විත අස පත 31 - විජය නම් කෙටි දිවි සැරිය! - Lanka News Web (LNW)

විත අස පත 31 - විජය නම් කෙටි දිවි සැරිය!

කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග උපත ලැබුයේ 1945 ඔක්‌තෝබර් මස 09 වැනිදාය.

දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලක ඔහු බාලයා විය. සීදුව දවිසමර ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් විජය ඉන්පසු කොටහේනේ ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයට ඇතුළත් විය. පසුව ජ්‍යෙෂ්ඨ පාසල් අධ්‍යාපනය සඳහා කඳාන ද මැසනද් විද්‍යාලයට ගියේය. රංගනය සඳහා කුඩා කල සිටම නොතිත් ආශාවක්‌ දැක්‌වූ ඔහු එහි ප්‍රතිඵලයක්‌ ලෙස සෙරන්ඩිබ් කලා ආයතනයට ඇතුළත් වී රංගනය පිළිබඳ හැදෑරීම කළේය.

1969 දී තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ හන්තාන කතාව චිත්‍රපටය විජය එක රැයින් තරුවක්‌ බවට පත් කළේය. නමුත් ඔහු එතෙක්‌ පැමිණි ගමන දුෂ්කර එකක්‌ විය. 1967 දී අලුතින් නිෂ්පාදනය වන චිත්‍රපටයකට නළුවෙක්‌ සොයා දැන්වීමක්‌ සරසවිය පුවත්පතේ පළ විය. විජය ඊට අයෑදුම් කළේය. ලැබුණු ප්‍රතිචාරය අනුව ඔහු සම්මුඛ පරීක්‍ෂණය සඳහා ද ගියේය. නමුත් එතැනදී ඔහුගේ බලාපොරොත්තු විසුණු විය. පන්සීයකට අධික තරුණයන් පිරිසක්‌ නළු වරම අපේක්ෂාවෙන් එහි පැමිණ සිටියහ.

"මේක හරියන වැඩක්‌ නෙවෙයි වගේ. මම එන ගමන් පොලිසියේ එස්‌. අයි. යන්නත් ඇප්ලිකේෂන් දාල ආවෙ. මේක හරියන්නෙ නැත්නම් ඒකට යනවා." විජය අපේක්ෂාභංගත්වයෙන් අසල සිටි අයකුට කීවේය.

"කලබල වෙන්න එපා. අපි බලමුකො මොකද වෙන්න කියලා." අනෙකා පැවසීය.

එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි ධර්මසේන පතිරාජ ද එම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන කණ්‌ඩායමට ඇතුළත්ව සිටියේය. නමුත් ඔහු එම ස්‌ථානයට එන විට තරමක්‌ ප්‍රමාද විය. ප්‍රමාද වී පැමිණි පතිරාජට පන්සියයක්‌ පමණ හුන් තරුණයන් අතර එක්‌ තරුණයකු කැපී පෙනුණේය. පොකොටු කෙස්‌ සහිත හිසින් හා මුහුණ පුරා වැවුණු රැවුලෙන් යුතු ඒ තරුණයා සම්මුඛ පරීක්‍ණය පැවැත්වෙන ශාලාව ඉදිරිපිට එහාට මෙහාට ගමන් කරමින් සිටියේය. ඔහු දුටු විගසම චරිතයට අවශ්‍ය කරන නළුවා ලැබුණු බව පතිරාජ තීරණය කළේය. ඔහු එය අනෙක් පිරිසට ද දැනුම් දුන්නේය. සියල්ලන්ගේම කැමැත්ත ලැබිණි. අවසානයේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා විජය තෝරා ගැනිණි. එසේ සිය සිනමා ජීවිතය ඇරැඹි විජය පසුව පිට පිටම පස්‌ වතාවක්‌ ජනප්‍රිය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

විජය සැපවත් ජීවිතයක්‌ ගත කළ අයකු නොවීය. ඔහුට තම පියා අහිමි වූයේ කුඩා කාලයේදීය. ළමයෙකු ලෙස ලැබිය යුතු බොහෝ දෑ ඔහුට අහිමි විය. වරක්‌ නැක්‌සලයිට්‌ චෝදනාව යටතේ මාස ගණනාවක්‌ හිරගෙදර සිටියදී තම එකම පුතු විමුක්‌තිට විජය ලියූ ලිපියක ඔහු තමාගේ ළමා කාලයත්, ඒ පිළිබඳ තමාගේ අදහසත් ලියා දැක්‌වීමට අමතක නොකළේය. මේ විජය තමාගේම අකුරින් සිය පුතුට ලියූ ලිපියේ එම කොටසයි.

