සොඳුරු මරණය 27 - සියල්ල සියල්ලම හෙයින් - Lanka News Web (LNW)

සොඳුරු මරණය 27 - සියල්ල සියල්ලම හෙයින්

චාලා මියයද්දී මට අවුරුදු 50ක් වෙලා. එයා ලෙඩ වෙලා මාස 2ක් යන්න ඇති. ඉතා පුංචි නොසැලකිය හැකි මට්ටමේ ලෙඩ වීමක්. මමනං හිටියේ එයාට හිනාවෙමින්. ගනන් ගන්න එපා චාලෝ. එහෙමයි මම ලෙඩාට සැලකුවේ. ඒත් එයා මිය ගියා. මට හිතුනේ මම හිටගෙන ඉන්න තැනින් පොළොව අතුරුදහන් වුනා කියලා. මාව කෙළවරක් නැති අගාධයකට ඇද වැටුනා වගේ. දවස් ගණනාවක් තනියම කෑ ගහමින්, නිහඬව, ඇවිදිමින්, වැඩ කරමින් ඇඩුවා. අතරින් පතර මට මතක් වෙනවා, මට අවුරුදු 50ක්, චාලට 74ක්, එයා හොඳ ජීවිතයක් ගත කළා, සියල්ලෝ දිනෙක මිය යා යුතුයි, වැනි කාරණා. ඒත් ඉතිං දුක කොහොම නතර කරන්නද? චාලා මගේ අම්මා!

ආච්චි මිය ගියේ වයස 96ක් වෙලා. චාලාට අවුරුදු පහකට පෙර. අපි එයාව ඇමතුවේ අම්මා කියලා. එයාගේ හැත්තෑ ගණන් වයස වෙද්දීත් බොහෝම ඇක්ටිව් කෙනෙක්. එයාගේ මරණය අපි හැමෝම බලාපොරොත්තුවෙන් සිටි එකක්. (අපි නිකමට ආශාවෙන් හිටියා තමයි එයා සෙන්චරියක් දායි කියලා) උදේ ඇහැරුනාම එයා අපෙන් අහන්න පුරුදු වෙලා හිටියා, 'මැරෙන්නේ නෑ වගේ නේද බන්?' කියලා. ඔන්න ඔහේ සීයක්ම ඉම්මු අම්මෙ කිව්වාම එයා අහනවා, 'උඹලට කරදරයක් නැද්ද, උඹලට කමක් නැත්නම් ඉතිං මට ප්‍රශ්නයක් නෑ' කියලා!

යෙහෙළියකගේ සහෝදරියකට අබාධිත දරුවෙක් ඉපදුනා. 'ස්කෑන් කරලත් මේ දොස්තරලා අපිට වේලාසන කිව්වේ නැහැනේ මේ ළමයා මෙච්චර ආබාධිත බව', යෙහෙළිය කීවා. දුක් නොවිඳ මැරෙන එක හොඳයි. හුඟක් අය ප්‍රාර්ථනා කළා. ඉතා දුෂ්කර අවුරුද්දකට පසු දරුවා මිය ගියා. හැමෝම සැනසුම් සුසුම් හෙළුවා. 'නංඟිට ආයිත් බබෙක් ලැබෙන්න', මාස දෙකකට පසු මගේ යෙහෙළිය ප්‍රවෘත්තියක් ගෙනාවා!
ගිය සුමානේ මගේ මිතුරෙක් කතා කරා, 'මචං, මං හුඟාක් ආදරය කරපු මගේ ශිෂ්‍යාවක් හදිසියේ මිය ගිහිං. මගේ ඔළුව විකල් වෙලා. ඒකිගේ 19වෙනි උපන්දිනය එන සුමානේ. අපි බලං හිටියා. ඒකි අපි හැමෝටම හොඳටම ආදරෙයි'.

ලංකාවේ යුද්ධයක් වුනා. වැඩි දුරක් නෙවෙයි, මොකද ලංකාවම දිගින් කිලෝමීටර් 432ක් හා පළලින් කිලෝමීටර් 224ක් පමණමයි. ඒ කියන්නේ දහස් ගණනින් ළදරු, තරුණ, වැඩිහිටි, මහළු, අවිගත්, නොගත්, දැනුවත්, නොදැනුවත්, කැමැත්තෙන්, අකමැත්තෙන් , මෙලෙස නානා ප්‍රකාර ලෙස මේ රට තුලම මිය ගියේ කිලෝමීටර් 500කටත් වඩා අඩු දුරක් තුල. අපිත් ඒවා බලා හිටියා තමයි, රූපවාහිනිය හරහා... බොහෝවිට සුසුමක්, කඳුලක්, කම්පාවක් කිසිත් නැතිව.

මේ මොහොතේත් ලෝකය තුල බොහෝ තැන්වල ඉවක් බවක් නැතිව සත්තු ගාණට මිනිස්සු මරා දැමෙනවා, අත් හැර දැනෙනවා, අපිට සමහර විස්තර ලැබෙනවා, සමහර ඒවා රහසිගතවම වැළලී යනවා. අපි අපේ වැඩ කරගන්නවා.

