චින්න චින්න ආසෛ சின்ன சின்ன ஆசை - 01. අගක් මුලක් නෑ හැබැයි මැදක් තියෙනව

චින්න චින්න ආසෛ சின்ன சின்ன ஆசை - 01. අගක් මුලක් නෑ හැබැයි මැදක් තියෙනව

13 February 2019 06:34 am

චින්න චින්න ආසෛ කියල, මං මෙතන සිංහල අකුරුවලින් ලිව්වට ඒ තමිල් වචන තුනක්. ගෝපාලරත්නම් සුබ්‍රමනියම් හෙවත් මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු, රෝජා චිත්‍රපටයෙ එන අතිශය ජනප්‍රිය ගීතයක් ඇරැඹෙන්නෙ ඒ වචන තුනෙන්. එහි සිංහල තේරුම, පුංචි පුංචි ආශාවන්`කියන එකයි. `ආසෛ කියන තමිල් වචනයයි ආසයි කියන ව්‍යවහාර සිංහල වචනයයි අතර වාග් විද්‍යාත්මක නෑ කම හොයාගන්න දවස කවද්ද කියල මම තාම දන්නෙ නෑ. ඒ දවස තීරණය වෙන්නෙ අපි කාගෙ කාගෙත් ඕනෑකම අනුව කියල විතරයි මට තේරෙන්නෙ.

 

චින්න චින්න ආසෛ කියන වචන තුනේ ඉංග්‍රීසි පරිවර්තනය හැටියට මුණගැහෙන්නෙ Teeny weeny dreams (ටීනි වීනි ඩ්‍රීම්ස්) යන්න. ඩ්‍රීම්ස් කියන්නෙ සිහිනවලට. ඉස්සර, දසුන චිත්‍රකතා පත්තරේ පෙන බුබුළු කියල චිත්‍රකතාවක් ගියා. කතාව, ලක්ෂ්මන් මල්ලවාරච්චි. චිත්‍ර, ජානක ඉලුක්කුඹුර. ඒ කතාවෙ එකතැනක තියෙනවා, ජීවිතේ ප්‍රර්ථනා - සිහින, පුංචි කාලෙ සෙල්ලමට පුම්බන සබන් බෝල වගේ බලාගෙන ඉද්දි පුපුරලා යනව කියල. සමහර සිහින එහෙම අහිමි වුනත්, සමහර සිහින හැබෑ වෙනවා. අහිමි වෙන සිහින වෙනුවට අලුත් සිහින හොයාගන්න අපි හරි හපන්නු.

කොහොම නමුත්, දැනුං තේරුං තියෙන දා ඉඳන් අපි ලුහුබඳින ආශාවන් - සිහින නේද අපිව ජීවත් කළේ සහ කරන්නෙ කියල, ජීවිතේ දිහා ආපහු හැරිලා බැලුවම හිතෙනවා. අපේ මුළු සමාජ සංස්කෘතික දේශපාලන ජීවිතේම සිහින පොකුරක් නිසා ද මන්දා, මේ, සිහින - හීන, මේ ලියුම්කරුගෙ නිර්මාණ ජීවිතේ කීප තැනක මතුවෙලා ආවා. අවුරුදු පහළොවකට විතර කලින්, කෙටි චිත්‍රපටයක් හැදුව හීනයට දුර නෑ කියල. රූපගත කරගන්න බැරිවුණ කෙටි චිත්‍රපට පිටපතක් තියෙනව සිහිනය අවසන් කියල.

ඊටත් අවුරුදු ගාණකට පස්සෙ සත්හඬ පත්තරේ කලා සංස්කෘතික අතිරේකය නම් කළේ සිහිනය කියල. අපෙන් සමුගත් ආදරණීය නිර්මාණවේදීන්ගේ විස්කම් සමරන ස්වාධීන රූපවාහිනී වැඩසටහන නම් කළේ නොමියෙන සිහිනය නමින්. මේ අතරවාරෙ ලියවෙච්ච ගද්‍ය පද්‍ය ඇතුළු හුඟාක් අනං මනං ඇතුළෙ විටින් විට සිහින මතුවුණා. ඇත්තට ම, අපේ ජීවිතේ ආසාවෙන් කරන වැඩ, පදනම් කරන්නෙත් පිරියම් කරන්නෙත් සිහින වලින් ම තමයි. අත්දෙකෙන් පපුවට තුරුළු කරගත්ත පුංචි පුංචි ආශාවන්. පුංචි පුංචි හීන. චින්න චින්න ආසෛ.

අපේ හිතත්, හිතෙන් දකින හීනත් හරියට සිංහල භාෂාවෙ `ස`යන්නයි `හ`යන්නයි වගේ. හිටපු ගමන් එකට යනවා. හිටපු ගමන් වෙන් වෙනවා. සඳ කියන්නෙ හඳට. හැබැයි සැඩ කියන්නෙ හැඩට නෙමෙයි. හැඩට ඉන්න සැඩ මිනිස්සු නැතිව නෙමෙයි වුනත්, සයන්නයි හයන්නයි දෙපැත්තට යනවා. සළු කියන්නෙ ඇඳුම්වලට. හළු කියන්නෙ අළු වලට. සළු හළු වෙන්නෙ ගින්දරට අහු වුණාම. අහු වෙනවා අසුවෙනව කිව්වම ඔන්න ආයෙත් තේරුම ළඟට එනවා. සිතට හිත කියන්න පුළුවන්, සිරට හිර කියන්න පුළුවන්, සැමට හැම කියන්න පුළුවන් නමුත් සුවඳට හයන්න යෙදුව ම එහෙමට සුවඳක් එන්නෙ නෑ.

සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා කියල ධර්මසිරි ගමගේ ලිව්වෙ, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කරපු ජනක සහ මංජු චිත්‍රපටයට. ඒ ගීතයෙ එක තැනක එනව, කුමර චංචල කාලේ කියල යෙදුමක්. අපි හැමෝගෙම ජීවිතවල කුමාර කාලය චංචලයි. ඒ නිසාම එවකට අපි දකින සිහිනත් චංචලයි. කුමර සමය නිවුණු සමය බවට හෙමි හෙමින් පත්වෙනකොට, නිසල ගඟ දියට වැටුණු සඳ කිණිති වගේ සිහින පැහැදිලි වෙනවා. ඒ හැඟුම ඔබ එක්ක බෙදාගන්න මට හිතයි.

චින්න චින්න ආසෛ කියා ගැයුවෙ මින්මිනි. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියල ගයන්නෙ නන්දා මාලිනි. ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ - සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ - ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ - ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ කියල සුනිල් ආරියරත්න ලිව්වහම සරත් දසනායක අසිරිමත් තනුවකින් ඒ වචන පිරිමදිනවා. ලෝකය එතරම් ම සුන්දර ද කියන සහතිකය මට ඔබට දෙන්න බැරි වුණත්, මම ඔබට කියන්නෙ, ඔබෙ සිහිනය මාත්තෙක්ක බෙදාගන්න එන්න කියල. මගෙ සිහිනය ඔබත් එක්ක බෙදාගන්න දෙන්න කියල.

- විමල් කැටිපෙආරච්චි