සොඳුරු මරණය 28 - කැමතිනම් අහන්න! - Lanka News Web (LNW)

සොඳුරු මරණය 28 - කැමතිනම් අහන්න!

ඇය හොලී බට්ලර්. අවුරුදු 26ක සුන්දර යුවතියක්ව ජීවිතය විදිමින් සිටින මොහොතක ඇයට ඇතිවූ ශාරීරික අපහසුවකින් පසු හෙළිවුණා දරුණු පිළිකාවකින් ඇය මිය යමින් සිටිනා බව.

ඇයත් අපි වාගේම අසරණ වන්නට ඇති, වෛද්‍ය විද්‍යාවෙන් කළ හැකි උපරිමය ලබා ගන්නට ඇති, බැරිම තැන තවත් නොයෙක් වූ පිළිසරණ පතන්නට ඇති, සමහරවිට හඬන්නට වැළපෙන්නට ඇති. ඒ කිසිවක් අපි දන්නේ නැහැ. හැබැයි මිය යාමට පැය විසි හතරකටත් අඩු කාලයකට පෙර ඇය විසින් ලියා විද්‍යුත් මාධ්‍ය හරහා පළ කළ බවට සඳහන් වන සටහනක් ලෝකයේම අවධානයට යොමු වූවා. වැඩි කාලයක් නැහැ. මාස නවයකට පෙර! එහි සඳහන් වන අන්දමටනම් අවසානයේදී ඒ නොවැළැක්විය හැකි මරණය සුන්දරව බාරගෙන ඇති හැඩයි. එපමණක් නොවෙයි, ඉතිරි මොහොත හෝ සුන්දරව ජීවත්වීමට ඇය තරයේ තීරණය කොට තිබූ හැඩයි.

ඒ සටහන එක්තරා විදිහකට අපි හැමෝටම ඉතා හොඳ පාඩමක්. මේ මොහොතේ අහම්බයකින් මුහුණ පොත හරහා මා වෙත පැමිණි ඒ සටහනේ සමහර කොටස්වල අනුවාදයක් මෙසේ පළ කරන්නට මටත් හිතුනා...

'අවුරුදු විසිහයක වයසේදී මරණයේ අනිවාර්ය බව තේරුම් ගන්නට පමණක් නොව එය පිළිගන්නට සිදුවීම හරි අමුතු දෙයක් ලෙසයි මට දැනෙන්නේ. මොකද, මරණය කියන්නේ අමතක කොට, අත්හැර දැමූ තවත් එක් සංකල්පයක් විතරක් නිසා. දවස් ගෙවෙනවා, අපි කිසිත් පැකිලීමක් නැතිවම බලාපොරොත්තු වෙනවා තව අලුත් දවස් පැන පැන ඒවියි කියා. හැබැයි, බලාපොරොත්තු නොවූ දේ සිදුවනතෙක් පමණයි!

හැමතිස්සෙම වාගේ මගේ මනසේ තිබුනේ හෙමි හෙමිහිට වයසට යන ජීවිතයක් ගැන. සමේ රැලි හා සුදු වූ හිසකෙස්... බොහෝවිට ආදරණීය පවුලක් සමග, දරු මුණුපුරන් බොහෝ ගණනක් පිරිවරාගෙන... මම පෙරුම් පිරුවේ මගේ ජීවිතයේ ආදරණීය මිනිසා සමග එහෙම ජීවිතයක් ගොඩනගන්න. මට ඒක කොච්චර අවශ්‍යයද කිව්වොත් මට තාමත් එය තදින් දැනෙනවා.'

'මේ තමයි සැබෑ ජීවිතය. බිදෙන සුළු, අනර්ඝ, පුරෝකථනය කළ නොහැකි ජීවිතය! මේ ජීවිතයේ හැම දවසක්ම තෑග්ගක් මිසක ඒක අපේ අයිතියක් නෙවෙයි.'

'මට තාම අවුරුදු 27යි. මට යන්න ඕනේ නැහැ. මම මගේ ජීවිතයට ආදරෙයි. මම සතුටින්. මා වටා සිටිනා මගේ ආදරණීයයන් සැමට මම ඒ ගැන ණයගැතියි. ඒත්, ඒ ජීවිතයේ පාලනය මගේ අතේ නැහැ!

