දීප්තිගේ කිවිදා කොලම 29 - චීනය පරමාදර්ශයක් වන්නේ මන්ද? - Lanka News Web (LNW)

දීප්තිගේ කිවිදා කොලම 29 - චීනය පරමාදර්ශයක් වන්නේ මන්ද?

අමරසේකර තම කෘතිය  වූ ‘ධනවාදයට විකල්පයක්’ තුළ කරුණුමය සත්‍යයක් ලෙස චීනය පිළිබඳ උදාහරණය විදාරණය කරයි. සමකාලීන ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළ චීනය බහුතරයක් දෙනා පරමාදර්ශයක් ලෙස සලකති. අමරසේකර තම කෘතියේ විවිධ ස්ථානවලදී චීනය පිළිබඳව පහත ආකාරයේ අර්ථකථනයක් ඉදිරිපත් කරයි.

“චීනය සහ ඉන්දියාව යන දෙ රටේම කාර්මික සහ විද්‍යාත්මක ඥානය තිබුණු බවට සාක්ෂි තිබේ. විශේෂයෙන් ඒ ඥානය චීනය සතුව තිබුණු බව අවිවාදයෙන් පිළිගනු ලැබේ. සියවස් ගණනකට පෙර මාලිමා යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය, තුවක්කු, වෙඩි බෙහෙත් චීනය විසින් නිෂ්පාදනය කරන ලදී. එයින් පෙන්නුම් කරන්නේ කාර්මිකකරණයට අවශ්‍ය ඥානය ඔවුන් සතුව තිබුණු බවයි. එහෙත් චීනයේ කාර්මික විප්ලවයක් සිදු නොවීය. එමෙන්ම බටහිර පහළ වූ විද්‍යාත්මක චින්තනය වැන්නක්ද බිහි නොවීය.

චීනය පිළිබඳව මහා ග්‍රන්ථයක් ලියා ඇති ජෝසප් නීඩ්හැම් විසින් ඉහත ගැටලුවට පිළිතුරක් ගොඩ නගා ඇත. ඔහුට අනුව චීනයේ කාර්මික විප්ලවයක් සිදු නොවුයේ එහි ධනවාදයක් පහළ නොවූ නිසාය. එහෙත් එසේ වීමට හේතුව නීඩ්හැම් පෙන්වා දී නොමැත.

මීට හේතුව ධනවාදය බිහි කිරීමට මුල් වූ මිනිසා සහ විශ්වය පිළිබඳ අර්ථකථනයක් චීනය තුළ බිහි නොවීම නොවේද? එවැන්නක් චීන දාර්ශනිකයන් විසින් චීන සභ්‍යත්වය විසින් පහළ නොකිරීම නොවේද? මාටින් ජැක් නමැති විද්වතා (මෙහු Marxism Today නම් සඟරාවේ කතුවරයාය - අවධාරණය මගේ) විසින් චීනය හඳුන්වාදෙනු ලැබ ඇත්තේ ධනවත් රටක් වත් කොමියුනිස්ට් රටක්වත් ලෙස නොව සභ්‍යත්ව රාජ්‍යයක් (Civilization State) ලෙසයි. එබැවින් චීනය තුළ එදා මෙන් අද ද ධනවාදය බිහි වීමට පසුබිමක් ඉඩක් නොමැත.

ධනවාදය ඉබේ පහළ වූවක් නොව බටහිර විසූ දාර්ශනිකයන් විසින් පහළ කළ චින්තනය පදනම් කරගෙන බිහි වූවක්ය යන අපගේ තර්කය චීනය විසින් ඔප්පු කර ඇතැයි මම සිතමි’’             

- ධනවාදයට විකල්පයක්, පිටු 54-55

ගුණදාස අමරසේකර රචිත ග්‍රන්ථයේ මූලික ලක්ෂණයක් වන්නේ එමගින් ප්‍රකාශිත අදහස්වල අනුභූතිකවාදියයි. ලංකාවේ සිටින බහුතරයක් පහළ මැදපාන්තික (මින් බහුතර දෙනා රාජ්‍යයෙන් නිශ්චිත මාසික වැටුපක් ලබන්නන්ය. උදා: විශ්වවිද්‍යාල ගුරුවරුන්)

