත. ෆැන්ටසිය එක අතකින් සැබෑවෙන් නැතහොත් ක්ෂතිමය අත්දැකීමෙන් අපව ගලවා ගන්නා අතර එහි රැඩිකල් මානය වන්නේ නැවත ආත්මයට සැබෑව (Real) සම්මුඛ කර වීමයි. යථාර්ථය යනුවෙන් විග්‍රහ වන ප්‍රබන්ධය එක අතකින් පවතින බව සැබෑය. සාහිත්‍යයේදී සහ සිනමාවේදී යථාර්ථය නිරූපණය කරන කලා කෘති සත්‍යවාදී වගට වන නිර්වචනය එක පැත්තකින් පවතියි. අනෙක් අතට විප්ලවකාරී කලා කෘති යනු සැබෑව (Real) සම්මුඛ කරවන කලා කෘතීන් වෙයි. මෙම අදහස පරස්පරය. නමුත් දේවල්වල නියම හැඩය අසම්පූර්ණය. සද්භාවාත්මකය. (Ontological) මනෝ විශ්ලේෂණ න්‍යායේ පැත්තෙන් ගත් විට ‘යථාර්ථය’ අසම්පූර්ණ යැයි අප කියන්නේ මේ නිසාය. සැබැවින්ම ගත් විට යථාර්ථය යනුවෙන් සංගත දෙයක් නොපවතියි. සැබැවින්ම පවතින්නේ මෙම අසම්පූර්ණ යථාර්ථය සංස්කරණය කරන ආත්මයයි. (Real) එබැවින් සැබෑව සහ යථාර්ථය අතර වෙනසක් නැත. යථාර්ථය යනු ‘සැබෑව’ සංස්කරණය වීමේ විධික්‍රමයයි.

ඉහත සංකීර්ණ ක්‍රියාවලිය හොඳින් වටහා ගැනීම සඳහා අප සංයුක්ත උදාහරණ කිහිපයකට යමු. උමාලි තිලකරත්නට තාර්කික ලෝකයේ දී ඇයව හොඳින් රැක බලා ගන්නා ගුණගරුක ස්වාමියෙකු හෝ පිරිමියෙකු සොයා ගැනීමට බැරිද? හැකිය. එසේ නම් ගැටලුව වන්නේ ඇය විසින් ඇයි චපල පිරිමියෙකු විවාහය සඳහා තෝරා ගන්නේ යන වැදගත් ප්‍රශ්නයයි. මෙය ලැකාන්ට අනුව ෆැන්ටසියේ දෙවන මානයයි. යථාර්ථය යනු සංකේතීය ප්‍රබන්ධයක් යැයි සමන් වික්‍රමආරච්චි කියන විට එහි අදහස වන්නේ දරාගත නොහැකි ක්ෂතිමය අත්දැකීමකින් ගැලවීමට ඇති එකම මානය ප්‍රබන්ධමය සහ අර්ථකථන මානයයි. ඕනෑම සමාජයක් ප්‍රජාවක් හැටියට සංගත වන්නේ තමන්ව යථාර්ථයක් ලෙස සංස්ථාපනය කර ගැනීමෙනි. උදාහරණයක් ලෙස සිංහල ජන සමාජයට සංගත වීම සඳහා සිංහල සංස්කෘතිය යනුවෙන් ප්‍රබන්ධයක් ඇත. ඒ අනුව සිංහල - බෞද්ධයාගේ යථාර්ථය සිංහල සංස්කෘතියයි. සමන් වික්‍රමආරච්චි විසින් ප්‍රකාශ කරන්නේ මෙම යථාර්ථවාදී මානය සිංහලකමේ ප්‍රබන්ධ මානය බවයි. ෆැන්ටසියේ එක අරමුණක් වන්නේ සැබෑවෙන් අපව ආරක්ෂා කර ඊට පිළියමක් ලෙස සංකේත ප්‍රබන්ධයක් හඳුන්වා දීමයි. නමුත් ලැකාන් නම් මනෝ විශ්ලේෂකයාට අනුව ෆැන්ටසියේ වඩා රැඩිකල් මානය මෙය නොවේ. එහි වඩා රැඩිකල් මානය වන්නේ ‘සැබෑව’ අපට සම්මුඛ කිරීමෙන් අපව විනෝද ගැන්වීමයි. ෆැන්ටසියේ අශ්ලීල - විෂඝෝර මානය වන්නේ මෙම දෙවන මානයයි. මෙමගින් මහා අනෙකා විසංයෝජනය වෙයි.

