විත අස පත 34 - යළිත් කවුළු ඇස පාමුල සිට!

විත අස පත 34 - යළිත් කවුළු ඇස පාමුල සිට!

30 November 2018 07:42 am

මම 'කවුළු ඇස පාමුල' සිට අතීතය දෙස එබී බලමි. ළහිරු කිතලගම නම් වූ කවියා කවුළුවෙන් එපිට මා අබියස ය. කිසි ලෙසකින්වත් මග හැර යා නොහැකි බැල්මකි. එකී බැල්ම ම 'යමක්' ලියන්නට ඇල්මකි. ඉදින් ලියැවිල්ලේ ප්‍රවේශය සඳහා ඔහුගේ උරහිසට ඉහළින් පෙනෙන අතීතය ම කරණ කොට ගනිමි.

දැන් මා මේ කියන්නට සැරසෙන පූර්ණ සත්‍යය ඔබ කොන්දේසි විරහිතව පිළිගත යුතුය. ඇතැම් විට එය ඔබේ මුවගට සිනහවක් නංවන්නට හැකිය. එසේ වුව තර්ක අනවැසිය. තුන් හෝ හතර වන වියැති ළදරුවෙකු ලෙස ඔහුව මා මුල් වරට දුටුවේ 'මොන්ටිසෝරියක්' තුළ දී ය! මගේ මවට අයත් බිම් කඩක ඔහුගේ මව පැවැත් වූ ඒ කුඩා මොන්ටිසෝරියේ හතර කොණ, උදේ - හවස ආක්‍රමණය කළ කොලු ගැටයා සතුව සැගව පැවති කවිත්වය වටහා නොගැනීම එවකට මා දැනුවත්ව සිදු කළ වරදක් නොවේ. ඉන් වසර ගණනාවකට පසුව නැවත මට ඔහු මුණ ගැසෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තුළ දී ය. මොන්ටිසෝරියත් විශ්වවිද්‍යාලයත් අතර කාල අවකාශය තුළ ඔහු කුමක් කළේදැයි මම නොදැන සිටියෙමි. මා නොදැන සිටියාට ඔහු බොහෝ දේ කර ඇති වග පසක් වූයේ 'පිනි දිය වැස්ස' නම් වූ ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය මා'තට පත්වීමෙන් අනතුරුව ය. ඉනුදු හරියටම හය වසරකට පසුව ඔහුගේ දෙවන කවි ප්‍රයත්නය හෙවත් 'කවුළු ඇස පාමුල' අස මම තනිවී සිටිමි. ඔබට කිසි ලෙසකින්වත් අදාළ විය නොහැකි අතීත මතකයකින් කතාව ආරම්භ කිරීම පිළිබඳ උරණ නොවන්න. ජීවිතය එහෙම ය. කවිය වුව මෙහෙම ය.

මම පොතේ පිටු පෙරළමි.

සංස්කෘතික කඩමලුවලින් වැසී ගිය අසංස්කෘතික දිවයිනේ තවමත් ඉතිරිව ඇති, කුහක නැති දුවක ගැන කතාවක් ආරම්භයේ දී ම ළහිරු අප ඉදිරියේ තබයි. එය ඇතැමෙකුට රිදෙන සුළු, එනයින්ම බිඳෙන සුළු එසේ වුව අතිශයින්ම විවෘත, ලිංගික කුහකත්වයෙන් තොර කියැවීමකි. ඇය මෙසේ කියයි.

"මල්ලිගෙයි මගෙයි උණුහුම
කොතෙක් තිබුණත් නුඹේ ළඟ
මහා ලොකු අඩුවක් තියෙනවා නේද අම්මේ?

රෑ ජාමෙට හීනෙන් වගේ මට
පැලළි දොර ඇරෙන හඬ ඇහුණත්
මම තදින් ඇස් පියා ගත්තා
දැනෙන්නැති ගානට ම කිසිවක්

අම්ම ඇවිදින් ගවුම හදලා මගේ පැදුරෙ ම ඇලවුණා
මාව තුරුලට ගත්තු දෑතේ කඳුළු සීතල තේරුණා
අම්මගේ උණු වෙච්ච සුසුමන් මගේ මුණේ ගෑවුණා
කඳුළු වැටුණත් අම්ම සතුටින් ඉන්න බව මට තේරුණා"

ගැහැණු සිතක් පිරිමි අතකින් අකුරු කිරීම පහසු කාර්යයක් නොවේ. එකී අපහසු කටයුත්ත ඉටු කරන අතරතුරම ළහිරු ඉතා පහසුවෙන් බොහෝ දෙනෙකුගේ මතුපිට (අ)සංස්කෘතික ජීවිතය ප්‍රශ්න කරයි. අතිශයින් සීරුවෙනි. වෙදදුරෙකු සැත්කමක් සඳහා සිය පිහි තුඩ භාවිතා කරන්නාක් මෙන් සියුම්ව ය.