"උඹ කවදා හරි දැන ගනීවි මේ පුංචි රටේ පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ කිසිම කෙනෙකුගේ සරණක්‌ නැතුව සදාකාලිකවම දුක්‌විඳින ලක්‍ෂ ගණන් දුප්පත් ජනතාව ඉන්න බව. උන් ඔක්‌කොම එකම පංතියක මිනිස්‌සු. උඹේ තාත්තත් අන්න ඒ පන්තියේ මිනිහෙක්‌. ඒක මතක තියා ගනින් පුතේ. කිසිම දවසක අමතක කරන්න එපා උඹේ ඇඟේ දුවන්නේ ඒ තාත්තාගේ ලේ බව. දුක්‌ වේදනා, කරදර, අමාරුකම්, නැතිබැරිකමින් පිරිච්ච ජීවිතයක්‌ ගත කරපු මිනිහෙක්‌ උඹේ තාත්තා. උඹ ඒ ගැන ලැඡ්ජා වෙන්න එපා. ආඩම්බර වෙයන්. කවදා හරි දවසක උඹට මේ ලෝකෙටම හඬගා කියන්න ඉතිරි වෙන එකම සුදුසුකම අන්න ඒකයි. මගේ ලෙයින් උඹ ලැබූ ඒ අයිතිය රැකගනින් පුතේ.· කවදා හරි දවසක මේ නිර්ධන පංතිය දුකින් මුදාගන්නට කරනා මහා අරගලයකදී මගේ ලේ උරුමයෙන් උඹට ලැබුණු ඒ අයිතිය බලවත් ආයුධයක්‌ කරගනින්."

ඔහු තුළ පැවැති ඇතැම් මානව හිතවාදී ගුණාංග දලුලා වැඩීමට මේ අත්දැකීම් හේතු වන්නට ඇත. ධර්මසිරි ගමගේ වරක්‌ ප්‍රකාශ කළ අන්දමට විජය කුමාරතුංග ගැන මොන තරම් හෙව්වත් හොයා ගත නොහැකි කරුණු තුනක්‌ තිබේ. පළමු කරුණ අනුන්ගේ යහපත වෙනුවෙන් නොමිලේ රඟපෑ චිත්‍රපට සංඛ්‍යාවයි. දෙවැනි කාරණාව හදිසි විපත්වලදී හිතමිතුරන්ට ලබා දුන් මිල මුදල් ප්‍රමාණයයි. තෙවැනි කාරණාව ආහාර, බෙහෙත්, ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කර ඇති සංඛ්‍යාවයි.

විජයගේ දේශපාලන ආගමනය අහම්බයක්‌ නොවීය. ඊට පිවිසීම සඳහා අවශ්‍ය සමාජ හා දේශපාලන වටපිටාව සකස්‌වීමත් සමඟ විජය ප්‍රසිද්ධ දේශපාලනය කරා යොමු වූයේය. නමුත් ඒ දේශපාලනය විසින් මේ මිනිසාගේ ආයු කාලය කෙටි කර දැමුණි. දිනය 1988 පෙබරවාරි මස 16 වැනිදාය. රාජකාරි කටයුත්තක්‌ සඳහා උදෑසනින්ම නිවසින් පිටව ගිය විජය දිවා ආහාරය සඳහා නැවත නිවසට පැමිණියේය. දවල් ආහාරය ගෙන මඳ වේලාවකට පසු නැවත කිසියම් කටයුත්තක්‌ සඳහා නිවසින් පිටව යන්නට ඔහු සැරසුණේය.

නිවස ඉදිරිපිට පාරෙහි සාතන්ගේ පුත්‍රයන් දෙදෙනා රැඳී සිටියහ. පළාතම දෝංකාර දෙමින් ටී - 56 තුවක්‌කුවක්‌ කෑමොර දුන්නේය. නියෝගය අකුරටම ක්‍රියාත්මක විය. විජයගේ මුහුණ සීසී කඩවන්නට ප්‍රහාරය එල්ල වී තිබිණි. තුවක්කුකරුවන් එතැනින් පලා යද්දී විජය කුමාරතුංගගේ සිරුර සදහටම මහ පොළොව මතට ඇද වැටුණේය. නැවත නැඟිටීමේ සලකුණක්‌වත් ඒ තුළ නොවීය.

- කසුන් සමරතුංග 

පෙර තීරු ලිපිය:
විත අස පත 30 - තට්ටයා නික්ම ගිය පසු..!

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ශවේන්ද්‍ර, මේ එළඹ ඇත්තේ ඔබේ වාරයයි!

ජනවාරි 10, 2019

එදා අවසන් සටනේ අවසන් දිනවල LTTE නායකයන් විසින් ඔවුන්ගේ සටන්කාමීන්...