බුද්ධිමතුන් ධනවාදය (Capitalism) ගැන සාකච්ඡා කිරීමට යාමේදී එය වෙනත් සමාජ-ක්‍රම වලින් වෙනස් වන තැන ගැන න්‍යායික නිර්වචනයක් කරන්නේ නැත. යම්කිසි ජන සමාජයක් ධනවාදී ද නැද්ද යන ගැටලුවට විවිධ පුද්ගලයන්, විවිධ අර්ථකථන සපයයි. නමුත් මාක්ස් විසින් ලබා දෙන නිර්වචනය අනෙක් ඒවාට වඩා සංගත වන්නේ ඊට ඇති ඓතිහාසික තර්කනය නිසාය. අපි ඉතාම කෙටියෙන් සහ සරලව මාක්ස් විසින් ධනවාදය නිර්වචනය කරන ආකෘතිය සලකා බලමු.

මාක්ස්ට අනුව යම් සමාජයක් ධනවාදී වන්නේ,

“ශ්‍රමය හැර අන් දෙයක් විකිණීමට නොමැති අයුරින් සමාජ සංවර්ධනය විය යුතුය. එවිට සමාජ ප්‍රතිනිෂ්පාදනය සිදු වන්නේ අතිරික්ත වටිනාකම් මතය. සරලව කිවහොත් ‘ශ්‍රමය’ පවා පාරිභෝගික භාණ්ඩයක් විය යුතුය. එවිට ශ්‍රමය ද වෙළෙඳපොළක් බවට පත් වෙයි. ශ්‍රමය විසින් අතිරික්ත වටිනාකම් නිපදවන සමාජය ධනවාදීය’’

අමරසේකරගේ කෘතිය තුළ ධනවාදය පිළිබඳ ඉහත නිර්වචනය කොතැනකවත් නැත. අවම වශයෙන් තමන්ගේ ආස්ථානයට විරුද්ධ මතය තම කෘතිය තුළ සම්පාදනය කිරීම ශාස්ත්‍රීය පුරුද්දකි. අවාසනාවකට එවැනි තත්ත්වයක් අමරසේකර පෙන්නුම් කරන්නේ නැත. මෙම තත්ත්වය මීට වඩා භයානක ලෙස නලීන් ද සිල්වා තුළද අන්තර්ගතය. ඔහුට අනුවද ධනවාදය පදනම් වන්නේ සභ්‍යත්ව පදනමක් මතය. නමුත් මාක්ස්ගේ නිර්වචනයට අනුව ධනවාදය සභ්‍යත්වයෙන් නිදහස්ය. එය ලෝකයේ බිහි වූ ‘අතිරික්තය’ නිපදවන පළමු සමාජ-ක්‍රමයයි. අතිරික්තය බිහි කරන නිසාම එය සෑමවිටම සමාජ ආතතියද නිෂ්පාදනය කරයි.

අමරසේකර ද ඇතුළත්ව දේශීය ධනවාදී විචාරකයන් ධනවාදය සමග වෙළෙඳපොළ පටලවා ගනිති. ඉතා පැහැදිලිව ධනවාදී වෙළෙඳපොළ සහ ධනවාදී නොවන වෙළෙඳපොළ අතර ප්‍රබල න්‍යායික වෙනසක් ඇත.