ඒ අතර අපේ හොඳම තරහ කාරයෙක්නම් ඕකා මැරෙන්නේවත් නැහැනේ කියලා අපි මරණය ඔහුට හෝ ඇයට ප්‍රාර්ථනා කරනවා.

මියයාමට ඉතා ආසන්න අයෙකුවුවත් අපිට ඔහුගෙන්/ඇයගෙන් යමක් ලබා ගැනීමට තිබේනම් අය්යෝ, තව ටිකක් ජීවත් වුනොත් යැයි බලාපොරොත්තු වුනා.

මොකක්ද මේ වෙනස! ඇයි මරණය සම්බන්ධ මෙහෙම වෙනස්කමක්! අපිට මරණය ප්‍රශ්නයක්වන්නේ අපේයැයි සැලකෙන, අපිට ඉතා සමීප, අපිට අවශ්‍ය, අපි බලාපොරොත්තුවක් තබාගත් අයගේ මරණ ගැන පමණක් නොවේද? මේ සියල්ල හරහා වුවත් බොහෝ විට අපට භීතියක් ඉතිරිවන්නේ වන්නට ඇති අපේම මරණය පිලිබඳව නොවේද?

අපිත් මරණයට කැමතියි. තව විදිහකට කිව්වොත්, කැමැත්තක් නැත්තේම නැහැ!

ඔවුන් අපෙන් බොහෝ දුරක වෙසෙන්නන්නම් ඔවුනට ලැබෙන මරණය මොන මොහොතක, කුමන වෙසින් සිදුවුවත් අපිට ගැටළුවක් ඇත්තේම නැහැ.

ඔවුන් අපිට සමීපව වෙසුනවුන් වුවත් අපේ ජාතියට, ආගමට කොටින්ම අපේකමට අයිති නැත්නම් ඒ මරණයත් කුමන වයසක, කුමන තත්ත්වයක සිටින්නෙකුට වුවද කුමන වෙසකින් පැමිණියත් අපට එතරම්ම ගැටලුවක් නැහැ.

අපේම කෙනෙක් වුවත්, තවදුරටත් ඒ අය ජීවත් වීමෙන් අපට ඉතිරිවන්නේ දුකක් හා අපහසුවක් පමණක්ම නම්, වාසියක් ඇත්තේම නැත්නම් ඔවුනගේ මියයාම අපි ප්‍රර්ථනා කරන්නක්.

ජීවිතය නිමාකර, මරණය බලාපොරොත්තුවෙන් ඉන්නා අයෙකුනම් ඒ මරණය සුවදායක එකක්.

අවසානයේදී අපට පසක් වන කාරණය තමයි මරණය පිළිබඳව වන අකමැත්ත හා භීතිය පුස්සක් බව! මොකද ඒක ඉතාම ආත්ම කේන්ද්‍රීය, ආත්මාර්ථකාමී වුවමනාවන් සමග වැඩෙන්නක්. නැත්නම්, මෙතරම් යුද්ධයක් මධ්‍යයේත් මොරගසමින් විලාප නොදුන් ගැහැණියක් අවුරුදු 74ක් පූර්ණ ජීවිතයක් ගතකළ මවක් මියගිය හේතුවට මෙතරම් හඬාවිද?

කොහොමවුවත් මගේ ඒ ආත්මාර්ථකාමී බවම චාලාගේ මරණයේ සුන්දර බව වටහාගන්නට මට මග පෙන්වූවා. ඒක සුන්දර මරණයක්!

සොං-සා කියන්නේ ශ්‍රේෂ්ඨ සෙන් හාමුදුරු කෙනෙක්. ඔහුගේ පන්සලේ ජීවත් වූ කැට්ශ් නම් පූසා ලෙඩ වී කාලයක් සිට මිය යනවා. කැට්ෂ්ට ලැබෙනවා සෙන් ක්‍රමයේ ගෞරවනීය භූමිදානයක්. ඒ කොහොම වුනත් සොං-සා හාමුදුරුවන්ගේ එක් දායකයෙකුගේ පුංචි දියණියට මෙය දරා ගැනීමට නොහැකි ශෝකයක්.

'කැට්ශ්ට මොකද වුනේ? එයා කොහේද ගියේ?' මේ කුඩා කෙල්ල, ගීතා දිනෙක සොං-සා හාමුදුරුවන්ගෙන් අහනවා.

'ඔයා කොහේ ඉඳලද එන්නේ?' හාමුදුරුවෝ ගීතාගෙන් අහනවා.

'මගේ අම්මගේ බඩේ ඉඳලා'

'ඔයාගේ අම්මා එන්නේ කොහේ ඉඳලාද?
ගීතාට උත්තර නැතිව බලං ඉන්නවා.