මම මේ සටහන පටන් ගන්නේ 'මරණයට පෙර සටහනක්' ලෙස නෙවෙයි. එතකොට මරණයට භීතියක් ඇතිව වගෙයි. මරණයේ අනිවාර්ය බව පිළිබඳ අපි හැමවිටම කෙතරම් නොසැලකිලිමත්ද යන කාරණය හරි වැදගත්. මට ඒක කතා කරන්න අවශ්‍යවන අවස්ථාවන් හැරුණු කොට මරණය යන කාරණය හැමවිට සැළකෙන්නේ තහංචියක් විදිහට. හරියට ඒක අපි කාටවත් වෙන්නේ නැති දෙයක් වගෙයි! මටනම් ඒ සිටීම හරි අමාරුයි'.

'මටනං කියන්න තියෙන්නේ මේ පුංචි පුංචි කාරණා සම්බන්ධයෙනුයි තේරුමක් නැති ආතතීන්ගෙනුයි කනස්සළු වෙන එක නතර කරන්න කියලයි. මොකද ඔය මොන දේ කළත් අපි හැමෝටම අවසානයේ සිද්ධ වෙන්නේ එකම දේ. ඉතිං කරන්න තියෙන්නේ පලක් නැති දේ විසිකරලා දාල තමන්ගේ කාලය වැඩක් ඇති ලෙස පාවිච්චි කරන එකයි. හිතමින් ගතකරන්න ඕනෑ තරම් කාලය මිඩංගු කළ හැකි ලෙස තිබූ බොහෝ සිතිවිලි පහුගිය මාස කීපය තුලදී මම අත්හැරලා දැම්මා.'

'ටිකක් හිතන්න බරපතළ ප්‍රශ්නයකට මේ මොහොතේ මුහුණ දෙමින් ඉන්න කෙනෙක් ගැන. එතකොට හැකිවෙයි ඔබේ ඉතා කුඩා නොසැලකිය හැකි ලතැවුල අත්හරින්න. යමක් ඔබට වදයක් ලෙස පවතිනවා නම් ඒක වදයක් කියල හිතුවටනම් කමක් නැහැ. ඒත් ඒක දිගටම ඔළුවේ තබාගෙන සිටීම! අනෙක ඒ නිසාම වටේ සිටින සියල්ලන්ගේ දවස අවුල් කර දැමීම!'

'ප්‍රශ්න අත හරින්න. හොඳ හුස්මක් ගන්න. බලන්න නිල් පැහැ අහස, හරිත වර්ණ ගහකොළ.. කෙතරම් සුන්දර ද! හිතන්න ඔබ කෙතරම් වාසනාවන්තද මේ මොහොතේ. ඔබට හුස්ම ගන්නට හැකි වී තිබීම පමණක් වුවත්!'

'ඔබේ වාරය පැමිණි විට පාරේ ට්‍රැෆික් එක ගැනවත්, පොඩි එවුංගේ කරදරය නිසා රෑ හොඳ නින්දක් නොලැබීම ගැනවත්, බලාපොරොත්තු වුනාට වඩා කොටට කොණ්ඩය කපා දැමීම ගැනවත්, නියපොතු බිදී යාම ගැනවත් ඔබ කරදර නොවන බව මට විශ්වාසයි! ජීවිතය පූර්ණත්වයකින් ගත්තොත් මේ කිසිවක් ගණන් ගත යුතු දේ නෙවෙයි.'

'මගේ ඇස් ඉදිරිපිට මගේ ශරීරය දිරාපත් වෙමින් යනවා, හැබැයි මට කළ හැකි කිසිවක්ම නැහැ. මට මේ මොහොතේ කළ හැකි එකම ප්‍රාර්ථනාව තව එකම උපන්දිනයක් ගත කිරීමට ලැබීමක් හෝ පවුලේ අය සමග තව එක් නත්තලක් ගත කිරීමට ලැබීමක් නැතිනම් තව එකම එක දවසක් මගේ පෙම්වතා හා බල්ලා සමග ගත කිරීමක් පමණමයි. එකම එක දවසක්!'

