සොඳුරු මරණය 26 - මරණය අත් හැරිය නොහැකි බැවින්! - Lanka News Web (LNW)

සොඳුරු මරණය 26 - මරණය අත් හැරිය නොහැකි බැවින්!

සමහරු අහනවා, ඇයි ඉතිං මරණය ගැන දිගටම ලියන්නේ, දැන් වෙන දෙයක් ගැන ලියන්නකෝ කියලා.

ඒ ප්‍රශ්නේ අහන තැනම තියෙන්නේ තවදුරටත් ලිවීමේ අවශ්‍යතාවය. සමහරවිට මරණය මා වෙත එන තෙක්මත් මට ලියන්නට සිදුවන්නේ 'මරණය' ගැන වන්නට හැකියි. ආයිත් මෙන්න මෙහෙම ලිව්වොත් හොඳයි කියලා හිතුනා, ඇයි අපි නිතර මරණය ගැන කතා කළ යුතු වන්නේ කියන කාරණය පිළිබඳව. කාරණා කිහිපයක් එකවර මතකයට එනවා:

1. මේ මොහොතේ ජීවිතය පූර්ණව ජීවත්වීමට නම් මරණය සිදුවන බව සිහියේ තබා ගැනීම උපකාර වනනිසා. (මොකද, මරණය ඊළඟ මොහොතේ පවා සිදු විය හැකි බව දන්නා අයෙක් මේ මොහොත අපතේ නොහරින නිසා.. දන්නවනේ අර වළහාගෙන් බේරෙන්න දුවද්දී හෙළකට වැටුණු මිනිහාගේ කතාව! වළහාගෙන් බේරෙන්න හැතැප්ම ගණනාවක් හති දා ගෙන දුවපු මිනිහෙක් හෙළකට වැටෙනවා. හැබැයි පතුලට වැටෙන්න කලින් මිනිහාට අහුවෙනවා වළ ඇතුලට වැඩුණු අත්තක්. හරි බේරුනා. ඒකෙ පැටලුණු මිනිහාට හිතෙන්නේ එහෙමයි. හොඳට හුස්මක් අරන් පතුල බලද්දී පේනවා පතුලේ සිට හිස ඔසවන මහා පිඹුරෙක්. හප්පා... ආයිත් උඩටම තමයි යන්න වෙන්නේ. එහෙම හිතන මිනිහා උඩ බලනවා. ඒ සැරේ වළහට වළස් පවුලම එකතු වෙලා. ගැට්ටට වෙලා හරිබරි ගැහිලා බලං ඉන්නේ මිනිහ උඩට එනකං! හ්ම්ම්... එයාලා යනකම් කොහොම හරි අත්තට වෙලා ඉන්නවා. ඒකයි මිනිහගේ ඊළඟ කල්පනාව! සරස් බරස්... සද්දෙට මිනිහා අත්තේ කෙළවර දිහා බලද්දියි දකින්නේ ඒක අත්තක් නොව ගහක් බව, ඒ විතරක් නෙවෙයි ඌරු මීයෝ රංචුවක් වේගයෙන් ඒ ගහේ මුල් හාරා කමින් සිටින බව. මරණ තුනක්! මිනිහා දකිනවා ඒ අත්තේ දෙබලක පැණි බේරෙන මීයක් ඇති බව. අමාරුවෙන් එතැනට බඩ ගා ගත් මිනිහා ඒකෙ පැණි කනවා.. අම්මා... අමෘතය වගේ! ජීවිතය පුරාවට ලැබුණු හොඳම මිහිර!!! මිනිහා උපරිමව ඒක විඳිනවා!)