මම තව දුරටත් පොතේ පිටු පෙරළමි.

'රාත්‍රිය නිවෙන්නට කලියෙන්' මකුළු දැලක වුව සවුඬ්ර්ය දකින්නට කවියෙකුට නොහැකිද? නොහැකි යැයි ඔබ සිතන්නේ නම් පහත පද පේළි කීපය දෙස ඔබේ අවධානය යොමු කරන්නැයි මම ඔබට යෝජනා කරමි. මේ පද හරඹය මොන තරම් නම් අපූරු ද?

"තනිකඩ මකුළු කුමරෙකු
හමාර ව දින ගෙවා වියූ දැල
පිහමින් රිදී දා බිඳු ඉහ කොනින් වෑහෙන
ළඟක ඇති පෙම්බරිය සනසන්න
මකුළු දැල් තත් සුමට කර
ගිටාරය වයන'යුරු දැකගන්න"

තව දුරටත් පොතේ පිටු පෙරළන වග දැන් ඔබට වරින් වර පවසන්නට අවැසි නැත. දැන් ඉතින් මෙය නොකියවා සිටින්නේ කෙලෙසද? එක හුස්මටම පොතේ ඉතිරි පිටු එකින් එක පෙරළමි. මුද්‍රිත අකුරු අතරින් ජීවිතය, මා ඉදිරිපිට නිවි නිවී දැල්වෙයි. විටෙක ආලෝකය ය. තව විටෙක අන්ධකාරය ය. හොඳට නරකට දෙකට කවිය ය. ළහිරු මෙසේ ලියයි.

"විරාගයෙ හැම පිටක්, අකුරක් ම අත නෑර
කියා දුන් හඬ ඇසෙයි සොඳුරු ලෙස ගෙන මීර
සිලිසිලිය ගලා යන ඇළක් අස ලොකු මාර
ගහක් යට ඔවා දුන්නා කියා කවි පාර

ළා පාට කෙසෙල් දලු මත වැතිර නිදි ගන්න
කනාමැදිරියෝ නුඹ පියඹලා මෙහි එන්න
මගේ මේ පණිවිඩය හනික දෝතට ගන්න
සොයාගෙන ගොස් දෙන්න ළඟයි දැන් එළි වෙන්න"

මා දන්නා සහ මට දැනෙනා ආකාරයට ඔහු මේ ප්‍රතිනිර්මාණය කරන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ම ජීවිතයයි. එසේ නැතිනම් විරාගයේ හැම පිටක් සහ අකුරක් ම අත නෑර කියවූ ඔහු අතින් මෙවැන්නක් ලියැවෙන්නට ඉඩක් නැත.

"සල්ලි බාගය එපැයි අද දවස මෙහි ඉන්න
ඉණි වැට ම මං තමයි ගෙදර පැල රැකගන්න
උපාධිය අහවරයි ඒත් ජීවත් වෙන්න
දැන් 'මෙගා' ලියනවා එපා තරහා වෙන්න"

කවුළු ඇස පාමුල රළ නගන ජීවිතය එබඳු ය. අකුරින් අකුර ලිහා ගලවා පිරික්සා බැලිය යුතු තැන් එමට ය. ඇතැම් තැන් ඒ තරම් සුමට ය. බොහෝ විට බර වමට ය.

"කවර එකෙක් ළඟ වුව ඒ හඬ නැගුනයි
මකර පාලනේ හට ඒකෙන් රිදුණයි
විවර කළේ මරු තුරුලට යන පාරයි
බිනර සදෙත් රත් ලේ පැල්ලම් තිබුණයි"

මෙලෙසින්ම උපුටා දැක්විය යුතු - බෙදා හදා ගත යුතු තැන් බොහෝ ඇතත් මේ කෙටි සටහන අවසන් කර දැමිය යුතු සීමාව එළැඹ තිබේ. නමුත් අවසාන කොම්බුවෙන්,ඇලපිල්ලෙන් පමණක් නොව නැවතීමේ තිතෙන් ද උපරිම ප්‍රයෝජනය ගත යුතුය. ඒ හෙයින්ම මම හෙමින් සීරුවේ අඩියක් පසු පසට ගෙන හමාර කීම සඳහා ළහිරු කිතලගමට ම ඉඩ හසර ලබා දී නතර වෙමි. එසේ වුව පොත වසා නොදමමි.

"කළු ගලක් ගැන
ඔයා දන්නේ මොනවද?
ඕනවටත් වැඩිය
කඳුළු වැටිලා
හොඳට රිදිලා
වේදනාවෙන් ගල් වෙලා තියන බව දන්නවද?
පාවෙලා ගිය
සුසුම් දහසක
රස්නෙ හොඳ හැටි
කැටිවෙලා තියන බව දන්නවද?
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි හිතල තියනවද?"

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 33 - සිහිනවලට සිනා නොවන්න!