විත අස පත 32 - සිරා ගැන නොනිමි සටහන! - Lanka News Web (LNW)

විත අස පත 32 - සිරා ගැන නොනිමි සටහන!

බී. ඒ. සිරිවර්ධන හෙවත් ඇත්තේ සිරා ගැන මීට පෙර 'විත අස පත' තීරුවක අපි කෙටි සටහනක් තැබුවෙමු.

එදා අප ඒ සටහන අවසන් කළේ සිරා ගැන කතා කරන්නට තව බොහෝ දේ ඇති වගත්, ඒ දීර්ඝ කතා බහ මඳකට කල් තබන වගත් ලියමිනි. මඳකට මඳක් වැඩි කාලයකට පසු මේ එළැඹ තිබෙන්නේ ඒ දීර්ඝ සටහන ලියා තැබිය යුතු නිමේෂයයි. එබැවින් මෙවර තීරුව සිරා ගේ ඒ නොනිමි සටහන වෙනුවෙන් වෙන්කරමු.

Siraකොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ තරුණයකුට පසු කලක ලේක්‌හවුස්‌ දිනමිණ පුවත් පතේ සේවය කිරීමට අවස්‌ථාව ලැබිණි. ඒ ලේඛකයකු වශයෙනි. නමුත් එහි සේවය කිරීම කිසිවිටෙකත් ඔහු තෘප්තිමත් කිරීමට සමත් නොවිණි. තමාගේ දේශපාලන චින්තනයවත්, බස හැසිරවීමවත් ලේක්‌ හවුසිය තෝතැන්නක්‌ නොවන බව තේරුම් ගත් තරුණයා ඉන් ඉල්ලා අස්‌විය. පසුව කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ඇත්ත පුවත්පත හා එකතු වන ඔහු මඳ කලකින් එහි ප්‍රධාන කර්තෘ තනතුරට පත් කරනු ලැබීය. හේ නමින් බී. ඒ. සිරිවර්ධනයි. නැතිනම් ඇත්තේ ඇත්තන්ගේම ඇමතුමෙන් 'සිරා' යි. ඡන්ද පොරයට නොවැටී සිරා වැන්නන් කළ දේශපාලනය අද සිහිපත් කළ යුතු තත්ත්වයක්‌ එළැඹ තිබේ.

දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ සිදුකර ඇත්තේ පවතින ලෝකය විස්‌තර කිරීම පමණක්‌ බවත් නමුත් සිදුවිය යුත්තේ ලෝකය පැවතිය යුතු ආකාර විස්‌තර කිරීම බවත් මාක්‌ස්‌ ප්‍රකාශ කළේය. සිරා දාර්ශනිකයකු නොවුණත් ලෝකය පැවතිය යුතු ආකාරය විස්‌තර කිරීමට උත්සාහ ගත්තෙකි. ඇරිස්‌ටෝටල් අනුව මිනිසා උපතින්ම දේශපාලන සත්ත්වයෙකි. අප සැවොම අඩු වැඩි වශයෙන් ඊට දායකත්වය ලබා දෙන්නෝ වෙති. එසේ නම් දේශපාලන සත්ත්වයකු ලෙස සිරාගේ භූමිකාව කුමක්‌ද? ඔහු ඇදහූ දේශපාලන දර්ශනය කුමක්‌ද?

සිරා මාක්ස්‌වාදියකි. මාක්‌ස්‌ ලෙනින්වාදයෙන් පන්නරය ලැබූ මාක්‌ස්‌වාදියකි. ඔහු ලියූ සෑම දේශපාලන ලිපියකම, සෑම කතුවැකියම අන්තර්ගතය මාක්‌ස්‌වාදයයි. එසේම ලේක්‌ හවුසියෙන් ඉවත් වී ඇත්ත පුවත්පත හා එක්‌වීමට සිරා මෙහෙයවූ ප්‍රධාන බලවේගය ද මාක්‌ස්‌වාදී චින්තනයයි. අපට වඩා සිරාගේ දේශපාලන භූමිකාව හඳුනන්නේ ඔහුගේ වෘත්තීය සගයන්ය.