90 දශකය ආරම්භයේදී ‘විභවිය’ නමින් සංස්කෘතික සහ දේශපාලනික ආයතනයක් බිහි විය. එහි මුඛය අරමුණ වූයේ එවකට පැවති මර්දනකාරී ප්‍රේමදාස පාලනයට එරෙහිව විකල්ප මතවාදයක් නිෂ්පාදනය කිරීමයි. සමන් වික්‍රමආරච්චිගේ විග්‍රහයට අනුව ‘යථාර්ථය’ යනු මෙම මතවාදයයි. එමගින් ‘ප්‍රේමදාස’ නම් යථෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රබන්ධය බවට විභවි ආයතනය පත් වෙයි. නමුත් 1993 වර්ෂයේ දී ප්‍රේමදාස මහතා මිය ගිය සැණින් විභවියට සිදු වූයේ කුමක්ද? විභවිය වාෂ්ප වී ගියේය. ප්‍රේමදාස ප්‍රපංචය සමග විභවියට තිබූ මෙම අවිඥානක මානය කුමක්ද? ෆැන්ටසියක යථාර්ථවාදී (පළා යාමේ මානය) මානය සාර්ථක වන්නේ එහි දෙවන අර්ධය වන සැබෑවේ මානය සාර්ථක වන මට්ටමටය. ප්‍රේමදාස දුෂ්ට පාලකයකු ලෙස එක පැත්තකින් ප්‍රබන්ධ වන අතරම ඒ සඳහා ප්‍රේමදාස වේදනාත්මක සතුටක් බවට පත් විය යුතුය. ෆැන්ටසියේ මෙම දෙවන මානය ගුප්තය. එහ බහුතර දෙනාට අභිරහසකි. බහුතර සිංහල ජනයාට දෙමළා බාහිර සතුරෙකි. නමුත් මෙම වාර්ගික දෙමළා අනෙක් පැත්තෙන් අපගේ අශ්ලීල විනෝදය ද සංවිධානය කරයි. දෙමළා අපගේ උත්කර්ෂවත් ෆැන්ටසි වස්තුවයි.

ඉහත පරස්පරයේ සමකාලීන උදාහරණය ලෙස යහපාලන ආණ්ඩුව සහ එහි පසමිතුරන් ලෙස සිවිල් සමාජයේ බුද්ධිමතුන් සලකා බැලිය හැක. එක පැත්තකින් මාධ්‍ය හරහා ඝෝෂාවක් ලෙස අපට ඇසෙන්නේ අතිශය විරෝධාකල්ප සිවිල් සමාජ හඬකි. සරත් විජේසූරිය, ජනරංජන, ගාමිණී වියන්ගොඩ වැනි අධ්‍යාත්මික හඬවල් මගින් ප්‍රකාශ වන්නේ යහපාලන ආණ්ඩුවේ අසම්පූර්ණත්වයයි. සමන් වික්‍රමආරච්චිගේ භාෂාවෙන් කිවහොත් යහපාලන යථාර්ථයේ අසම්පූර්ණ බව සිවිල් බුද්ධිමතුන් මගින් ප්‍රකාශ වෙයි. නමුත් ඔවුන් අමතක කරන ෆැන්ටසියේ කටුක මානය කුමක්ද? ඔවුන්ට විනෝද විය හැක්කේ මෙම යහපාලන අසම්පූර්ණත්වය තුළ බවයි. ඇත්තටම ඔවුන් වේදනාවෙන් ප්‍රමෝද වන්නේ යහපාලනය අසම්පූර්ණ, අඩුපාඩු සහිත එකක් වීම නිසාය. එය පරිපූර්ණ එකක් වූ වහාම සිවිල් බුද්ධිමතුන්ගේ කාර්යභාරය වහා අවසන් වෙයි. 1989ට පෙර නැගෙනහිර යුරෝපීය රටවල රැඩිකල් ලිබරල් බුද්ධිමතුන් ප්‍රාර්ථනා කරන ලද්දේ නිදහස් වෙළෙඳපොළ සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. බටහිරින් වෙළෙඳපොළ සහ නිදහස් ඡන්දය ආදේශ වූ වහාම නැගෙනහිර යුරෝපයේ විකල්ප බුද්ධිමතුන් වාෂ්ප විය. 71 සහ 87-89 යුගයේ දී ජවිපෙ අසාර්ථක විය. වැරදිලාවත් ඔවුන් ලංකාවේදී සාර්ථක වූවා නම් ඔවුන් ද සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් වනු ඇත. ඔවුන්ගේ අසාර්ථකත්වය සමකාලීන ඔවුන්ගේ පැවැත්මයි.

යහපාලනය වෙනුවෙන් මොර ගැසූ බහුතර බුද්ධිමතුන් තවමත් වාසනාවන්තය. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇත. එනිසා තවමත් ෆැන්ටසියේ හොල්මන් ආකෘතිය ඔවුන්ට හිමිය. ‘විභවිය’ මෙන් ඔවුන් වාෂ්ප නොවී ඉතිරි වී ඇත්තේ යහපාලන අසම්පූර්ණතාවය නිසාය. සරත් විජේසූරිය සහ ජනරංජන තවමත් බෙරිහන් දෙයි. ඔවුන් වේදනාවෙන් සතුටු වෙයි. පුවත්පත් සාකච්ඡා පවත්වයි. ෆැන්ටසියේ දෙවන මානය වන අශ්ලීල විනෝදය යහපාලන අසම්පූර්ණත්වය මගින් ඔවුන්ට සපයයි. රාජපක්ෂගේ පරිපූර්ණ පාලනය නොහොත් සයිකෝසික යථාර්ථය ඉදිරියේ සිවිල් බුද්ධිමතුන් කිච වෙයි. දෘෂ්ටිවාදයේ සමකාලීන දෙපැත්ත මෙමගින් නිරූපණය වෙයි. සිවිල් බුද්ධිමතාට විනෝද විය හැක්කේ රෙජීමයේ අසම්පූර්ණතාවය නිසාය. රාජපක්ෂලාට විනෝද විය හැක්කේ පරිපූර්ණ විනෝදයක් සහතික කිරීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදයට හිමි ‘විනෝද ආකෘතිය’ වන්නේ යමක අපරිපූර්ණභාවයයි.

- දීප්ති කුමාර ගුණරත්න

පෙර ලිපිය:
දීප්තිගේ කිවිදා කොලම 25 - මනස යනුවෙන් දෙයක් නැත