'මිනිස්සු රැකියාවේ අමාරුව ගැන, ශාරීරික ව්‍යායාමයේ අපහසුව ගැන කියනවා මට ඇහෙනවා. ඒත් සතුටු වෙන්න මේ සියල්ල කිරීමට තාමත් ඔබේ ශරීරය හොඳ තත්ත්වයේ තිබීම ගැන. මේවා ඉතා කුඩා දේවල් ලෙස පෙනෙන්නේ දිනෙක ඔබගේ ශරීරය කිසිවක් කරන්නට නොහැකි තත්ත්වයට පත්වන තෙක් පමණයි!'

'වේදනාවක් නැතිව ගෙවන හැම දවසක් ගැනම සතුටු වන්න. උණක්, හිසරදයක්, කකුළ ඇමට්ටිවීමක්, කොන්ද කැක්කුමක්.. මේවා තියෙද්දී ඒක වේදනාවක් බව පිළිගත්තට කමක් නැහැ. ඒත් මතක තියා ගන්න, ඒවා මරණය ලබා දෙන වේදනා නෙවෙයි නේ! ඒවා පහවෙලා යාවි!'

'හැම දෙයක් ගැනම මැසිවිලි කීම අඩු කරන්න. එකිනෙකාට උදව් කරන්න. පුළුවන් තරම් දෙන්න, දෙන්න, දෙන්න. ඇත්තටම අනිත් අය තමාට දෙනවාට වඩා තමා අනිත් අයට දෙද්දී වැඩි සතුටක් ලැබෙන්නේ නැතිද? මට දැන් හිතෙනවා මට තවත් වැඩියෙන් ඒ දේ කරන්න තිබුනා කියා!'

'තවත් එකක්. හිතන්න, ඔබ මරණය දකිමින් සිටිනවා. දැන් ඔබ ළඟ ඉතිරි මුදල්වලට මොකද කරන්නේ? ඒක ගැන හිතද්දී හරිම විකාරයක්! එළියට ගිහින් ආස කරන මොනවා හරි ද්‍රව්‍යමය දෙයක්, ඇඳුමක් ගන්න වෙලාවක් නෙවෙයි මේක. මේ වෙලාවේ තමයි තේරෙන්නේ ජීවිත කාලය තුළ කෙළවරක් නැති ආස කරන දේ ගන්න අලුත් ඇඳුම් ගන්න මුදල් වියදම් කිරීමට මෙච්චර පෙළඹෙන්න අපි කොච්චර මෝඩද කියල! ඇත්තටම ඔබ එකම ඇඳුම නැවත ඇන්දාද නැද්ද කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? ඊළඟට යන විවාහ මංගල්ලය සඳහා ඔබ වෙනුවෙන් ඇඳුම් සහ විලාසිතාවනට යන වියදම කපා දමා ඒ යහළුවාට හෝ යෙහෙළියට ජීවිතයට වටිනා යමක් රැගෙන දෙන්න.. ඔවුන්ව කෑමකට කැඳවන්න. හැකිනම් ඔබම කෑම පිළියෙල කරන්න. කෝපි කෝප්පය වත්කර දෙන්න. පැලයක් තෑගි දෙන්න. ඔවුන් පහසු කරන්න. ඔබේ ආදරය ප්‍රකාශ කරන්න.'

අන් අයගේ කාලය වටිනා බව අමතක කරන්න එපා. ඔබ වෙලාවට වැඩ නොකරන අයෙකුනම් අනිත් අයට ඔබ එනතෙක් බලා සිටීමට ඉඩ නොහැර හැකි තරම් වේලාසන සූදානම් වන්න. ඔවුන් එන්නේ ඔබ සමග වෙලාව ගත කිරීමට මිසක ඔහේ බලා සිටීමට නොවේ.'

'අත්දැකීම් ලබා ගැනීම සඳහා මුදල් වැය කරන්න. දකින බොහෝ දේ මිලට ගත් පසු මුදල් හිඟය නිසා අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා නැති කරගන්නනම් එපා.'