- සිරා ගැන ලාල්ගෙන් -

ඇත්ත පුවත්පත සිහි කරද්දී ඒ සමගම මතකයට එන චරිත අතර සිරිලාල් කොඩිකාර ඉදිරියෙන් සිටී. ලාල් සහ ලාල් සහෝදරයා ලෙස සගයන් හඳුන්වනු ලබන ඔහු සිරාගේ මාක්‌ස්‌වාදී භක්‌තිය පිළිබඳ සිය ස්‌වයංලිඛි ත චරිතාපදානය වන 'මගේ සාක්‌කිය' පොතේ මෙසේ සඳහන් කරයි.

"සාධාරණ කෝපයක්‌ යයි හැඳින්විය යුතු කෝපයක්‌ සිරා තුළ නැඟුණේ පත්තර කියවන අතරය. කාල් මාක්‌ස්‌ උගත්කමක්‌ නැතිව යාචක තත්ත්වයෙන් සිටියකු බව අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළ බවක්‌ පුවතක දැකීමෙනි. 'මේකට නම් හිරේ යන්න බලාගෙනම ලියන්න ඕනෑ' වැනි ප්‍රකාශයක්‌ සිරාගෙන් කෙරුණු බව මට මතකය. මේ ලියුවේ වචන මට දැන් මතක හැටියටය. වචන මෙලෙසම නොවුණත් අදහස මෙයය. මාක්‌ස්‌වාදයට සිරාගේ භක්‌තිය ඒ කෝපයෙහි පිළිබිඹු විය.

ලියා පළකළ කතුවැකියට යෙදූ සිරස්‌තලය 'ගොනා වුණාට උම්බෑ කියන්න එපා' යනු ය.

පහසුවෙන් නඩු පවරන්නට නීතිපතිවරයාට පුළුවන් විය. අපහාසයක්‌ කෙරී ඇතැයි ඔප්පු කිරීමට ද පුළුවන් විය. මේ අපහාසය කෙරී ඇත්තේ ගොන් ප්‍රකාශයක්‌ කරණ කොට ගෙන ඇතිවූ සාධාරණ කෝපයකින් යයි අධිකරණයට පෙනුනේය. නඩුව ඔප්පු වූ බැවින් දඬුවම් කළ යුතු විය. දඬුවමක්‌ කළේය. දඬුවමක්‌ නොකළා යයි කියන්නට දුන් දඬුවමක්‌ සේ එය පෙණිනි. රුපියල් පනහක දඩයකි. ලබාදුන් 'බරපතළ' දඬුවම ගැන පැමිණිලි පාර්ශ්වයට සමච්චලයක්‌ කිරීමටත් ඇත්ත පාර්ශ්වය වගබලා ගත්තේය. දඩය ගෙව්වේ ඇත්ත පාඨකයන්ගෙන් සතය බැගින් සම්මාදම් කිරීමෙනි. රුපියල් පනහට වැඩියෙන් එකතු වූ මුදල් ඇත්ත අරමුදලටය."

- සිරා සහ ඇත්ත -

සිරා සහ ඇත්ත පුවත්පත අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවකි. ලේක්‌ හවුසියෙන් ඉවත්වීමෙන් පසු ඔහු ඇත්ත හා එකතු වන්නේ එච්.ජී.එස්‌. රත්නවීර මාර්ගයෙනි. රත්නවීර එවකට ඇත්තේ ප්‍රධාන කර්තෘ තනතුර දැරුවේය. 1964 දී ඇත්ත සමග එකතු වන සිරා වසර 22 ක්‌ සිය පෑනේ ඉටු කළේය.

ඇත්ත කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රකාශනයකි. නමුත් සිරා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සාමාජිකයකු නොවීය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී ඔහු පක්‍ෂයේ සාමාජිකත්වය ලබා සිටියද පසු කලෙක යම් යම් මතවාදී ගැටුම් නිසා ඉන් ඉවත්ව තිබේ. පසුව එම මත ගැටුම් සමථයකට පත් වුවද නැවත පක්‍ෂ සාමාජිකත්වය ලබාගැනීමට ඔහු උනන්දු වූයේ නැත. ඔහු ඇත්ත පුවත්පත හා සම්බන්ධ කර ගත්තේ මෙවැනි පසුබිමක්‌ මතය. පක්‍ෂ සාමාජිකයකු නොවුණද සිරා ඊට එකතු කර ගැනීමට හේතුව ඔහු මාක්‌ස්‌වාදී දර්ශනයට අනුකූලව පෑන හසුරවන්නකු වීමය. සිරා අතින් බිහිවූ සිය ගණනක කතුවැකි හා දේශපාලන ලිපි ඒ වෙනුවෙන් සජීවී සාක්‍ෂි වේ.

- කතුවැකියක ජවය -

මාක්‌ස්‌වාදය හා පීඩිත පංතිය වෙනුවෙන් පුවත්පත් දේශපාලනයේ නිරතව සිටි සිරාට ඒ තුළ වැඩි වටිනාකමක්‌ ලැබුණේ ඔහු ලියූ කතුවැකි නිසාය. සිරාගෙන් තොර කතුවැකිය පිළිබඳවත් කතුවැකියෙන් තොර සිරා පිළිබඳවත් සාකච්ඡා නැත. ඔහුගේ කතුවැකිය නිර්මාණශීලීය. ආවේගශීලීය. උපහාසාත්මකය. වැරැද්ද දුටු තැන වැරැදිකරුවාට එලව එලවා පහර දෙන මඩුවලිගයකි ඔහුගේ කතුවැකිය. එහි භාෂාව ප්‍රබලය. ජවසම්පන්නය. විද්දොත් වදින්නේ හාවාටම මිස පඳුරට නොවේ. පුවත්පතක කතුවැකිය පිළිබඳ සුප්‍රකට කියමනක්‌ පත්‍ර ලෝකය තුළ වෙයි. ඒ මෙසේය.

"කතුවැකිය කියවන්නේ තුන් දෙනෙක්‌ පමණය. එය ලියන තැනැත්තා එක්‌ අයෙකි. අකුරු අමුනන්නා තවත් අයෙකි. අනෙක්‌ තැනැත්තා ශුද්ධි පත්‍රය බලන්නාය."

මේ කියමන සිරා සම්බන්ධයෙන් සාධාරණ නොවේ. සැබැවින්ම ඔහු කතුවැකිය ලියා පත්‍ර ලෝකය තුළ කතුවැකි පිළිබඳ තිබූ මෙවැනි සාම්ප්‍රදායික කියමන් උඩුකුරු යටිකුරු කළේය.

- කතුවැකියෙන් කළ දේශපාලනය -

සිරා කතුවැකියෙන් කළ දේශපාලනය කුමක්‌ද? ඔහු කළ දේශපාලනය ගැඹුරු වුවත් පිළිතුරු සරලය. සිරා කළ දේශපාලනය වූයේ සැමදා පීඩිත පංතිය වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු මාක්‌ස්‌වාදයෙන් ලබාදීමට උත්සාහ කිරීමත්ය. ඒ සඳහා උදාහරණ බොහෝ ඇත. 1971 කැරැල්ල සම්බනධයෙන් සිරා දැක්‌වූ මතය ඉන් එකකි.

71 කැරැල්ල මෙන්ම රෝහණ විජේවීර ගේ දේශපාලනය ද සිරා අනුමත නොකළ නමුත් තරුණයන් කැරැලි ගැසුවේ මක්‌නිසාද යන්න පිළිබඳ පැහැදිලි දේශපාලන අවබෝධයක්‌ ඔහුට තිබිණි. ඒ වෙනුවෙන් ලබාදිය යුතු දේශපාලන විසඳුම කුමක්‌ද කියාත් ඔහු දැන සිටියේය. කැරැල්ල ඇති වීමට මඳ කලකට පෙර තමා ලියූ කතුවැකියක්‌ සිරා මේ ආකාරයෙන් අවසන් කරන්නේ ඒ නිසාය.