2. මරණය අනිවාර්යයක් නිසා (දැන් මේ කතාවෙත් ඒ මිනිහා මේ බව දන්නවා පමණක් නෙවෙයි, ඔහු දකිනවා මරණය. කවුරු හරි කියාවි 'මී පැණි කෑවට මොකටද? මරණයෙන් ගැළවෙන්න බැහැනේ' කියලා. ඒක ඇත්ත. ඒත් මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. මරණය නියත බව දන්නා නිසා ජීවිතය දුකක් කරගන්නා අය හා මරණය නියත බව දන්නා නිසා ඒ මොහොතේ ජීවිතය උපරිමව ජීවත් වන අය. මේ දෙක ඇතුලෙත් තව වෙනස්කම් තියෙනවා. උදාහරණයකට, තම ජීවිතය සැපවත් කරගන්නට කරනා උත්සාහයේදී අන් ජීවිත තවදුරටත් දුකක්වීම නොසලකා හරින අය, තමා උපරිමව ජීවත් වෙමින් අන් අයගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන අය, තමනුත් දුකෙහිම ගිලී අන් අයවත් එහි ගිල්වා දමන අය, තමන් තේරුම්ගත් සත්‍යය පහදා දී අන් අයට ජීවිතය උපරිමව ජීවත්වීමට සලසන අය, ආදී බොහෝ වර්ග... )

3. මරණය අනිවාර්යයක් බව තේරුම්ගත් හා එය මතකයේ ඇති අය තමන්ගේ ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතවලටද ආදරය කළ හැකි අය බවට පත්වන නිසා (එතකොට අපිට මේ හැමදාම ඇහෙන කණගාටුදායක කතා වෙනුවට ආදරණීය කතා ඇහෙන්න පටන් ගනීවි)

4. මරණය අපි එය අමතක කොට සිටින ඕනෑම මොහොතක සිදුවිය හැක්කක් නිසා

5. ඉපදීම මෙන්ම මරණය ද ඉතා සාමාන්‍ය දෙයක් බව ලෝකය පිළි නොගන්නා නිසා

මේ කතාවේ නම 'පළවෙනි අධිරාජයා'.. කාලය, ක්‍රි.පූ. 259 - 201.. කතාව මෙහෙමයි. පළවෙනි අධිරාජයා කිරුළ පැළඳි පසු රාජ සභාවේ සේවය කරන ඔහුගේ විද්‍යාඥයන් කණ්ඩායම කියනවා, 'අධිරාජ්‍යයාණනි, පෙන්ග්ලායි නමින් දිවයිනක් ඇත, එය නොමැරෙන දේශයකි' කියලා. මේ ප්‍රකාශය අධිරාජයාට මහා ප්‍රීතියක්! එහෙනම් ඉතිං නොමැරී සිටීම මටත් කළ හැක්කක්! මා පළමු අධිරාජයා නොවැ! ඔහු තීරණය කරනවා කෙසේ හෝ නොමැරී සිටීමේ ක්‍රමය සොයා ගැනීමට, ලොව පවතින තාක් අධිරාජයාව සිටීමට. ඉතිං ඔහු ඔහුගේ බලය පාවිච්චි කොට සිය දහස් ගණනින් තෝරාගත් තරුණ තරුණියෝ නැව්වල පටවා පෙන්ග්ලායි දිවයින සෙවීම සඳහා මුහුදට තල්ලු කර දමනවා.

මහා විශාල ධනස්කන්ධයක් හා මිනිසුන් බොහෝ ගණනක් සයුරට බිලි දුන් දශක ගණනාවකට පසු මේ මහා විද්‍යාඥයන්හට භීතියක් ඇති වෙනවා තවමත් නොමැරී සිටීමේ රහස සොයා ගැනීමට නොහැකිවීමේ පාපයට තමුන්ට වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවට. ඔවුන් ලහි ලහියේ නිදහසට කාරණා සොයනවා. 'අධිරාජයාණනි, නොමැරී සිටීම සඳහා පාවිච්චි කල යුතු බෙහෙත් ඖෂධය වැවෙන්නේ පෙන්ග්ලායි දිවයිනේය. එහෙත් මහා භයානක තල්මසුන් විසින් අපගේ සෙනග එම දිවයිනට ලඟා වීම දිනෙන් දින වළකා දමයි. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ දුනුවායන් කණ්ඩායමක් අපට ලබා දෙන ලෙසයි. එවිට තල්මසුන්ට විද මරා දැමූ පසු අපගේ මිනිසුනට දිවයිනට ලඟා වීමට හැකිවනු නොඅනුමානයි'. අධිරාජයා ඉතිං ආයිත් අහුවෙනවා. බලයේ ඉද්දි බල තණ්හාව පමණක් නොවෙයි, ජීවිත තණ්හාවත් වැඩි වෙනවා ඇති නොවැ!

