සොඳුරු මරණය 30 - සිතුවිලි - Lanka News Web (LNW)

සොඳුරු මරණය 30 - සිතුවිලි

බෝතලේකට තෙල් සහ වතුර දාලා හොඳින් හොලවන්න. දෙකම එකට කළවම් වුනාම අපහසු අවුල් දියරයක් තමයි දකින්න ලැබෙන්නේ. මේ එකතුව මෙහෙම තියාගන්න ඕනෙමනං එහෙම හොලව හොලවා ඉන්න පුළුවන්. හැබැයි පැත්තකින් තිබ්බොත් ටිකක් වෙලා ගියාම පෙනේවි වතුරෙන් තෙල් අයින් වෙලා දෙකම වෙන වෙනම පැහැදිලිව ඉන්නා බව!

අපේ මනසුත් මෙන්න මේ වගේ තමයි. මම නෙවෙයි මේක කියන්නේ. මනස ගැන කතා කරපු හා කරන, සැබෑ ජීවිතය යන්නෙන් අදහස් වන්නේ මොකක්ද කියලා සොයන්න උත්සාහ කළ බොහෝ දෙනෙක් කියන හා කියපු කතාවක් මේක!

අජාන් චා එයාව මුණගැහෙන්න එන අමුත්තන්ගෙන් අහනවලු, 'ඔබ නිශ්චල ජලය දැක තිබේද?' කියල. එන අය ලෙහෙසියෙන්ම උත්තර දෙනවලු, 'ඔව්' කියලා. දෙවෙනි ප්‍රශ්නය, ' ඔබ ගලන ජලය දැක තිබේද?' එකටත් ලේසියෙන්ම 'ඔව්' උත්තරය ලැබෙනවලු. තුන්වන ප්‍රශ්නයෙන් අමුත්තන් අන්දුන් කුන්දුන් වෙලා බලා ඉන්නවලු. ඒක තමයි, 'ඔබ ගලන, නිශ්චල ජලය දැක තිබේද? අපිත් අන්ද මන්ද... මේක ගලප්පන්නේ වලාකුළු පාව යන නිල් අහසකට. නිල් අහසේ වලාකුළු පාවෙලා යනවා. හරියට අපේ සිත් වගෙයි. සාමාන්‍ය සිතක් මේ වෙනස දන්නේ නැහැ. මොකද, සාමාන්‍යයෙන් අපේ සිත් අර තෙල් සහ වතුර මිශ්‍ර වෙමින් පවතින දියරය වගෙයිනේ. කොච්චරක්නම් දේවල් ද? සිතීම්, හැඟීම්, සිහිවීම්, මතකයන්, තරහ, බිය, හීන, බලාපොරොත්තු, බිඳවැටීම්, මේ වාගේ කෙළවරක් නැති දේ... මඩ කැලතුන වතුරක්! මේ එකක්වත් බොහෝ විට වැඩි වෙලාවක් තියෙන්නෙත් නැහැ. වැඩිවෙලා තිබුණ ඒවා වුනත් පිටිපස්සටම ගිහින් අමතක වෙලා යන්න පවා ඉඩ තියෙනවා.. එකක් පිටිපස්සේ තව එකක්! හැබැයි, වලාකුළු පාවෙන නිල් අහස කියන්නේ මේ කෙළවරක් නැතිව ගලායන සිතිවිලි දෙස බලා සිටින්නට හැකි මනස! නිල් අහස... නිශ්චල මනස... මින් අදහස් වන්නේ මේ ගලනා සිතිවිලි දාමයට පිටිපස්සෙන් නිශ්චලව බලා සිටිනා මනසක් ඇති බව නෙවෙයි. සිතිවිලි ඇතිවෙමින් නැතිවෙමින් යන බව දැනුවත් විය හැකි මනස ගැනයි. සිතිවිලි ඇවිත් ගියාවේ. අපි අපේ මනස ඒ කිසිවකින් ව්‍යාකූල කරගන්නේ නැහැ. 'මා' යන්නෙන් යමක් වේද, මේ සිතිවිලි එය නියෝජනය නොකරයි! එක අතකින් 'මා' යනුම මේ සිතිවිලි පරම්පරාවේද එකතුවක් නොවේද?

