විත අස පත 28 - මං ඉතාලියේ තනි වුණා!

විත අස පත 28 - මං ඉතාලියේ තනි වුණා!

1 October 2018 01:36 pm

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුණා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි වුණා
කෝනෝ මං ඉතාලියේ තනි වුණා

පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
ද්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුණා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙළයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එඩ්නා ගිනි කන්ද ඇවිලුණා
හිත නිවාගන්න තවම බැරි වුණා

සිරතසා සිසිලියා දුපතේ කතන්දර මම නොදනිමි. ජෙනොවා මෙශීනාට තබා වෙනත් කිසිවෙකුට වුව රැවටෙන්නට මට උවමනාවක් ද නැත. වෙරොනා, මරීනා, කර්මෙලා, තෙරේසා කවුදැයි කියා නොසිතමි. සිහිනෙනුදු නොදකිමි. දන්නේ එක ම එක කාරණාවක් පමණකි. ඒ, මේ ගීතය පද ලියා, සංගීතය මුසු කොට, ගායනා කරන්නේ ධනපාල උඩවත්ත බවයි. එය හැර අන් කිසිවක් දැනගන්නට අවශ්‍යතාවක් ද නැත. ඇතැම් දෑ සුන්දර වන්නේත්, රසවත් වන්නේත් කාරණා බොහොමයක් හෙළි නොවූ විටය. රහස් ලෙස කුතුහලයෙන් හදවතේ තැම්පත් වී ඇති විටය. මේ සංගීතමය හරඹය ද එවැන්නකි. එබැවින් ඉතාලියේ තනි නොවුණා කියා රසයට බාධා පැමිණෙන්නේ නැත.

ධනපාල උඩවත්ත මෙරට මහාවංශයට මඟ හැරුණු චූලවංශයේ තවත් එක් නිර්මාණකරුවෙකි. පද ලියා, සංගීතය යොදා, ගායනා කරන තුන් ඉරියව් සංගීතකරුවන් අතර කෙදිනකවත් ඔහුගේ නම කියැවෙනු අප අසා නැත. නමුත් සරල බව තුළ ද තියුණු ගැඹුරක් ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට එතරම් පහසුවෙන් ඔහු හෝ ඔහු ගේ නිර්මාණ මඟ හැර යා නොහැකිය. 'පෑදුවා මෙත් පිලේ - සේදුවා පව් ජලේ - පා දුවා පල්ලියේ - අන්තෝනි මුනි දිලේ' ලෙස ලියා, ඉන් අනතුරුව කියා ඔහු නඟන අනුප්‍රාස රසය ම ඊට කදිම නිදර්ශනයක් නොවේද? ගීතය අතරතුර වරින් වර ඇසෙන දේවස්ථානයක සීනු නාදය අපූරු සංගීතමය අත්හදා බැලීමක් ලෙස දැනෙන්නේ අපට පමණක්ද?

ද්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුණා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා

පීසා කුළුන හමු නොවී වුව පුදුම වන්නට බැරිකමක් නැත. තනිකම යනු තනිකම ය. එයට දූපතක් හෝ මහාද්වීපයක් වීම අදාළ ම නැත. සමාජ - දේශපාලන - සංස්කෘතික තනිකමෙන් පෙළෙන දූපතක මිනිසුන්ට යුරෝපියානු තනිකම උත්ප්‍රාසාත්මක ලෙස ගීතය හරහා සම්ප්‍රේෂණය කරවන්නේ අන්න එහෙම ය. අප කියන සරල බවේ ගැඹුර අන්න එතැන ය.

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙළයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එඩ්නා ගිනි කන්ද ඇවිලුණා
හිත නිවාගන්න තවම බැරි වුණා

ධූම පල්ලියේ තබා ලෝකයේ කොතැනකවත් දේව හාස්කම් නැති වග අපට විශ්වාස ය. නමුත් මිලානෝවේ සීතලත්, එඩ්නා ගිනි කන්දේ උණුසුමත් අතර පරාසයක අප තබා මේ ජනිත කරවන රසය අති සියුම් ය. ගීතමය ඇලෙනසුළු බවකින් යුක්ත ය. ඇස නොගැටීම සිත බැඳෙන්නේ එබැවිනි.

නොදැනුවත්භාවය අවබෝධය පිණිස හේතුවක් වන බැවින් නොදන්නා නම් - ගම් - ස්ථාන - වග වාසගම් සොයා නොවෙහෙසෙමි. රහස් හෙළි වූ විට බර්මියුඩාවේ වටිනාකම ගිලිහී යයි. මමියක වුව ද කුතුහලය රඳා පවතින්නේ රෙදි පටි ලිහා නොබලන තුරු ය. ඉදින් නිර්මාණකරුවාට ගෞරව ආචාරයක් පළ කරමින්, තනි වුණ දූපතක සිට නොදන්නා දේශයක තනිකම ඇතුළත යළි යළිත් ගිලී කිමිදෙමි.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 27 - කවි ලියූ කරවල කුමාරයා!