විත අස පත 30 - තට්ටයා නික්ම ගිය පසු..!

විත අස පත 30 - තට්ටයා නික්ම ගිය පසු..!

16 October 2018 08:55 am

දූපත්වාසී හැට පස් වසරක කෙළවර රොනී ලීච් සිය නික්මයෑම උදෙසා මහාද්වීපයක් තෝරා ගත්තේය.

ඇදහූ ආගමට අනූව සමාදානයේ සැතපීම කෙසේ වුව ඔහු ප්‍රීතියෙන් නික්ම ගිය වගට සැක නැත. රොනී කොහොමත් ජොලි පොරකි. විහිළුවෙන් සංස්කෘතියට හීං අභියෝග කළ මිනිහෙකි. මරණය බැරි වුණත් ජීවිතය හිනැස්සූවෙකි. සිම්පල් වැඩවලින් ආතල් පෙරා දුන්නෙකි. එහෙව් මිනිසුන්ට දූපතේ ඉඩ අඩු ය. ඉඩම් බලතලවල ගැටලුවක්මත් නොව සංස්කෘතික බලතලවල පසුගාමීත්වය නිසා ය.

ඇත්ත! රොනී විහිළුකාරයෙකි. ඔහු රඟපෑවේ විකට චරිත ය. ගැයුවේ බයිලා සින්දු ය. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලට පැමිණ රස වෑහෙන වල් කතා කීවේය. තනි අතින් උළුඳු වඩේ හදන හැටි අපට කියා දුන්නේය. සමාජ - දේශපාලන ලෝකයේ බරපතල විය යුතු බොහෝ දෑ විහිළු වෙද්දී අපට රොනීලාගේ විහිළු බරපතල ලෙස දැනුණේ හෝ ඇනුණේ නැත. 'රෑ ඩැනියෙල් දවල් මිගෙල්' චිත්‍රපටයේ රොනී රහස් පරීක්ෂකයෙක් ලෙස සැරසී සිය තට්ට හිසේ ඇන්ටනාවක් බැඳගෙන හොරුන් අල්ලන්නට ගියේය. අවසානයේ හොරු කැමැත්තෙන් ඇවිත් ඔහුට භාර වූහ. චිත්‍රපට නම් එහෙම ය. නමුත් සැබෑ ලෝකය මෙහෙම නැත. ඇත්ත ලෝකේ එදත් - අදත් - හෙටත් මාරුවෙන් මාරුවට පුළුල් තිරයේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් තිරගත වෙයි. රොනී ඇතැම් තැනක, චිත්‍රපටයක දේශපාලකයෙකුට ඇන්දේ අපට ඒ බව කියන්නට විය හැකිය. විහිළු කළේ - බයිලා ගැයුවේ තේරුම් කරන්නට වෙන්න පුළුවන. නමුත් වටහා නොගෙන සිනාසුණා පමණක් වීම ඔහුගේ නොව අපගේ ගැටලුවකි.

රොනී බටහිර නැඹුරුවක් සහිත පරිසරයක වැඩුණෙකු බැවින් ඔහුගේ නිර්මාණ පමණක් නොව සමහර 'වැඩ' ද ඇතැමෙකුට නොරිස්සූ වග පැහැදිලි ය. එවැන්නන්ගෙන් ඔහු 'අනෙ ඇත්තට කවුද බොලේ මෙ ඇලිස්?' යනුවෙන් ඇසුවේ සියුම් උත්ප්‍රාසයක් සහිතව ය. 'රෙද්දයි හැට්ටෙයි ඇන්ද එකී - අද අලුත් මෝස්‌තර දාන හැටී - අනෙ මැගියගෙ ලොකු දුව ඇසිලියනේ මෙ ඇලිස්!' ලෙස ඔහු ගයන්නේ සිනාසෙන්නට පමණක් නොවේ. වදින තැන්වලට වදින්නත්, වැදී රිදෙන තැන්වලට රිදෙන්නත් එක්ක ය. ඔහුගේ හීං සංස්කෘතික අභියෝගය අන්න එහෙම ය. පර්ත් නුවරින් මරණයේ 'පාත්' එක සොයාගෙන ඈත් වී ගියේ එවන් විහිළුකාරයෙකි. දැන් ඔහු ගල්කිස්ස සුසාන භූමියේ සැතපී සිටියි. නිසැකවම මඳහසක් සහිතව ය.

රොනී ගැන තව බොහෝ දේ කතා කළ හැකි ය; කතා කළ යුතු ය. ඒ අප හුදු ලේබල්කරණයෙන් බැහැරව චූලවංශයේ වුව මහාවංශයක් තිබෙන්නට ඉඩ ඇතැයි පිළිගන්නට නැමුණු මිනිසුන් වන බැවිනි. නමුත් ඒ දීර්ඝ සංවාදය මඳකට කල් දමා අද තීරුව අපි මෙතැනින් නතර කරන්නෙමු. කෙස් ඇතත් හිස් නැති මිනිසුන්ට තට්ටයෙකුගෙන් වුව ලබාගත හැකි දේ බොහොමයක් වග අවසාන වශයෙන් ලියා තබන්නෙමු.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 29 - අන්දරේ! ඉතිං අප සිනාසිය යුතුද?