පියවි මනසකින්, සතියෙන් සිටීම කියන්නේ වලාකුළු පාවී යන බව දැනුවත්ව සිටිනා අහසකට .. තෙල් සහ වතුර එක්කොට තිබියදීත් ඒවා වෙන් වෙන්ව තැබිය හැකි හිඳීමකට...

අපිට වැදගත් වන්නේ මේ සිටීම අපේ ජීවිතවලට කෙතෙක් වැදගත්ද යන්න පහදා ගැනීමයි, සොයා ගැනීමයි.

ස්වභාවිකව සිදුවන හා/හෝ මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසනයන්ට මුහුණ දෙන්නට අපට නොකඩවා සිදුවන බව අපි දන්නා කාරණයක්! මේ සියල්ල මධ්‍යයේ කෙළවරක් නැති හැඟීම්, දැනීම්, වේදනා, වෛරයන්, ක්‍රෝධයන්, කඩාවැටීම් අප තුල ඇති වේවි. හැබැයි, ඒ විතරක් නෙවෙයි ඊට ප්‍රතිපක්ෂව ප්‍රීතිය, සතුට, පුදුමය, ආදරය, උපේක්ෂාව, දරා ගැනීමේ හැකියාව යන මේ කී නොකී සියල්ලත් අපේ සිතුවිලි ලෙසම ඇතිවේවි. මේ සියල්ල සිතිවිලි බව දැනගැනීම පමණක්මත් අපේ ජීවිතය මේ මොහොතේ උපරිමව ජීවත් වීමට අපට උපකාර විය හැකියි. ඒ කොහොමවුනත්, ඒ දැනුවත්බව සමග ඒ සිතිවිලි දෙස බලා සිටීමට හැකි වුවහොත්?

පියවි සිහියෙන් යුත් නැතිනම්, සතියෙන් යුත් මනසක් කියන්නේ මේ කිසිත් සිතිවිල්ලක් නැති හිස්මවූ මනසක් නොවුනත් මේ සියල්ල අප තුල නැගෙනා සිතිවිලි පමණක් බව තේරුම්ගත්, ඒ ඇතිවූ සිතිවිලි අප තුල ලැගුම් නොගෙන අප හරහා යා හැකි බව වටහාගත්, ඒ සිතිවිලි මත එල්බ නොයින්නට ශක්තිය ලබාගත් මනසක්. අන්න ඒ කොටස තමයි අපිට වැදගත්වන කොටස! එසේ සිටිනා, අඩුම වශයෙන් එසේ සිටීමට වෑයම් කරනා මනසකට හැකි වේවි මේ මොහොතේ ජීවිතය සම්පූර්ණව ජීවත්වීමට!

ඊළඟ කාරණාව තමයි, ඉතිං මෙහෙම දැනුවත්ව ඉන්නේ කොහොමද කියන එක. සතියෙන් ඉන්නා ක්‍රමය ගැන ප්‍රශ්ණය. මේ සඳහා බොහෝ ක්‍රම තියෙන්න පුළුවන්. ඒත් අපිට මේ සඳහා ලැබෙන පහසුම යෝජනාව තමයි ආණා පානා සතිය. සරලව කිව්වොත් ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටීම. නැහැ, බලා සිටීම කිව්වාම ඒක හරියට එළියේ ඉඳන් බලං ඉන්නවා වගෙයි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ගැන දැනුවත්ව සිටීම කිව්වාම වඩා හොඳ වේවි. කවුරු හරි කියාවි අපි දැනුවත් නේන්නම්, හුස්ම නොගෙන කොහොමද ජීවත් වන්නේ කියලා. ඒත් ඒක ඇත්තමද? අපි හුස්ම ගන්නා බව සිහියට එන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුනොත් පමණක් ම නොවේද? අනික හුස්ම දිහා බලා සිටීම පමණක්මත් අපිට කෙතෙක් අපහසු කාරණයක්ද කියන එක තේරුම් ගන්නනම් ඒකත් කරලාම බලන්න වෙනවා.

