දීප්තිගේ කිවිදා කොලම 27 - අමරසේකර සතු ගෝලීයකරණ දැනුම - Lanka News Web (LNW)

දීප්තිගේ කිවිදා කොලම 27 - අමරසේකර සතු ගෝලීයකරණ දැනුම

ගුණදාස අමරසේකර නැවත වරක් ධනවාදය ගැන පොතක් ලියා ඇත. එහි නම ‘ධනවාදයට විකල්පයක් - අප සතු මඟ’ යන්නය.

සමාජ විචාරකයෙක් ලෙස අමරසේකර තමා අවට සමාජයට විටින් විට ප්‍රතිචාර දක්වයි. 89 වර්ෂයේ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව ධනවාදයට එරෙහිව මතුව ආ ප්‍රබලතම විචාරය වූයේ සදාචාරවාදී විචාරයයි. මෙම නව විචාර මාදිලියට අනුව ධනවාදය පිළිබඳ සූරා කෑමේ විවාදය මුල්ලකට තල්ලු වී යන අතර මතුපිටට පැමිණෙන්නේ සදාචාර විචාරයයි. මෙම සදාචාර විනිශ්චයේ දී ඉස්මත්තට පැමිණෙන්නේ ආගමික විචාරයයි. මෙම සදාචාර ශෛලීය ගැන අදහසක් දැක්වීමට බොහෝ දෙනා කල් මරති. බහුතරය ප්‍රමාද වන්නේ මෙතනදීය.

අමරසේකර මෙම අලුත් කෘතියට (ඔහු විටින් විට දිනදර්ශනයකට අනුව ප්‍රතිචාර දැක්වීම මෝස්තරයකි) මාක්ස්වාදී විචාර මාර්ගයෙන් පිළිතුරු සැපයීම අප මේ ජීවත් වන යුගයට ආලෝකයක් සපයයි. පළමුවෙන් කිව යුත්තේ පිටු 80ක් දිගැති අමරසේකරගේ මෙම කෘතිය ඇකඩමික අර්ථයෙන් ශාස්ත්‍රීය කෘතියක් නොවේ යන්නය. ඔහුගේ කෘතිය තුළ අඩංගු වී ඇත්තේ ධනවාදය පිළිබඳව යම් මතවාදයක් (Opinion) මිස විද්‍යාත්මක විග්‍රහයක් නොවේ. මා මෙහිදී ‘විද්‍යාව’ යන සංකල්පයෙන් අදහස් කරන්නේ අප අවට ඇති දෑ පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයයි.

පළමුවෙන්ම කිව යුත්තේ අමරසේකර විසින් රචිත මෙම පොත් පිංච හරහා ධනවාදය පිළිබඳව මෙතෙක් පැවති දැනුමට අලුත් දැනුමක් එකතු නොවන බවයි. ඇත්තටම මෙම පොත් පිංච දැනුම පිළිබඳ ගැටලුවක් නොව ධනවාදය පිළිබඳ දෘෂ්ටිවාදීමය ගැටලුවකි. අමරසේකර ධනවාදයේ මූලය වූ නිෂ්පාදනය පසෙකට තල්ලු කර ඇති අතර ඒ වෙනුවට ධනවාදී සමාජය ප්‍රතිනිෂ්පාදනය කරන මතවාදී යාන්ත්‍රණයක් ගැන අවධානය යොමු කරයි. ඔහු උත්සාහ කරන්නේ ප්‍රතිවිරෝධයන් රහිත ධනවාදයක් නිර්මාණය කිරීමටය. හරියටම මෙතැනදී ඔහුගේ මතය රාජපක්ෂලාගේ ගැටුම්, ප්‍රශ්න නැති ධනවාදී ව්‍යාපෘතියට සමපාත වෙයි. රාජපක්ෂලා මූලික වශයෙන් කියන්නේ තමන්ට ධනවාදය නිපදවන ගැටලු මැනවින් කළමනාකරණය කළ හැකි බවයි. පසමිතුරුභාවයන් හෝ ප්‍රතිවිරෝධයන් රහිතව ධනවාදයක් පෝෂණය කිරීමට යාම යුරෝපය තුළ හඳුන්වන්නේ ෆැසිස්ට්වාදය නමින්ය.

