සිංහරාජය වනසා පාර කැපේ- ජනපති නිහඬයි නියෝජ්‍ය ඇමති නොදනී

සිංහරාජය වනසා පාර කැපේ- ජනපති නිහඬයි නියෝජ්‍ය ඇමති නොදනී

4 March 2019 06:22 am

 "සිංහරාජය තුළ ඉදිවන්නේ කුඩා පාරකි. ඉදිවූ පාරක් ප්‍රතිසංස්කරණය කිරීම වරදක්ද? ඇයි මේ පුංචි දේකට හඬක් නගන්නේ? සිංහරාජය තුළ වෙනත් ප්‍රශ්න නැද්ද? ඉදිවන පාර පරිසර නීතියට එකඟයි." සමහර පරිසරවේදීන්ද පවසා තිබුණි. පරිසරය ආරක්ෂා කිරීමට ඇති ආයතන ව්‍යුහයන්හි ප්‍රධානීන්ද කියාසිටියේ කිසිදු පරිසර විනාශයක් වී නොමැති බවයි.

පරිසර ඇමති ජනපති වූ රටක ආයතන ප්‍රධානීන්ගේ හෘද සාක්ෂිය යටපත් වූයේද? හිතාමතා බොරු පවසන්නේ කවුරුන්ද? සිංහරාජය සුරැකීම වෙනුවෙන් ගොඩනගන ජන පවුරද? එසේ නොමැති නම් ජනාධිපති ප්‍රමුඛ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශවයද? සිංහරාජයේ කුඩව ඉදිවන පාර 1.5km - 2km කට පමණක් සීමා වූ එකක්ද? සත්‍යවශයෙන්ම මෙහි ඇතුළාන්තය කුමක්ද?

සිංහරාජය තුළ කුඩව මාර්ගය සකස් කිරීම හොර රහසේ පාරිසරික අධ්‍යනයකින්ද තොරව බැකෝ යන්ත්‍ර යොදා පරිසරය විනාශ වන අයුරින් සිදුකරන ලදී. පරිසරයට හිතැති මිනිසුන් මේ පිළිබඳ සමාජ ජාල මාධ්‍ය හරහා මුලින්ම හඬක් නගන්නට විය. පසුව මෙම විනාශය ප්‍රධාන මාධ්‍ය හරහාද ජනගත වීම ප්‍රබල ගැටළුවක් බවට පත්විය. සිංහරාජය ප්‍රමුඛ ස්වභාවික සම්පත් වැනසීමට එරෙහි ජනතා ක්‍රියාධරයන් විසින් පරිසර ඇමතිවරයා වන ජනාධිපතිවරයාත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුනෙස්කෝ සංවිධානය, ලෝක බැංකුව වැනි ආයතන ලිපි මඟින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

සිංහරාජය කුඩව මාර්ගය සිංහගල පසුකොට පින්දෙනිය දක්වා ඉදිකරමින් සිංහරාජය දෙකඩ කරන බවත් මුළුමණින්ම වාණිජ අරමුණු කරා සිංහරාජය විවෘත කිරීමේ ඇති පාරිසරික විපාකත් අපි දැනුම්දුන්නෙමු. එහෙත් ඊට කිසිදු ලිඛිත පිළිතුරක් දී නැත. ප්‍රතිපත්තියක සිටින බව පවසන පරිසර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා සිදුකළේ නියෝජ්‍ය අමාත්‍යවරයාව අදාළ විනාශය සාධාරණීකරණය කිරීමට යොමුකිරීමයි.

දේශපාලන විගඩම්

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹින් මාධ්‍ය කණ්ඩායමක්ද රැගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක්ද සමඟ 2019.01.14 වැනි දින "කුඩව මාර්ගය" නිරීක්ෂණයට එකතු විය. නිරීක්ෂණය අවසානයේ මාධ්‍ය හමුවක් කැඳවා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස කියාසිටියේ එහි කිසිදු පරිසර විනාශයක් සිදුව නොමැති බවයි. එම දිනයේම කිසියම් ආකාරයක සංතෝසම් දීමනා,කෑම බීම සංග්‍රහ නොලත් ස්වේච්ජා මාධ්‍ය කණ්ඩායමක්ද අදාළ මාර්ගය නිරීක්ෂණය කිරීමට සිංහරාජය බලා ගොස් තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියාසිටියේ විදුලි කාර් රථ භාවිතා කිරීමට කටයුතු කරන බවයි. විශේෂයෙන් සිංහරාජය නැරඹීමට එන ආබාධිතයින් සඳහා පහසුකම් සැපයීම අරමුණක් බවද පැවසීය. මෙම මාධ්‍ය හමුවත් සමඟ විවිධ මාධ්‍යයන් සහ විටෙක පරිසරවේදීන්ද නිහඬ පිළිවෙතක සිටින බොහෝ පරිසර සංවිධාන හේතුකොටගෙන කවුරුන් සත්‍ය පවසන්නේදැයි බලා සිටින්නෙකුට ඇතිවන ගැටලුවකි. හිතාමතා බොරු පවසන්නේ සිංහරාජය සුරැකීම උදෙසා ගොඩනැගෙන ජන පවුරද? නිහඬ ජනපති සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසද? යන්න පැන නගින සාධාරණ ප්‍රශ්නයකි.

 ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ බොරු කීමේ කලාව තේරුම් ගත් සිංහරාජය සුරැකීම උදෙසා ජන පවුර මාධ්‍ය හමුවක් කැඳවා Escamp ව්‍යාපෘතිය හරහා අවධානමට ලක්වන පරිසර පද්ධතිය සම්බන්ධයෙන් අනාවරණ කළෙමු. සිංහරාජය පමණක් නොව කන්නෙලිය,නකල්ස්,බූන්දල,යාල,උඩවලව ආදී වන සංරක්ෂණ කලාප සහ වන ජීවී කලාප අවධානමට ලක්වන බව පැහැදිලිව අවධාරණය කළෙමු. මෙය හුදු සිංහරාජය කුඩව මාර්ගය පිළිබඳ ප්‍රශ්නක් නොව සමස්ත පරිසරයෙහි ප්‍රශ්න මතු කරන ව්‍යාපෘතියක් බව පෙන්වාදීමට කටයුතු කළේය. එමෙන්ම එය දේශගුණික විපර්යාස අවම කිරීම යටතේ ලෝක බැංකු ආධාර මුදලක් ලෙස ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 45ක දේශපාලනික හිතවතුන් අතර බෙදා ගැනීමේ කූට සැලසුමක් බව ද පෙන්වාදී තිබේ.

ජනපතිගේ නිරුත්තර වීම

නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිසි බලධාරී කණ්ඩායම බොරුවෙන් සිදුව ඇති පරිසර විනාශය යටපත් කිරීමට උත්සහ දැරුවද පසුගිය ජනවාරි 20 වැනි දින සිංහරාජ මාර්ගය නිරීක්ෂණය කළ ස්වාධීන මාධ්‍ය කණ්ඩායම ඔවුන් දුටු පරිසර විනාශය රටට හෙළිකරන ලදී. මේ කිසිවකට ඇහුම්කන් නොදෙන ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශය හරහා සිදුකරන පරිසර විනාශයන් රටට වසන් කිරීම වෙනුවෙන් උපදේශකවරුන්ට සහ අමාත්‍යවරුන්ට සංතෝසම් ප්‍රධානය සිදුකර ඇත.

තිරය පිටුපස සිට පරිසර විනාශයට සෘජුව හෝ වක්‍රව අතහිත දීම සිදුව ඇතත් හේ වේදිකාව තුළ මහා පරිසරවේදියානෝය. වර්තමාන පරිසර විනාශය තුළ මුල් පුරුක ඔහුය. එහෙත් සියලු අපවාදයන්ගෙන් ගැලවීමට මුනිවත රැකීම උපදේශකයන්ගේ කූට උපාය මාර්ගයක් ලෙස පෙනේ. පරිසර සටන් වල මුහුණුවර වෙනත් දිශාවකට යොමුකොට ජනපති ගලවා ගන්නට ඔවුන් වෑයම් කරමින් හිඳියි.

ඒ අනුව පරිසර නියෝජ්‍ය ඇමතිව සිටි අජිත් මාන්නප්පෙරුම මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔසවා තිබේ. සිංහරාජය උදෙසා ගොඩනැගෙන ජන පවුරද බලමුළු ගැන්වෙමින් රටේ පිළිගත් ආචාර්ය මහාචාර්යවරුන් සමඟ සිංහරාජයේ ඇතිවී ඇති පරිසර විනාශයත් Escamp ව්‍යාපෘතිය හරහාත් සිදුවීමට ඇති පරිසර විනාශය පිළිබඳව මහජන සම්මන්ත්‍රණයක් හරහා ජනතාව සහ මාධ්‍ය දැනුවත් කරන ලදී. මේ කිසිදු ජනතා ක්‍රියාමාර්ගයකට ඇහුම්කන් නොදෙන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ප්‍රශ්නයෙන් මඟහැරීමට නිරන්තරය උත්සාහයක යෙදුණි.

සිංහරාජය උදෙසා ජන පවුර සත්‍ය රටට හෙළිකිරීමේ අරමුණ ඇතිව පසුගිය පෙබරවාරි 20 වැනි දින යුනෙස්කෝ සංවිධානය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ලෝක බැංකුවේ මෙරට කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන වෙත ලිඛිතව දැනුවත් කළ අතර එම ආයතන ඉදිරිපිට නිහඬ විරෝධතාවක නියැලීමද සිදුකරන ලදී.