"හොරුන් කෙසේ වෙතත් අවංක තරුණයන් විප්ලවය ගැන කෑ ගසන්නේ නම් සාධාරණ හේතුවක්‌ ඇතිවයි. හොරුන්ගේ උපක්‍රම ව්‍යර්ථ කිරීමේත් අවංක තරුණයන් සන්සුන් කිරීමේත් එකම මාර්ගය ඒ හේතුව නැති කිරීමයි. ඒ හේතුව ආණ්‌ඩුව විසින්ම ඇති කරන ලද්දකි. සමඟි පෙරමුණ ජනතාවට දුන් පොරොන්දුව අනුව සමාජවාදය ගොඩනැංවීමට නොපැකිල, නොනැවතී නොපමාව කෙලින් වැඩ කරනවා නම් මේ එක වලිප්පුවක්‌වත් නැත."

ජේ.ආර්. ජයවර්ධනගේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව සමග සිරා ඉතා තදින් ගැටුනේය. ඒ එම ආණ්‌ඩුව ගෙන ගිය ජනතා විරෝධී ක්‍රියාකලාපය නිසාය. සාමාන්‍ය ජනතාවට උහුලාගෙන ගත නොහැකි අන්දමට බඩු මිල වරින්වර ඉහළ නැංවීම ඔවුන්ගේ පුරුද්දක්‌ බවට පත්වී තිබිණි. ඒ ගැන ලියූ කතුවැකි ගණනාවක්‌ අතරින් එක්‌ කතුවැකියක්‌ සිරා මෙසේ අවසාන කරන්නේ සමස්‌ත පොදු පීඩිත ජනතාවගේ කෝපය ආණ්‌ඩුව මත මුදාහරින අවියක්‌ ලෙස සිය පෑන භාවිත කරමිනි.

"ආණ්‌ඩුව හිතන්නේ අපට බලය තියෙනවා, ඒ නිසා අපට ඕනෑ දෙයක්‌ කරනවා යන බලයෙන් උමතු වුණු උද්ධච්ඡ හැඟීමෙනි. පුළුවන්නම් කාපියව් බැරිනම් මැරියව් යන තාලයෙන් දුප්පතාගේ ආහාරයට මිල නන්වන්නේ ඒ නිසාය. හොඳයි!•අපිත් බලමු දුප්පත් මිනිස්‌සු නිකම්ම මැරේද කියා?"

අවශ්‍ය නම් මෙවැනි උදාහරණ දහසකුත් එකක්‌ ලබාදීමට හැකිය. නමුත් සිරා පීඩනය හමුවේ ලියූ එක්‌ කතුවැකියක කොටසක්‌ හොඳින් පිරික්‌සා බැලීමේදී ඔහුගේ සමස්‌ත දේශපාලන ක්‍රියාදාමය තේරුම් ගැනීමට හැකි බව අපේ හැඟීමයි. එය සිරා තුළ ජීවත් වන දේශපාලන සත්ත්වයාගේ ස්‌වාභාවය හොඳින් නිරූපණය කරන කැඩපතක්‌ වැන්න. මේ ඒ කතුවැකියේ කොටසයි.

"මැරෙන දිනෙක අපි එක තැන මැරෙන්නට අපේ ජනතාවගේ ඇති සූදානම අපේ ලෙය හා කැවුණු ජීව බලයයි. එහෙත් කළ යුත්තේ මැරී මැරී නොව එක්‌ව සටන් කොට එකට ජීවත් වීමයි. අපි ඉදිරිය බලමු!"

- උස්‌ මිටි න්‍යායෙන් තොරව කළ විවේචනය -

වැරැද්දක්‌ දුටු තැන එය විවේචනය කිරීමට කිසිදු අවස්‌ථාවක සිරා උස්‌-මිටි බව බාධාවක්‌ කර ගත්තේ නැත. එක්‌සත් ජාතික පක්‍ෂය හයෙන් පහක ආණ්‌ඩු බලයක්‌ සහිතව සිටියදී එහි මුදල් ඇමැති ධුරය දැරුවේ රොනී ද මැල් විසිනි. ඔහු විසින් කරන ලදැයි කියන අයථා මුදල් පරිහරණයක්‌ පිළිබඳ සිරා දිගින් දිගටම ඇත්ත පුවත්පත තුළින් ප්‍රශ්න කරන්නට විය. ප්‍රශ්නය දුර දිග ගියේය. පාර්ලිමේන්තුවේ පවා ඒ පිළිබඳ කතා බහක්‌ පැන නැඟුනි. අවසානයේ රහස්‌ පොලිසියේ නිලධාරීහු පැමිණ සිරා හතර වැනි තට්‌ටුවට ද කැඳවාගෙන ගියහ. නමුත් ඔහු ඉදිරියට තැබූ අඩිය පස්‌සට ගැනීමට නොගත්තේය. මෙය සිරාගේ අදීනත්වයටත්, පුවත් පත් කලාවේදියකු ලෙස පෙන්නුම් කළ මනා පෞර්ෂ්‍යත්වයට එක්‌ නිදසුනකි. සිරා පුවත්පත් ලෝකය තුළ පරාමාදර්ශී චරිතයක්‌ බවට පත්වන්නේ මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් ආකාරය නිසාය.