අමරසේකර විසින් ගෝලීය වශයෙන් සාර්ථක වී ඇති ධනවාදය සහ ප්‍රාග්ධනය පිළිබඳ ගැටලුව සදාචාරවාදයකට ඌනනය කරයි. ඊළඟට ඔහු මාක්ස්වාදයද සදාචාර දර්ශනයක් ලෙස සලකයි. මාක්ස්වාදයෙන් විග්‍රහ වන්නේ මනුෂ්‍ය ස්වභාවය ගැන නොව ධනේශ්වර සමාජයේ අභ්‍යන්තර සමාජ ව්‍යුහය ගැනය. එනිසා මෙම කෘතිය තුළ අමරසේකර ඌනිතවාදයන් දෙකක් හඳුන්වා දෙයි.

(A) ධනවාදය සමතික්‍රමණය කිරීම සදාචාර දර්ශනයකි.
(B) මාක්ස්වාදී විද්‍යාව වෙනුවට අතීතකාමය වැලඳ ගැනීම.

අමරසේකර ධනවාදී සමාජය සලකන්නේ සදාචාර විරෝධී සමාජයක් ලෙසය. මෙය ඔහු මුලින්ම විග්‍රහ කරන ලද්දේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ යන පොත් පිංච හරහාය. මෙම තත්ත්වය ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’, ‘ජාතිකත්ව සංකථන’ ඇතුළුව තවත් ප්‍රබන්ධ සාහිත්‍ය හරහා සදාචාර ව්‍යාපෘතියක් දක්වා වර්ධනය වී ඇත. ‘සදාචාරය’ සහ ධනවාදය අතර ඇති සහසම්බන්ධය කුමක්ද?

අප මේ ජීවත් වන සමකාලීන ධනවාදී යුගය තුළ අතිවිශාල ලෙස සදාචාර දර්ශනයන් මතු වන්නේ ඇයි? සිත නිවන භාවනා පන්ති, ශරීරය හික්මවන යෝග අභ්‍යාස, මිනිස් සබඳතා අලුත් වටයකින් ව්‍යුහගත කරන වෙබ් වේදිකාවන් යනාදිය බිහි වන්නේ මන්දැයි යන කාරණයට කිසිවකුට සංයුක්ත පිළිතුරක් නොමැත. ලංකාවේ වාමාංශිකයන් බහුතරයක් Facebook සමාගමේ මෘදුකාංගයට මෙතරම් වශී වූයේ මන්ද? පසුගිය දශකය පුරාම ඉතිහාසයෙන් සහ සැබෑවෙන් විශ්‍රාම ගෙන තත්‍යසමාන ලෝකයක ජීවත් වීමට වාමාංශිකයන්ට බල කෙරුනේ මන්ද? මෙම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු අමරසේකර තම පොත් පිංච හරහා සපයා නැත.

ධනවාදය සහ ප්‍රාග්ධනය භූගෝලීයකරණය වීම ගැන සදාචාරවාදී අදහස්වලට මෙතරම් විස්මිත ලෙස මිනිසුන් ආකර්ෂණය වන්නේ ඇයි? විග්‍රහ කළ යුතු ප්‍රථම දෝෂය වන්නේ ඉතිහාසවේදය පිළිබඳ ගැටලුවයි. සමකාලීන සමාජ - සංස්කෘතික ප්‍රපංචයන් ඉතිහාසය මගින් තීන්දු වේ යන තිසීසය තවමත් සමාජ විග්‍රහය තුළ අවිවාදිතය. ලෝකයේ පහළ වන සෑම ප්‍රපංචයක්ම ඉතිහාසය නම් වේයා විසින් කා දැමූ පසු ඉතිරි වන්නේ එකම ශේෂයකි. මෙම අදහසට අනුව ඉතිහාස විග්‍රහයන්ට සමාජ - යථාර්ථයේ සියල්ල ග්‍රහණය වෙයි. ධනවාදය සම්බන්ධයෙන් අමරසේකරගේ විග්‍රහය ද ඇතුල් වන්නේ මෙම ඉතිහාසවේදයටය. (Historicism) මිචෙල් ෆුකෝට අනුව සමාජ ඉතිහාසය යනු බල සබඳතාවල අග්‍රඵලයකි.

අමරසේකරගේ පොත් පිංච තුළ සටහන් වී ඇති එක් ඓතිහාසික සංසිද්ධියක් සම්බන්ධ අර්ථකථනයක් හරහා ඔහුගේ විචාර බුද්ධිය පරීක්ෂා කල හැකිය. ඔහු තම කෘතිය තුළ BBC වාර්තාකරුවකු මාග්‍රට් තැචර්ගෙන් ප්‍රංශ විප්ලවය ගැන ඇසූ ප්‍රශ්නයට ඇය දුන් පිළිතුර මෙසේ සටහන් කරයි.