(මේක කියවන අතරතුර කාට හරි හිතුනොත් මේක ආගමිකයි කියලා ඒ ගැන දොස් කියන්නත් බැහැ. මොකද මේ 'සතිය' ගැන සාකච්ඡාව එන්නේ වැඩි හරියක් ආගම් සම්බන්ධව නිසා. ඒත් පූර්ණව ජීවත්වීම, ඒ සඳහා ජීවිතය කුමක්දැයි තේරුම් ගැනීම, සතියෙන් ජීවත්වීම වැනි දේ ආගමික වෙන්නේ කොහොමද? ඒ කොටස හරියට තේරුම් ගත්තොත් අපිට තව දෙයක් තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. එක් ආගමක පමණක් නොව සියළුම ආගම්වල සතියෙන් ජීවත් වූ හා ඒ හරහා ජීවිතය වඩා හොඳින් ජීවත් වූ අය සිටි බවත්, සිටිය හැකි බවත්, සතියෙන් ජීවත් නොවනා අය ඕනෑම ආගමකටම සම්බන්ධව සිටිය හැකි බවත් හා සතියෙන් සිටින්නන් හා නොසිටින්නන් ආගමක් නැතිව ද සිටිය හැකි බවත්!)

ඉතිං, මේ හුස්ම දිහා බලා සිටීම නැත්නම් අවධියෙන් සිටීම සඳහා වඩා හොඳ විය හැක්කේ නිසංසල තැනක්. අඩුම වශයෙන් පටන් ගැන්මේදී. මොකද මේ වැඩේ නුපුරුදු අපි ඕනෑම දෙයකින් කරදර වන බවට කෙඳිරි ගෑමට ඉඩ ඇති නිසා. පහසු ඉරියව්වකිනුත් කොහොමත් අපි තුල හුස්ම බාධාවක් නැතිව එහා මෙහා යාමක් සිදු වෙනවානේ. ඔක්කොම දේවල් හරි ගියාම අපිට පුළුවන් කිසිත් උත්සාහයකින් තොරව, ආයාසයකින් තොරව සිදුවන හුස්ම ගැනීම හා පිටවීම ගැන දැනුවත්ව ඉන්නට. වැඩි වෙලාවක් ඒක කරන්න ලැබෙන්නේ නැහැ , අනිවාර්‍යයි. මොකක් හරි සිතිවිල්ලක් එනවා. රෙදි ටික තෙමෙයි ද? තව එකෙක් පැනලා නේද? පාර්ලිමේන්තුවේ මොකක් වෙයිද? අල්ලපු ගෙදර මනුස්සයා අද මා දිහා බලපු විදිහ හරි නෑ වගෙයි. හෙට වැඩට ඇඳගෙන යන්න එකක් තියෙනවාද? දවල්ට බත් එකක් ඕඩර් කරන්න බැරි වුනානේ. ගිය සුමානේ සාකච්ඡාවට ආ අය මගේ කතාව කොහොම ගත්තා ද දන්නේ නෑ. කෙළවරක් නැහැ. අන්න එතකොට අපිටම දැනේවි මේවා සියල්ල සිතිවිලිම පමණක් බව. ඒ සිතිවිලි ප්‍රවාහයට අපිව ගහගෙන යාමට නොදී අපිට ඒවා අවශ්‍යනම් අත් හැරිය හැකි බව. මේ සිතිවිලි කිසිත් නැතිව වුවද පැවැත්මක් ඇති බව. මේවා ඇතිවී නැතිවී යන සිතිවිලි බව දැනුවත් වූවිට ජීවිතය අවුල්කර නොගෙන පූර්ණව ජීවත්විය හැකි බව.

- කුමාරි කුමාරගමගේ

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...