යුනෙස්කෝ සංවිධානය සිංහරාජය විනාශය පිළිබඳ සාකච්ජා කිරීමට වේලාවක් ලබා දී තිබුණද ලේකම්වරයා එය හිතාමතා මඟහැර තිබුණි. ලෝක බැංකුවේ මෙරට කාර්යාලය වෙත යනවිට එහි විශාල පොලිස් බලඇණියක් යොදවා තිබුණි. ඔවුන් ප්‍රකාශ කළේ එම කාර්යාල පරිශ්‍රයට යෑමට ඉඩදිය නොහැකි බවයි. ඉතා සාමකාමීව පැමිණ ලිපියක් භාරදීමට පවා ඉඩ නොතබන්නෙ ලෝක බැංකුව සහ ලංකා රජය අතර සිදුවන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් නොවේද? පරිසර විනාශයක් සිදුනොවන්නේ නම් සත්‍ය පැවසීමට ඉදිරිපත් නොවන්නේ ඇයි? මෙතරම් බාධා කිරීම් සහ අවහිර කිරීම් කුමකටද?

පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට ස්වේච්ජා ක්‍රියාධරයන්ගේ මැදිහත්වීමෙන් නිහඬ උද්ඝෝෂණයක නිරත වූ අතර පිරිසෙන් කිහිපදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මුණගැසීමට අවස්ථාව ලැබුණි. එහිදී මෙම වන විනාශය සහ සිංහරාජය සුරැකීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිතව දැන්වූයෙමු.

රාජ්‍ය ඇමති සිංහරාජ විනාශය පිළිගනී

සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරීමෙන් සිදුව ඇති විනාශය පිලිබඳව අපි විමසුවෙමු. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් පළමු වතාවට සිංහරාජයේ ගියබවත් එයද මාර්ගය නැරඹීමට සීමා වූ බවයි. දැනට අඩි 12ක පමණ පළලකට මාර්ගය කපා ඇති බවද ඔහු කීවේය. එහිදී අපගේ ප්‍රශ්නය වූයේ අඩි පාරක් ලෙස තිබූ මාර්ගයක් අඩි 12ක පළලකින් සමන්විත වන විට පරිසර විනාශයක් සිදුනොවූයේද යන්නයි. කුඩා ජීවී වාසස්ථානවලට (Micro Habidate )සිදු වී ඇති විනාශයන් සිංහරාජ වනාන්තරයේ ක්ෂුද්‍ර වාසස්ථානවල විවිධත්වයත් වටිනාකමත් පැහැදිලි කළ පසු පරිසර විනාශයක් සිදුව ඇති බව ඔහු පිළිගන්නා ලදී.

ඉදිවන කුඩව මාර්ගය සිංහගල පසුකොට පිටදෙණිය දක්වා ඉදිකිරීමට අදාළ සිතියම පෙන්වූ විට රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් එවැන්නක් ගැන නොදන්නා බවයි.

s 02

 රාජ්‍ය අමාත්‍යවරයාම පැවසූ පරිදි විදුලි කාර් රථ භාවිතා කරමින් සංචාරකයන්ට පහසුකම් සැලැස්වීම ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කළේ තමන්ට ඒ මොහොතේ සිතට නැගුණු දේ ප්‍රකාශ කළ බවයි. විදුලි කාර් රථ භාවිතා කරන්නේ නම් ඒ සඳහා පහසුකම්ද නිර්මාණය කිරීමට සිදුවන බැවින් එවිට සිංහරාජය විනාශය වැළැක්විය නොහැක්කක් බව අපි අවධාරණය කළෙමු. එවිට රාජ්‍ය අමාත්‍යවරයා එය පිළිගත් නමුත් උපක්‍රමශිලීව අපගේ ප්‍රශ්න කිරීම් මඟහැර යන්නට උත්සහ දැරූ බව ප්‍රත්‍යක්ෂ විය.

සිංහරාජය ඇතුළු ස්වභාවික සම්පත් වනසන හැමවිටම සමාජයෙන් නැගෙන විරෝධයන් මර්දනය කිරීමත්, විසුරුවා හැරීමත් දේශපාලනඥයින්ගේ කූට උපාය මාර්ගයයි. එහෙයින් ඊට තවදුරටත් අපි රැවටෙමුද? වැනසෙමුද? එසේ නොමැති නම් එක්ව නැගීසිටිමුද?

ස්වභාවික සම්පත් විනාශයට අද දවසේ අප පෙළ නොගැසෙන්නේ නම් උමා ඔය වැනි බරපතල විනාශයන් හැර අන් කවරක් ශේෂ වනු ඇතිද?

පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි