දීප්තිගේ කිවිදා කොලම 28 - ධනවාදය සහ සදාචාරවාදය - Lanka News Web (LNW)

දීප්තිගේ කිවිදා කොලම 28 - ධනවාදය සහ සදාචාරවාදය

ලංකාවේ ආනයන-අපනයන ආර්ථිකය කඩා වැටුණේ 70 දශකයේය. ඒ දක්වා ලංකාවෙන් විදේශ රටවලට ආනයනය කළ තේ-පොල්-රබර් ආර්ථිකය ආශ්‍රිතව ගොඩනැගී තිබූ දේශපාලන - ආර්ථිකය ද 70 දශකය අවසන් වන විට බිඳ වැටී ගියේය. එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන - ආර්ථික ව්‍යුහයද ඛාදනය කරන ලදී.

ලංකාවේ කර්මාන්ත අංශය සහ ඒ ආශ්‍රිත වෘත්තීය සමිති ව්‍යාපාරය රැඳී පැවතියේ අපනයන භෝග ආශ්‍රිත එකතු කළ අගය මතය. කොළඹ යූනියන් පෙදෙස ආශ්‍රිතව ගොඩනැගී පැවති රන් පවුම් සමාගම් ලංකාවේ එවකට ආර්ථික මූලය විය. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ආශ්‍රිතව ධනවාදය පිළිබඳ සදාචාර විචාරයක් මතු නොවුයේ ඔවුන් මෙහෙය වන ලද දේශපාලනය ‘වෘත්තියක්’ ආශ්‍රිත ගැටලු මත පදනම් වූ නිසාය.

‘සමසමාජ පක්ෂය’ මධ්‍යම පන්තිකයන් මෙහෙය වන සංවිධානයක් යැයි විචාරය කරමින් 70 දශකය මුල සිට මාඕවාදී මූලයන් සහිතව ජනතා විමුක්ති පෙරමුණ බිහි වන විට ඔවුන් ධනවාදය විචාරය කිරීම පිළිබඳ සදාචාරවාදී විග්‍රහය ජනප්‍රිය කරවන ලදී. ජනතා විමුක්ති පෙරමුණ එහි පන්ති මූලයන්ට ඌනනය කළ විට එය පන්ති ව්‍යාපාරයක් නොවේ. කිසිදු කාර්මික කම්කරු විඥානයක් මත එය රැඳී නොපැවති අතර ඔවුන්ගේ පදනම ග්‍රාමීය දුගීන්ගෙන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමන්විත විය.

ජේ.ආර්. ජයවර්ධනගේ රෙජීමය විසින් ආර්ථික නිර්බාධීකරණය 1977 ට පසුව ලංකාවට හඳුන්වා දෙන ලද අතර එමඟින් ධනවාදය, ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළ (Market Economy) යන අංශ භේද විය. ඇත්තටම ප්‍රාග්ධනය යනු වෙළෙඳපොළ නොවේ. ධනේශ්වර නොවන වෙළෙඳපොළවල් බිහි විය හැක. පර්යේෂණ නොකරත් ලංකාවේ වෙළෙඳපොළෙන් වැඩි ප්‍රතිශතයක් ධනවාදී නැත. වෙළෙඳපොළ ධනවාදී වීමට නම් ලාභයක් සහිතව එය කළ යුතුය. ලංකාවේ කෘෂිකර්මාන්තය, රාජ්‍ය අධ්‍යාපනය, රාජ්‍ය ප්‍රවාහනය යන මේ කිසිවක් ධනවාදී වෙළෙඳපොළවල් නොවේ. ඒවා සුභසාධනයේ මූර්තීන්ය. ලංකාවේ සාමාන්‍ය මැදපන්තිකයකු තම නිවස අසල සිට ප්‍රධාන බස් නැවතුම දක්වා වූ කිලෝමීටරයක දුර සඳහා ගෙවන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 100 කි. ඔහු/ ඇය එතැන් සිට තම සේවා ස්ථානය වූ කොළඹට ඒමට වියදම් කරන්නේ රුපියල් 45කි.