“එය අශීලාචාර මැර කණ්ඩායමක් විසින් සිදු කළ ත්‍රස්තවාදයක්’’

මාග්‍රට් තැචර් විසින් ප්‍රංශ විප්ලවය අරභයා ඉහත සපයන නිර්වචනය සදාචාරවාදී එකකි. සමාජ විප්ලවයන් අරබයා (දෙමළ ජාතික අරගලය) සදාචාර විග්‍රහයන් ඉදිරිපත් කිරීම පහසුය. ඒවා ත්‍රස්තවාදයන් ලෙස නිර්වචනය කිරීම ඊටත් වඩා පහසුය.

ඉතිහාසයේ නිශ්චිත මොහොතකට පසුව වෘත්තීය සමිතිවල සහ වාමාංශික අදහස්වල බලපෑම තුනී වී ඒ වෙනුවට සදාචාරය (Morality) ඒ ස්ථානයට ආදේශ වූයේ මන්ද? විග්‍රහ කළ යුතු සංයුක්ත ගැටලුව ඇත්තේ එතනයි.

අමරසේකරගේ සචාදාර දර්ශනයේ හරය මෙලෙස සාරාංශගත කළ හැකිය.

“සමාජවාදය යනු ඓතිහාසික නියාමනයකට අනුව බිහි වන්නක් නොව ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසාගේ මනස තුළ පහළ වන නිස්සඩ්ග විඥානය ඇසුරු කර උපදින උත්තරීතර තත්ත්වයකි. නිස්සඩ්ග විඥානය යන්නෙහි සරල අරුත නොඇලෙන, ඇලීමකින් තොර හිත යන්නයි’’
- ධනවාදයට විකල්පයක්, පිටුව 78 –

මතුපිටින්දක්නට ලැබෙන දෙය නීච ලෙස අප අනුකරණය කරන්නේ නම් අපට ඉහත අමරසේකරගේ ප්‍රවාදය සමග තදාත්මික විය හැක. පළමුවෙන් අප කිව යුත්තේ ධනවාදය අප සිතනවාට වඩා විප්ලවකාරීය යන්නය. බොහෝ විප්ලවවාදීන් ධනවාදය සතු මෙම ශක්‍යතාව නොසලකා හරිනු ලැබේ. ධනවාදයට පෙර පැවති සමාජ-ක්‍රමවලින් ධනවාදය වෙනස් වන්නේ මෙම විප්ලවකාරී ගුණය නිසාය. ධනවාදය තමන්ගේම ව්‍යුහය (Structure) විප්ලවකාරී ලෙස වෙනස් කර ගනියි. ‘ප්‍රාග්ධනයේ සීමාව’ එයම මිස ඉන් බාහිර දෙයක් නොවේ යන්න මාක්ස් සූත්‍රගත කරන ලද්දකි.

ප්‍රාග්ධනයේ ගෝලීයකරණය යනු ධනවාදයේ ජාතික රාජ්‍ය සත්‍යය අභිබවනය කිරීමකි. ජාතික රාජ්‍යයන් තුළ පැවති පරම සත්‍යයන් ගෝලීයකරණය තුළ දිය වී යයි. ගැටලුව ලෙස වටහාගත යුත්තේ මෙම විප්ලවකාරී වෙනසයි. ධනවාදය ජාතික රාජ්‍ය සීමාව තුළ ගාල් කරන්නට යන විට ධනවාදය සදාචාරකරණය කිරීම අත්‍යාවශ්‍යය. අමරසේකර අතින් සිදු වන්නේ ධනවාදය විශ්ලේෂණය වීම නොව එය සදාචාරකරණය කරන්නේ කොහොමද යන්නය.

- දීප්ති කුමාර ගුණරත්න

පෙර ලිපිය:
දීප්තිගේ කිවිදා කොලම 26 - ෆැන්ටසියේ සැබෑ මානය

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

රනිල්ගෙන් ලියුම අරන් එන්න පැයෙන් වැඩේ කරනවා

ඔක්තෝබර් 9, 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමත ලිපියක් රැගෙන එන්නේ නම් අමාත්‍යධූරයක්...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...