'මේ ලෝකයේ හැම දෙයක්ම එන්නේ එකම එක තැනකින්', හාමුදුරුවෝ පහදනවා,' ඒක හරියට විස්කොත්තු ෆැක්ටරියක් වගෙයි. එක එක වර්ගයේ විස්කෝත්තු එතැන හැදෙනවා. සිංහයෝ, කොටි, අලි, ගෙවල්, මිනිස්සු. ඒ හැමෝටම වෙනස් හැඩ තියෙනවා, වෙනස් නම් තියෙනවා, හැබැයි, ඒ ඔක්කොම හැදෙන්නේ එකම විදිහට අනාපු පිටිවලින්. අනික, ඒ ඔක්කොම එකම රස.. ඉතිං ඔයා දකින වෙනස් දේ ඔක්කෝම - පූසෙක්, මනුස්සයෙක්, ගහක්, ඉර, මේ පොළව - මේ ඔක්කොම එකම දෙයක්'.

'මොනවාද ඒ'
'මිනිස්සු ඒවාට නොයෙක් නම් දාල තියෙනවා. හැබැයි ඒවාටම කියල නම් නැහැ. ඔයා හිතන්න පටන් ගත්තාම මේ හැම දෙයකටම නමක් තියෙනවා, හැඩයක් තියෙනවා. හැබැයි, ඔයා හිතන්නේ නැතිව හිටියොත් ඔක්කොම එකම දේ ලෙස තිබෙනවා. මේ කිසිම දේකට වචන නැහැ. මිනිස්සුයි වචන හැදුවේ. පූසෙක් කියන්නේ නැහැනේ 'මම පූසෙක්' කියලා! මිනිස්සු කියනවා, 'මේ පූසෙක්' කියලා. ඉර කිව්වේ නැහැ, 'මගේ නම ඉර' කියලා. මිනිස්සු තමයි කිව්වේ, 'මේ ඉර' කියලා... ඉතිං කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් 'මේ මොකක්ද?' කියලා ඔයා කොහොමද උත්තර දෙන්න ඕනේ?'

'මම වචන පාවිච්චි නොකළ යුතුයි' ගීතා කිව්වා.

සොං-සා කිව්වා, 'බොහෝම හොඳයි. ඔයා වචන පාවිච්චි නොකළ යුතුයි. එතකොට කවුරු හරි ඔයාගෙන් ඇහුවොත්, 'මොකක්ද බුද්ධ කියන්නේ ' කියලා, මොකක්ද හොඳ උත්තරේ?'

ඒ ගමනත් ගීතා ට උත්තර නැති වුනා.

සොං-සා කිව්වා, ' දැන් ඔයා මගෙන් ඒක අහන්න'

'මොකක්ද බුද්ධ කියන්නේ?' ගීතා ඇහුවා.

සොං-සා හයියෙන් පොළොවට ගැහුවා. ගීතාට හිනා.

'මොකක්ද දෙවියෝ කියන්නේ?' සොං-සා ඇහුවා. ගීතා හයියෙන් පොළොවට ගැහුවා.

'කවුද ඔබේ අම්මා කියන්නේ?' ගීතා ආයිත් පොළොවට ගැහුවා.

'කවුද ඔබ?' ගීතා ආයිත් පොළවට ගැහුවා.

'බොහොම හොඳයි. මේක තමයි ලෝකයේ සියලු දේ සෑදුන විදිහ. ඔබ, බුද්ධ, දෙවියෝ, ඔබගේ මව සහ ලෝකයේ පවතින සියළුම දේ' ගුරුතුමා කිව්වා. ගීතා හිනාවුනා. 'ඔබට තවත් ප්‍රශ්න තියෙනවාද?' සොං-සා ඇහුවා.

'ඔබ මට කිව්වේ නැහැනේ කැට්ශ් කොහේටද ගියේ කියලා' සොං-සා නැමිලා ගීතාගේ ඇස්වලට එබිලා බැලුවා. බලලා කිව්වා, 'ඔයාට දැනටමත් තේරෙනවා' කියලා.

'ඔහ්' කියපු ගීතා පොළොවට හයියෙන් ගහලා හිනාවුණා.

ආපහු යන්න හැරුණ ගීතා නැවත හරි සොං-සා ගුරුතුමා දෙස බලා 'ඒත් පාසැලේදී මම මේ විදියට උත්තර දෙන්න යන්නේ නැහැ, මම එහෙදි සාමාන්‍ය පිළිතුරුම දෙන්නම්' කිව්වා. ගුරුතුමා හිනාවුනා.
ඉතිං චාලව මතක් වෙද්දී මම හයියෙන් පොළොවට තට්ටුවක් දාන්න පුරුදු වුනා. කවුරුහරි ඇහුවොත් ඇයි මරණය ගැන ලියන්නේ කියලා, මම ඒකම කරනවා.

- කුමාරි කුමාරගමගේ

සොඳුරු මරණය පෙර ලිපිය:
සොඳුරු මරණය 26 - මරණය අත් හැරිය නොහැකි බැවින්!

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...