සොඳුරු මරණය 29 - දෙව් විමනක් වූ මෙම සිරුර - Lanka News Web (LNW)

සොඳුරු මරණය 29 - දෙව් විමනක් වූ මෙම සිරුර

ඉපදුන යමක් වෙද, සදාකාලික නොවන්නේ, මියෙන්නට නියමිතය..
ගොඩගසාගත් දෙයක් වෙද, සදාකාලික නොවන්නේ, අවසන්වන්ට නියමිතය..
එක් වූ යමක් වෙද, සදාකාලික නොවන්නේ, වෙන්වන්ට නියමිතය.
ගොඩනැගූ යමක් වෙද, සදාකාලික නොවන්නේ, බිදී යාමට නියමිතය..
ඉහළ ගිය යමක් වෙද, සදාකාලික නොවන්නේ, වැටෙන්නට නියමිතය..
එලෙසටම,
යාලු මිත්‍රකම් ලෙසටම පස මිතුරුකම් ද,
වාසනාව සේම අවාසනාවද,
යහපත මෙන්ම නපුරුකම් ද ,
මනසෙහි දුවනා සියළු සිතිවිලිද,
හැමකක් හැමවිට වෙනස්වෙමින්ම නොපවතී ද...
 
මේ සියල්ල අප හැම හොඳින්ම දන්නා සත්‍යයන්ය. එහෙත්, අපි අපේ ජීවිත කාලය තුලදී සිදුවන මේ අහිමිවීම්, නැතිවීම් හා වෙනස්වීම් ගැන කෙතරම්නම් පුදුම වෙනවාද? ඒවා සිහිකරමින් කෙතෙක්නම් හඬා වැටෙනවා ද? ඒවා පිළිගැනීමට, බාරගැනීමට හෝ දරා ගැනීමට නොහැකිව කෙතරම් දේ කරනවා ද, සමහරවිට දිවිහානි කරගැනීමේ සිතීමක් දක්වාම.... එහෙත් පුදුමයනම් අවසානයේදී සියල්ලෝ දන්නා, ඉදිරියේදී දැනගන්නා, මෙතෙක් කලක් දැනහුන් පැහැදිලි සත්‍යය මෙයම සහ මෙයම පමණක් බව අපට පිළිගැනීමට සිදුවීමයි! මේ පැහැදිළි සත්‍යය දැන දැනත්, සත්‍යය පෙනි පෙනීත්, නැවත නැවතත් ඒ නොදන්නා ලෙසින් හැමදා ජීවත්වන්නට, කෙළවරක් නැතිව එකතු කරගන්නට, හදාගත් යාලු මිත්‍රකම් නොවෙනස්ව පවත්වා තබා ගන්නට, ලබාගත් තාන්න මාන්නාදිය හැමදාටම නඩත්තු කිරීමට, වෙනකක් තබා තම බාහිර පෙනුම නොවෙනස්ව තබා ගන්නට අප මෙතරම් උත්සාහ දරන කාරණය, හේතුව කුමක් විය හැකිද?
 
මේ සියල්ල අවශ්‍යවන්නේ ජිවත්වන කාලය තුල තමාට සතුටින් සිටීම හා ජීවිතය නොවිඳ විඳීම සඳහාම පමණක් යැයි බොහෝ අය පවසනු නියතය. එහෙත් ඒ උත්සාහයන්ගෙන් බොහෝවිට සිදුවන්නේ මේ මොහොතේ ඇති දේ සමග පවා සතුටුවිය නොහැකිව නැතිවීම පිලිබඳව දුක්වීමට වීමක්නම්? මන්ද, මේ මොහොත පවා හැමවිට ඒ පසුපස එන මොහොත විසින් වෙනසකට හරවමින් සිටිනා බැවිනි!
 
අපි සියල්ලෝ මේ සැරිසරන්නේ මුලාවක බව තේරුම් ගැනීමට ටිකක් ගැඹුරින් සිතන්නට උත්සාහ කරනා කිසිවෙකුට අපහසු විය නොහැකි බවයි මගේ අදහස. මා සතුටු කිරීම සඳහා, මා සුවිශේෂී කිරීම සඳහා, මා වෙනුවෙන් මේ කරනා සියල්ල වැදගත් වන්නේ අඩුම වශයෙන් මෙම 'මා'  මා කැමති කාලයක් පවත්වාගෙන යාමට මට හැකියාවක් ඇත්නම් පමණක් නොවේද යන්නවත් තේරුම් ගැනීමට අපට හැකිවිය යුතු නොවේද? මේ මොහොතේ සිටිනා මේ 'මා', මගේ දැනුමකින් හෝ එකඟතාවකින් තොරවම ඊළඟ නිමේෂයේ දී 'මා'  නොවන දේ බවට පත්වන්නට ඉඩ ඇති බැවිනි!
 