එදා රාත්‍රියේ අධිරාජයා සිහිනයක් දකිනවා. සිහිනයේ දී ඔහු මුහුදු දෙවියන් සමග යුද්ධයක පැටලෙනවා. පාන්දරම අධිරාජයා කරන්නේ ඔහුගේ සිහින කියවන්නන් ලවා සිහිනයෙහි තේරුම සොයා ගැන්මට කටයුතු කිරීමයි. 'මුහුදු දෙවිවරුන්ව මිනිසුන්ට දැක ගැනීමට නොහැකියි. එහෙත්, සමහර අවස්ථාවන්හිදී ඔවුන් විශාල මාළු ලෙස, මුහුදු රකුසන් ලෙස හා මුහුදු සර්පයන් ලෙස පෙනී සිටිනවා. අධිරාජයාණනි, ඔබ නිතර දෙවිවරුනට පුද පූජා පවත්වන්නේ වුවද මේ මොහොතේ නපුරු හා දුෂ්ඨ බලයන් පෙනී සිටියි. යහපත් බලයන්ට තම ක්‍රියාවන් කිරීමට ඉඩ සෑදීම සඳහා මේ නපුරු බලයන් පන්නා දැමිය යුතුයි'.
ඉතිං අධිරාජයා අණ දෙනවා විශාල මාළුවෙක් අල්ලා ගැනීමට අවශ්‍ය මෙවලම් සූදානම් කර ගන්නා ලෙසට. ඔහු පුද්ගලිකවම මේ කාරණයට මැදිහත් වන්නට තීරණය කරනවා. මුහුදු මකරෙක් හෝ මතුවූ විගස විද මරා දැමීමට ඔහු ඔහුගේ දුනු දිය ඇද බලා සිටිනවා.

ඔවුන් උතුරු මුහුදේ කරක් ගහනවා, එහෙත් කිසිත් අලුත් දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. අවසානයේ දී මුහුදෙන් මතුවූ විශාල මාළුවෙක් දකින ඔහු ඉතා සතුටට පත්ව මාළුවාට විද මරා දමනවා. එහෙත් තවමත් ප්‍රශ්නය කෙලවර ව නැහැ. නොමැරී සිටීමට අවශ්‍ය බෙහෙත් පැලෑටිය සොයා ගැනීමට පෙන්ග්ලායි දිවයිනට ලඟා විය යුතුමයි. දිවයින සොයා ගත යුතුයි. එපමණක් නොවෙයි, නපුරු ආත්ම තව බොහෝ සිටිය හැකියි. මේ සමත්ව සොයා විනාශ කළ යුතුයි. ඉතිං ඔහු තීරණය කරණවා බටහිර මුහුදට නැව ගමන් කළ යුතු බවට!

මේ ගමනේදී ඔහු මිය යනවා. තම රාජධානියට බොහෝ දුරක මහ සයුරේදී!!!

- කුමාරි කුමාරගමගේ

සොඳුරු මරණය පෙර ලිපිය:
සොඳුරු මරණය 25 - සුන්දර මරණය

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

කරුණු විකෘති කරන්න් එපා - ජර්මන් තානාපති ‌‌මෛත්‍රීට කියලා

දෙසැම්බර් 6, 2018

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය...

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

ජනාධිපති සිරි‌සේන හාන්සි කරවන රජිත් කීර්තිගේ ලීක්වුණු කෝල් එක මෙන්න

දෙසැම්බර් 6, 2018

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...