'හැමදාම කල් දමමින් සිටි වෙරළෙහි ඇවිදීම දැන්වත් ඉක්මනින් කරන්න. කකුල් වතුරේ ඔබා, ඇඟිලි වැල්ලෙහි ඔබා, මුහුණ ලුණු වතුරෙන් සෝදා.. බය නැතිව මේවා කරන්න... ස්වභාවධර්මය සමග උපරිමව ගනුදෙනු කරන්න...'

'දුරකථනයේ තිරය මත නොව ජීවිතය ජීවත් වෙන්න. ජීවිතය කියන්නේ ෆොටෝ ගැනීම නෙවෙයි. කළ යුත්තේ අන් අය සතුටු කිරීමට හෝ ඔවුනට දැන්වීමට අපේ අත්දැකීම් ඔවුනට පෙන්වීම නෙවෙයි, අපි සැබවින්, උපරිමව අත්දැකීමයි!'

'මට මේ ගැහැණුන්ව තේරුම් ගන්න බැරිවයි ඉන්නේ. ඇත්තටම රූපලාවන්‍ය හෝ කොණ්ඩා සැකසීම සඳහා අපි දිනපතා වැය කරන පැය ගණන, එහෙම නැතිනම් යම් එක් සාදයක් සඳහා සූදානම් වීමේදී ඒ වැය කරන පැය ගණන හැබෑටම වටිනවාද?'

'කිසිම වරදකාරී හැඟීමකින් තොරව කේක් කන්න. උදෑසන අවදිවන්න, කුරුළු ගී අහන්න. ඉර පායා එනවිට එය අහසෙහි අදින සිත්තම්.. එය රස විඳින්න... ඔයාගේ බල්ලාව හුරතල් කරන්න (මට ඒකනම් අනිවාර්‍යයෙන් මගහැරේවි).. ඔබේ හදට සතුට දැනෙනා දේ කරන්න. අකමැති දේට බැහැ කියන්න පුරුදු වෙන්න.. අනිත් අය ජීවිතය පූර්ණ වන්නට අවශ්‍යයි සිතනා දේ ඔබ කළ යුතු නැහැ. ඔබ කැමති ඉතා සාමානය ජීවිතයක් ගත කිරීමටනම් මොකක් ද එහි ඇති වරද?'

'හැකි හැම විට ආදරය පවසන්න. අමතක කරන්න එපා, කිසිවෙකු ඔබව අපහසු කරයි නම් එය වෙනස් කරන බලය ඇත්තේ ඔබ ළඟම බව! රැකියාවේදී, සමාජයේදී, ආදරයේදී, මොන දෙයෙහිදී වුවත් වෙනස් කිරීම සඳහා බියක් ඇති කර ගන්න එපා!'

'මේවා නිකම්ම නිකං තරුණ කෙල්ලෙකුගේ උපදෙස්. ඒවා ගන්න බැරිනම් අත්හරින්න... මට කමක් නැහැ!'

'ඔහ්! අන්තිමට එක දෙයක්! මනුෂ්‍යත්වය වෙනුවෙන් හා මා වෙනුවෙන් එක් යහපත් දෙයක් කරන්න. අනිත් කාරණය, ලේ දන්දීම පුරුද්දක් කරගන්න පටන් ගන්න. ලේ බෑග් එකක් , ජීවිත තුනක්! නොදන්නා ලේ බෑග් ප්‍රමාණයක් නිසා මට තව අවුරුද්දක් ජීවත් වෙන්න හැකි වුනා. ඒකට හැමෝටම ස්තුතියි! ඒ මගේ ජීවිතයේ හොඳම අවුරුද්ද!'

'ආදරෙන් - හොලී'

ඉතිං කැමතිනම් ගන්න, නැත්නම් අල්ලලා දාන්න.

- කුමාරි කුමාරගමගේ

සොඳුරු මරණය පෙර ලිපිය:
සොඳුරු මරණය 27 - සියල්ල සියල්ලම හෙයින්

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...