වයෝවෘද්ධ සාධුවරයෙක් මහ අව්වේ දර පලමින් සිටියේය. ඒ අසලින් යමින් සිටි මගියෙක්, ටිකක් නතර වී අව්ව බැස යන තෙක්වත් විවේක ගතහොත් යහපත් නොවන්නේදැයි ඔහුගෙන් ඇසුවේය. 'නතරවුවහොත් මේ වැඩේ මට නැවත කිසිදා කරන්නට හැකිවේදැයි සැකයැ'යි ඔහුගේ පිළිතුර විය. සෙන් දහමට අනුව  ජීවත්වන කෝකියෙක් හැමවිට අසීරු කාර්යයන්හි නියැලෙනු දුටු අයෙක්, 'ඇයි ඔබගේ අත්උදව්කරුවාට මේ අමාරු කාර්‍යයන් නොපවරන්නේ' යැයි ඇසුවේය. 'අනිත් අය මා නොවේ' ඔහුගේ පිළිතුර විය.
 
අපි හොඳින් දන්නා හඳුනන ලෝකයේදී නම් මේ මිනිසුන් දෙදෙනාම මෝඩයන් ලෙසට, එසේත් නැත්නම්, වයසට යාමත් සමග මොලය විකල්ව ගිය අය ලෙස සලකන්නට බොහෝ ඉඩ කඩක් ඇත. කෙසේ වුවත් අප ඔවුන්ට සැලකුවේ හෝ සලකන්නේ කෙසේද යන්නවත් ඔවුනට වැදගත් නොවන බව ඔවුනගේ පිළිතුරු හරහා නොවැටහේද? ඔවුන් මේ මොහොත පූර්ණව ජිවත්වන බවකි දැනෙන්නේ! එපමණක් නොව ඊළඟ මොහොතක් ගැන අනවශ්‍ය බලාපොරොත්තුවක් ඔවුනට නැත. ලාභය, යසස, ප්‍රශංසා කිසිත් මේ කාර්‍යයන්ගෙන් නොලැබෙන බව ඔවුන් දන්නා මුත් ඒ පවා ඔවුනට අදාළ නොවන්නාක් මෙනි.
 
'ඔබ දෙව්ලොව මෙන් උත්කෘෂ්ඨ විය හැක, හෙනයක් ලෙස බලවත් විය හැක, නා රජකු සේ වස්තු රැකගත් අයෙකු විය හැක, දෙවියකු සේ ප්‍රියජනක විය හැක, දේදුන්නක් සේ සුන්දර විය හැක - එහෙත්, ඒ කුමක්ලෙස සිටියා වුවද, බලවත්ව සිටියා වුවද මරණය හදිසියේ පැමිණි විට මොහොතකට හෝ ඒ ගැන කිසිවක්ම කරන්නට ඔබට හැකියාවක් නැත. ඔබට තෝරාගැනීමක් නැතිවම යන්න සිදු වේ. නිරුවත්ව, සීතලව, ශරීරය මත තැබුවාවූ හිස් දෑත් සහිතව... එකතු කරගත් ධනයද වටිනා ආභරණ හා භාණ්ඩද, හිතමිතුරන් ද, ආදරණීයයන් ද, සාත්තු සප්පායමට සිටියවුන් ද, ගෝල බාලයන් ද, රටද, භූමිය ද, යටත් සේවකයන් ද, දේපල ද, කෑම බිම ද, යසස හා කීර්තිනාමයන් ද, මේ සියල්ලම දමා යාමට සිතීම පවා දැරිය නොහැකි වුවද එය එසේ වනවා ඇත. මේ සියල්ල වෙඬරු පිඩක් හරහා ඇදි කෙස් ගසකට සමානය. ඔබ දස දහසක් සංඝයාගේ ප්‍රධානියා විය හැක. එහෙත් උන්ගෙන් එකෙකු හෝ රැගෙන යාමට ඔබට නොහැක. ඔබ සිය දහසක් මිනිසුන් පාලනය කරන්නා විය හැක. එහෙත් ඔබගේ සේවකයෙකු ලෙස එකෙකු ගෙන යාමට ඔබට හැකියාවක් නැත. මුළු ලෝකයේම වස්තුව ඔබ සතුව ඇත්තා වුවද, ඉඳි කටුවක් හා නූලක්  තරම් වූ දෙයක් රැගෙන යාමට ඒ කිසිවක් ඔබට බලය දෙන්නේ නැත.
 
ඔබගේ ආදරණීය වූ සුන්දර වූ ශරීරය ද ඔබට අයත් වන්නේ නැත.  ජිවත්වන කාලය තුල සිල්ක් හා වටිනා විසිතුරු විලාසිතාවන්ගෙන් සැරසා තැබූ, තේ කෝපි බිර ආදී නොයෙක් දෙයින් පුරවා තැබූ, පාංශු දේහධාරීව හෝ ඉතා රූමත්ව තැබුවා වූ, දෙවිවරු ලෙස දිස් වූ  මේ සිරුර දැන් මිනියක් ලෙස නම් කොට තබා ඇත. සියල්ලෝ ඉක්මනින් ඉන් මිදෙන්නට කැමැත්තෙන් සිටිති. ' - දිවියේ අනිත්‍ය බව...
 
කුමාරි කුමාරගමගේ
2018 ඔක්තෝබර් 25
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...