මාක්ස්ගේ නිර්වචනයට අනුව ධනවාදය සහ වෙළෙඳපොළ අතර වෙනසක් ඇත. වෙළෙඳපොළක් අනිවාර්යයෙන් ධනවාදී විය යුතු නැත. වෙළෙඳපොළවල් ඉතිහාසය ගවේෂණය කළ විට ඒවායින් බොහොමයක් ධනවාදී නැත.
සමාජයක් විපර්යාස වීමේදී ඊනියා මනස එය කියවන ආකාරය බටහිර සහ පෙරදිග වශයෙන් රැඩිකල් ලෙස වෙනස්ය. උදාහරණයක් ලෙස ප්‍රතිවිරෝධය (Contradiction) යන ප්‍රපංචය බටහිර දී සහ පෙරදිග දී වටහා ගන්නේ දෙයාකාරයකටය. ලෙනින්වාදය සහ මාඕවාදය අතර ප්‍රබල ලෙස වෙනස කියවිය හැක්කේ ප්‍රතිරෝධය නම් සන්දර්භය තුළය. ලෙනින් ‘දයලෙක්තිකය’ අවධාරණය කරන විට මාඕ අවධාරණය කරන්නේ ‘ප්‍රතිවිරෝධයන්’ ගැනය. මෙම වෙනස මගින් ‘පෙරදිග ආශාව’ සහ ‘බටහිර ආශාව’ වෙන් කළ හැකිය. පෙරදිග ආශාව මෙලන්කොලිකය. යමක ඇලී ගිය විට පෙරදිග ආශාව ඉන් ගැලවීමට බියක් දක්වයි. නමුත් බටහිර යමක ඇලී ගිය විට එය සමතික්‍රමණය කරයි. මේ හේතුව නිසා පෙරදිග ආශාව ප්‍රතිවිරෝධයන් නිශේධ නොකරන අතර අපරදිග එය කරයි. එනිසා ඔවුන් තම අනෙකාව පසමිතුරෙක් (Antagonist) ලෙස වටහා ගනියි. නමුත් පෙරදිග මිනිසා ක්‍රිස්තියානිය තුළ මෙන් හර පද්ධතීන් ඉක්මවා යන විනෝද වන අනෙකෙක් හඳුනා නොගනියි. මේ හේතුව නිසා පෙරදිග මිනිසාට ‘අනෙකා’ හමුවන්නේ ගුප්ත ආකෘතියකින්ය. නමුත් බටහිර මිනිසාට ‘අවිඥානයක්’ ඇති පුද්ගලයෙක් ලෙස අනෙකාව හමු වන අතර ඔහු/ ඇය සමීප අනෙකාගේ මුහුණත ව්‍යාජයක් ලෙස දැක එයට බිය නැතිව පහර දෙයි. නමුත් පෙරදිගට ආකෘතියක් ලෙස ‘අනෙකා’ හමු නොවන අතර අනෙකාගේ දෘශ්‍යමානය ඇත්තක් ලෙස නඩත්තු කරයි. එනිසා පෙරදිග මිනිසා නිශේධනය සමග මිඩංගු වෙයි. ධනවාදය සහ ප්‍රාග්ධනය අතර වෙනස කියවීමේදී ඉහත න්‍යායික පර්යාවලෝකනය වැදගත් වෙයි. ප්‍රාග්ධනය යනු මසුරකු අත රැඳෙන දෙයක් නොවේ. එය ඔට්ටු ඇල්ලීමට (ප්‍රසාරණය සහ අතිරික්තය නිපදවීම උදෙසා) බිය නොවී සිටින ආත්මයකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් දෘෂ්ටිවාදයේ අසමත්කමේ ප්‍රතිඵලයකි. මනෝ විශ්ලේෂණය පටන් ගන්නේ දෘෂ්ටිවාදය අවසන් වන තැනේදී යැයි අප අවධාරණය කරන්නේ මේ නිසාය. කෙනෙක් ධනවාදය දෘෂ්ටිවාදී යැයි ගන්නා විට ඔහු ගැඹුරුම දෘෂ්ටිවාදියෙකි.
ධනවාදී වෙළෙඳපොළ තුළ ධනවාදී නොවන වෙළෙඳපොළවල්වලට ද පැවැත්මක් ඇත. එනිසා ප්‍රතිවිරෝධයන් බිහි වන්නේ මේවා අතරය. අප සභ්‍යත්වය යනුවෙන් වටහා ගන්නේ ධනවාදී නොවන වෙළෙඳපොළවල්වල විවිධ සමාජ ආචරණයන්ය. ධනවාදී නොවන නොවන වෙළෙඳපොළවල්වල අරමුණ හුදු ලාභය පමණක් නොවේ. එමගින් අල්පේච්ඡතාවයද නිෂ්පාදනය කරයි.

- දීප්ති කුමාර ගුණරත්න

පෙර ලිපිය:
දීප්තිගේ කිවිදා කොලම 28 - ධනවාදය සහ සදාචාරවාදය

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...