ධනවාදය සම්බන්ධයෙන් ලංකාවේ ඊනියා සදාචාර විවේචනය විධිමත් ලෙස පටන් ගන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් සිය ‘ධර්මිෂ්ට සමාජය’ නම් නිබන්ධනයෙනි. මෙම නිබන්ධනය සාරාංශගත කළහොත් මෙසේය. වෙහෙස මහන්සි වී මුදල් හම්බ කිරීම සදාචාරවත්ය. අතපය වෙහෙසා වැඩ නොකර පොලීකාරයකු හෝ තැරැව්කරුවකු වීම සදාචාර විරෝධීය. 77ට පසුව ලංකාවේ ආනයනය අධික වන අතර අපනයනය කුඩා වෙයි. ක්‍රම ක්‍රමයෙන් සුභසාධන රාජ්‍යය කුඩා වන අතර මූල්‍ය ප්‍රාග්ධනයේ සමාජ බලය පුළුල් වෙයි. මෙයට සමාන්තර ලෙස දෘෂ්ටිවාදයද (Ideology) ව්‍යුහාත්මකව විපර්යාස වෙයි.

ධනේශ්වර ක්‍රමයේ දේශපාලන - ආර්ථික ව්‍යුහය වෙනස් වීම සමග එහි මතවාදී ප්‍රතිනිෂ්පාදනය ද සම්බන්ධය. ‘වෙහෙස වී වැඩ කර හම්බ කිරීම’ යහපත් වී ‘නිකං සිට අතරමැදියකුගේ කාර්යයට අත දමා’ හම්බ කිරීම පහත් වැඩක් ලෙස දැකීම මතවාදී වශයෙන් තහවුරු වූයේ 80 දශකය මුලදීය. මහවැලි ව්‍යපාරය හරහා මහත් ධනස්කන්දයක් ඉපයූ ගාමිණී දිසානායක වැනි චරිතයක් ශ්‍රී ලංකාවට එකල දේශපාලන වශයෙන් දිරවා ගත නොහැකි විය. දේශපාලනයෙන් හොරකම් කිරීම නම් ජනප්‍රිය මාධ්‍ය කතිකාවත ඇති වූයේ ඉන් පසුවය. ලාභය (Profits) හරහා මුදල් ඉපයීම සහ කුලිය (Rent) හරහා මුදල් ඉපයීම ‘අතරමැද’ දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය පුනර්ජීවනය විය. ‘ධනවාදය’ ලාභය හරහා ඉපයීම වෙනුවට කුලිය (හෝ බදු කුලිය) හරහා ආදායම ලැබීම සදාචාරාත්මක ගැටලුවක් බවට පත්වූ වහාම ඊර්ෂ්‍යාව දේශපාලන සාධකයක් ලෙස මතුපිටට පැමිණියේය. ‘දිවයින’ පත්තරයෙන් පටන් ගත් මෙය අද ඊයේ පළ වන P, Q, R වැනි ඕනෑම පුවත්පතකට අදාළය.

‘කුලිය’ යන්න මුලින් බැඳී තිබුණේ ඉඩමටය. සම්භාව්‍ය දේශපාලන - ආර්ථිකයට අනුව කුලිය උත්පාද කර ගැනීමට ඉඩම් අත්පත් කරගත යුතුය. ශ්‍රමය හරහා අතිරික්ත - වටිනාකම් නිපදවීම වෙනුවට කුලිය හරහා ලාභා ලැබීම අතර ඇති පරතරය ධනේශ්වර සහ ධනේශ්වර විරෝධය යන මතවාද කට්ටලය සමග සම්පාත විය. එස්. බී. ද සිල්වා වැනි දේශපාලන - ආර්ථිකවේදියකු පවා වාණිජ ප්‍රාග්ධනය සහ කාර්මික ප්‍රාග්ධනය අතර දෙබෙදුමක් නිර්මාණය කරන ලද අතර ‘නිෂ්පාදන ප්‍රාග්ධනය’ වාණිජ ප්‍රාග්ධනයට වඩා උස් තැනක තබන ලදී. මෙම න්‍යායගත කිරීම්වල දෝෂය සහ දෘෂ්ටිවාදය ගමන් කරන්නේ ධනවාදය පිළිබඳ සදාචාර විචාරයටයි. 2005 වර්ෂයට පසුව මම S.B. de ගැන නිශ්ශබ්ද වූයේ ඉහත සාධකය නිසාය. ලංකාවේදී කෙනෙකු කට අරින විට ඔහු/ ඇය ධනවාදය සඳහා ඉදිරිපත් කරන්නේ සදාචාරවාදී අදහස්ය. ‘යහපාලනය’ යනු එහි උච්චතම දෘෂ්ටිවාදයයි.