- සිරා රත්නසිරි වුණ හැටි -

වාමාංශික දේශපාලනයේ නිරත වන්නටත්, පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නඟන්නටත් පවතින ආණ්‌ඩු විසින් ලබා දෙන අනිවාර්යතම 'තෑග්ගක්‌' තිබේ. එනම් මර්දනයයි. සිරාටද මර්දනයෙන් ගැලවීමක්‌ නොවීය. අදාළ බලධාරියා විසින් කතුවැකි සහ ලිපි කපන කාලේදී සිරා ලියූ කතුවැකිත්, ලිපිත් ඉවක්‌ බවක්‌ නැතුව කපා දමන්නට පටන් ගති. එවකට සමාජයේ පැවතුන සැබෑ තත්ත්වයත්, ඊට එරෙහිව තමාගේ විවේචනත් එල්ල කරමින් ලියූ එම කතුවැකි සහ ලිපි පැවති ආණ්‌ඩුවට හිතකර නොවීය. අවසානයේ සිරාට තමාගේ නමින් ලිපියක් ලිවීමට නොහැකි වන තත්ත්වයක්‌ උදාවිය. ඒ ඔහුගේ නමින් හිස්‌ කොළයක්‌ හෝ ඉදිරිපත් කෙරුණත් අදාළ බලධාරියා විසින් එයද කපා දමන මට්‌ටමට පත්වූ බැවිනි. එබැවින් නියම නම වෙනුවට 'රත්නසිරි' යන ආරූඪ නාමයෙන් ලියන්නට සිරාට සිදුවිය. රත්නසිරි යන නමේ සිරා කොටස සිරාගේ නමිනි. රත්න කොටස එච්.ජී.එස්‌. රත්නසිරි නමිනි.

- ඇත්තට සිරා නැතිවෙයි -

පුරා වසර 22 ක්‌ සිරා ඇත්ත පුවත්පත වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි. ඒ වන විට සිරා සහ ඇත්ත අතර කිසි දිනෙක වෙන් කළ නොහැකි අන්දමේ දැඩි සම්බන්ධතාවක්‌ ද ඇති වූ බව රහසක්‌ නොවේ. නමුත් තීරණාත්මක එක්‌ මොහොතක සිරාට ඇත්ත පුවත්පතට සමුදීමට සිදුවෙයි. ඊට හේතුව කුමක්‌ද?

ඇත්තට තිබූ ශක්‌තිය පිළිබඳ කොමියුනිස්‌ට්‌ පක්‍ෂ නායකයන්ට පසුකාලීනව නිවැරැදිව වටහා ගැනීමට නොහැකි විය. ඇත්ත නිසා පක්‍ෂෙට වැටෙන නඩු ඔවුන්ට හිසරදයක්‌ බවට පත්වෙමින් තිබිණි. නමුත් සැබෑ තත්ත්වය එය නොවීය. කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ඒ වන විට සැබෑ වමේ දේශපාලනයෙන් බැහැරව පවතින ආණ්‌ඩුවලට මුක්‌කු ගසන තත්ත්වයට පත්වෙමින් තිබිණි. ඔවුන් සිරාගෙන්ද එයම බලාපොරොත්තු වන්නට ඇත. නමුත් සිරා පක්‍ෂයේ සුවච කීකරු ගෝලයකු වන්නට කැමැති වූයේ නැත. ඔහු දිගින් දිගටම පොදු ජනතාවගේ පැත්ත ගනිමින් තමා අදහන දේශපාලන දර්ශනයට එකඟව පෑන මෙහෙය වන්නට විය. කොමියුනිස්‌ට්‌ පක්‍ෂ නායකයන්ට සැබෑම හිසරදයක්‌ වූයේ එම තත්ත්වයයි. එබැවින් එම හිසරදයෙන් ගැලවීමට ඔවුහු එවකට පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයකු හා වෘත්තීය සමිති නායකයකු වූ සහෝදරයෙක්‌ ඇත්තේ උපදේශකවරයෙක්‌ ලෙස කටයුතු කිරීමට යෙදවූහ.