ධනේශ්වර ක්‍රමය සම්බන්ධයෙන් ඇති වූ ඉහත ව්‍යුහාත්මක වෙනස් වීම්වලට තුඩු දුන් මරමස්ථානය වූයේ මැදපෙරදිගයි. දේශපාලන - ආර්ථිකවේදීන් මැදපෙරදිග රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කළ සංකල්පය වූයේ කුලීකාර රාජ්‍යයන් (Rentier States) යන්නය. මෙම රාජ්‍යයන් දෙවන ලෝක යුද්ධයට පසුව විජිතකරණයෙන් නිදහස් වූවාට පසුව තමන්ගේ ජාතික ආදායමෙන් වැඩි පංගුව උපයා ගත්තේ තමන්ගේ තෙල් නිධි බද්දට දීමෙනි. තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ පොසිල ඉන්ධන පැවතීම නිසා ඔවුන්ට වාසනාව උදා විය. සුළඟ විසින් තමන්ගේ කකුල් දෙක ළඟට ගෙනත් දමන ලද වාසනාව බටහිර මිනිසුන්ට පෙනුනේ හිතුවක්කාර අහම්බයක් ලෙසිනි. තෙල් නම් සම්පතේ හිඟභාවය නිසා මැදපෙරදිග රටවල පාලක පවුල්වල පුද්ගලයන් කෙටි කලක් තුළ අතිශයින් ධනවත් විය. මෙම ධනවත් වීමේ මාදිලිය බටහිර සමාජයේ පොහොසත් වීමේ ප්‍රමිතිගත අදහස්වලට මරු පහරක් එල්ල කරන ලදී.

ධනය ඉපයීම පිළිබඳ බටහිර පැවති ආගමික ප්‍රොතෙස්තන්තවාදයට මෙම මැදපෙරදිග කුලීකාර ධනපතියන් නිසා මරු පහරක් දෘෂ්ටිවාදී අන්තරයෙන් එල්ල විය. අනෙක් අතට මෙම නව ව්‍යුහාත්මක තත්ත්වය නිසා ධනවාදයට එයම හඳුනා ගන්නා ලක්ෂණ (Self-understanding) අහිමි විය. පැරණි සාරධර්ම අනුව දේපොළ උපයා ගැනීමේ පදනම වූයේ අවධානම, නිපුනතාවය සහ වෙහෙස වී වැඩ කිරීමයි. නමුත් කුලීකාර ධනපතියන් ඒ අර්ථයෙන් අලසයන් සහ ගජ මිතුරන්ගේ ධනවාදයකි. රනිල්ට බලය දීම යනු මලික් සමරවික්‍රම නම් අලසයාට ඉඩ දීමකි. ආගම තුළ පැවති ධනවාදය පිළිබඳ සදාචාර විවේචනය ක්‍රම ක්‍රමයෙන් වාමාංශික පක්ෂවල දෘෂ්ටිවාදී විචාරවලට කාන්දු වූයේ ඉහත සම්භාව්‍ය දේශපාලන - ආර්ථිකය හරහාය. ඒ අනුව ධනවාදය මේ ආකාරයට වර්ගීකරණය වෙයි. (1) ශුද්ධ ලාභය මුල් කරගත් ධනවාදය (2) කුලීකාර ධනවාදය.

නූතන ධනවාදී සමාජ සම්බන්ධයේ මූලික වෙනස පදනම් වී ඇත්තේ ‘ලාභයෙන්’ කුලිය කරා ප්‍රාග්ධනයේ මූලය වෙනස් කිරීමෙනි. මෙහි අතුරු ඵලයක් ලෙස රාජ්‍යය (State) සහ පුද්ගලික ව්‍යාපාරයන් අතර සමාජ සම්බන්ධයද විකරණය වී ඇත. සදාචාර විචාරකයන් කියන්නේ ආපසු කුලියෙන් ‘ලාභයට’ මාරු විය යුතු බවයි. ‘ගජමිතුරු ධනවාදය’ යනු රාජ්‍ය බලය ලබා ගන්නා දේශපාලකයාව මුදල් හරහා ව්‍යාපාරිකයන් අල්ලේ නැටවීමයි. ව්‍යාපාරිකයන් තම අරමුදල් යොදවා දේශපාලන පක්ෂ සහ දේශපාලනයෙන් තම අභිමතාර්ථ වෙනුවෙන් වටයයි. මෙම මංසන්ධියේදී අමරසේකර වැනි සදාචාරවාදියෙකුට ධනවාදය දූෂිත යැයි කියනවාට වඩා දෙයක් කිව නොහැක.

- දීප්ති කුමාර ගුණරත්න

පෙර ලිපිය:
දීප්තිගේ කිවිදා කොලම 27 - අමරසේකර සතු ගෝලීයකරණ දැනුම

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...