ඔහු පුවත්පත් සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක්‌ ඉටුකළ නමුත් ඔහු ගනු ලබන සමහරක්‌ තීරණ ප්‍රධාන කර්තෘ වූ සිරාගේ දැනුමට හා ප්‍රතිපත්තිවලට අභියෝග එල්ල කරන්නක්‌ වෙයි. එබැවින් ඔවුන් දෙදෙනා අතර මතවාදී සීතල යුද්ධයක්‌ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. දිනක්‌ ඇත්ත ප්‍රධාන සිරස්‌තලයේ ඇමැතිවරයා වෙනුවට 'ඇමැත්තා' යනුවෙන් සඳහනක්‌ කර තිබිණි. එය දුටු උපදේශක සහෝදරයා සිරාගේ මේසය ඉදිරියේ වාඩිවී,

"සිරා!•ඇයි අර ඇමැත්තා කියලා දැම්මේ?" කියා ඇසුවේය.

ඒ ප්‍රශ්නයට සිරාට යකා නැග්ගේය.

"ඇයි, ඇයි? ඒකෙ ඇති වැරැද්ද මොකක්‌ද?"

"නෑ, සිරා!•ඇමැත්තා කිවුවම නිකන් අපහාසයක්‌ කරනවා වගේ. ඇමැතිවරයා කියලා යොදන්න තිබුණේ."

"මේ සහෝදරයා• මං කියන තැනකට වඳින්නම්, ආයුබෝවන්! කරුණා කරලා දන්නෙ නැති දේවල්වලට ඇඟිලි ගහන්න එපා."

"දන්නැති දෙයක්‌ ගැන නොවෙයි කිවුවෙ. දන්න දෙයක්‌. මෙහෙම අපහාස කළාම උන් අපට නඩු දමාවි. පක්‍ෂයට හැමදාම නඩු කිය කියා ඉන්න බෑ."

"මේ... මේ... පිංසිද්ධ වෙයි, දන්න දෙයක්‌ ගැන කතා කරනවා. ඔහේ පරිපාලනය ගැනයි වෘත්තිය සමිති ගැනයි දන්නවා වෙන්න පුළුවන්. මම ඒවා දන්නෙ නැහැ. ඒත් භාෂාව ගැන මට උගන්වන්න හදන්න එපා. දන්නැත්නම් මම එහෙම ලියන්නෙත් නැහැ. ආණ්‌ඩුවේ නඩුවලට බය නම් තමුසෙලට ඕන හැටියට ලියා ගන්නවා. මේං ආයුබෝවන් මං ගියා." එසේ කියමින් සිරා සිය බෑගය ගෙන යන්නට ගියේය.

වසර 22 ක්‌ පුරාවට ඇත්ත මඟින් පීඩිත ජනතාවගේ විමුක්‌තිය උදෙසා සිරා සිදු කළ දේශපාලන හා වෘත්තීය මෙහෙවර එසේ නිමා විය. එසේ වුවද තමා ඇදහූ දේශපාලන දර්ශනය වෙනුවෙන් හා පොදු මහත් ජනතාවගේ යහපත වෙනුවෙන් සමාජය පැවතිය යුතු ආකාරය විස්‌තර කිරීමට සිරා ගත් උත්සාහය නිමාව දුටුවේ නැත. සිරා නැතත් ඒ උත්සාහය අදට ද වලංගු ය.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 31 - විජය නම් කෙටි දිවි සැරිය!

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...