ලෝකය බේරාගත හැකි අවසන් පරම්පරාව අප ය!

ලෝකය බේරාගත හැකි අවසන් පරම්පරාව අප ය!

8 December 2018 04:18 am

ඩීල්වලට, ගේම්වලට කැමති රටවල් ‘ප්‍රොජෙක්ට්ස්‘වලට කැමති නැත. නමුත් සොබාදම් දිනිතිය ‘එදා වේල ටුවර්ස්‘වලට කැමති නැත!

මහා සම්මුතිය ප්‍රකාරව වසර 2020 වන විට ලෝකයේ රාජ්‍යයන් ඒ අනුව ක්‍රියා කරමින් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට, ගෝලීය උණුසුම පාලනය කිරීමට සහ අවසාන වශයෙන් ‘මිහිතලය බේරාගැනීමට‘ වැඩ පටන් ගන්නට බැඳී සිටියි. එයට අනුව එක් එක් රටවල් මේ අරමුණු මුදුන්පත් කර ගැනීමට දේශීය වශයෙන් ඉලක්ක තබාගත යුතුය. එනම් ‘කරන හැටි‘ කිව යුතුය. කාල රාමුවක් ද කිව යුතුය. එහි අත්සන්කාරයන් 196 කි. පාර්ශවයන් 184 කි. ශ්‍රී ලංකාව ද එයින් එකෙකි. ඇමරිකාව තවකෙකි. චීනයට පමණක් දෙවැනි වන, ලෝකයේ දෙවැනි විශාලතම කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා ඇමරිකාව ය. නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි වහා කළේ පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් කර ගන්නා බව පැවසීම ය. බ්‍රසීලයේ නව නායක බොස්සොනාරෝ, ලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වනය කර්මාන්තකරණය වෙනුවෙන් කපා දැමීමට පිඹුරුපත් සකසමින් සිටියි. බ්‍රසීලය, වසර 2020 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමේ ඉලක්කයට ඊට පෙරම ළඟා වී සිටි රටක් වුවත්, ඉදිරිය සුබ නැත. ලංකාව ද පැරිස් සම්මුතියට අත්සන් කළ බව කියමින් මල්වෙඩි දැමුවත් තවම ඒවා ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවක් නම් නැත. බාගවිට, මේ අරාජික සංක්‍රාන්තිය තුළ පරිසරය ගැන ලංකාවට හිතෙන්නේම නැතිවන්නටත් ඉඩ තිබේ.

ලංකාව හා ඇමරිකාව එහෙම වුණත්, ලෝකයේ සිතන්නට පුළුවන් රටවල් කරන්නේ ඊට වඩා වෙනස් දේවල් ය. 2017 ජූලි මාසයේදී ප්‍රංශය පැවසුවේ පැරිස් සම්මුතියේ කොටසක් ලෙස වසර 2040 වන විට රටේ පෙට්‍රල් හා ඩීසල් වාහන භාවිතය තහනම් කරන බව ය. වසර 2022 න් පසු විදුලි බලය නිපදවා ගැනීමට ගල් අඟුරු දහනය නොකරන බව ද ප්‍රංශය පැවසුවේය. බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කිරීමට යූරෝ බිලියන 44 ක් ආයෝජනය කරන්නට ඔවුහු කැමැත්තෙන් සිටිති. නෝර්වේ රාජ්‍යය පෙට්‍රල් ඩීසල් වාහන තහනම් කරන්නට සැරසෙන්නේ වසර 2025 දී ය. නෙදර්ලන්තය වසර 2030 වන විට ඒ දෙය කරනු ඇත. දැනටමත් නෙදර්ලන්ත අගනුවර දුවන සියලු විදුලි දුම්රිය සියයට සියයක්ම බලය ලබන්නේ සුළං ශක්තියෙනි. වසර 2050 වන විට තම රටේ හරිතාගාර වායු විමෝචනය 95%කින්ම කපා හරින බව ද නෙදර්ලන්තය කියා ඇත.

අසල්වැසි ඉන්දියාව ද පුළු පුළුවන් හැටියට පැරිස් සම්මුතිය වෙත හැරෙනු පෙනේ. ලෝකයේ දෙවන විශාලම දුම්රිය ජාලය ඇති රට වන එය, පසුගියදා ඩීසල් එන්ජිම් විදුලි එන්ජිම් බවට පත් කිරීමේ මහා ව්‍යාපෘතිය ආරම්භ කළේය. දැන් ඉන්දීය දුම්රිය සමහරක තිබෙන්නේ ජීව වැකිසිළි ය. ඔවුන් කෝටි ගණන් මුදල් වියදම් කරන්නේ මෙවැනි දේ සඳහා ය. ඔවුන් ඒවාට කියන්නේ ‘වියදම්‘ කියා නොවේ. ‘ආයෝජන‘ කියා ය.

පෝලන්තයට රැස් වූ ලෝකයේ රටවල් 200කට ආසන්න ගණනක නියෝජිතයන් අමතා ලෝක බැංකුවේ ප්‍රධාන විධායක ක්‍රිස්ටලිනා ජියෝජීවා මසුරන් කතාවක් කීවාය. ඇය කීවේ, ‘‘පැහැදිලිවම අපි දේශගුණික විපර්යාසයන් වෙනස් කළ හැකි අවසන් පරම්පරාව‘‘ වන බව ය. එසේම ඒවායේ අතුරු විපාක විඳින පළමු පරම්පරාව බවට පත්වීමත් නොවැළැක්විය හැකි බව ය.

මේ අතර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සම්බන්ධයෙන් වසර අවසන් වන්නට පෙර බියකරු පුවතක් ලැබේ. ඒ, මානව ඉතිහාසයේ වැඩිම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සිදුවූ වසර 2018 බව ය. පෝලන්තයේ කටෝවිස් නගරයට රැස් වූ විද්‍යාඥයන් අතර ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සම්බන්ධයෙන්ම කටයුතු කරන විශේෂඥ මණ්ඩලයක් සිටියි. ඔවුන් ගේ කාර්යභාරය හැඳින්වෙන්නේ Global Carbon Project යනුවෙනි. (ගෝලීය කාබන් ව්‍යාපෘතිය). ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව අනුව මේ වසරේ ලොව පුරා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2.7%කින්ම ඉහළ ගොස් තිබේ. ලෝකයේ ලොකුම කාබන් විමෝචකයා වන චීනය, මේ වසරේ 4.7%කින් කාබන් විමෝචනය වැඩි කරගෙන සිටියි. ඇමරිකාව 2.5%කින් එම අගය වැඩි කරගෙන සිටියි. 2018 වසරේ ගෝලීය කාබන් විමෝචනය ටොන් 37.1 කි!

ලෝකයේ ලොකුම කාබන් විමෝචකයෝ ලෝකයේ ලොකුම කාබන් විමෝචකයෝ

පැරිස් සම්මුතිය ඔබෙන්-අපෙන් ඉල්ලා සිටින්නේ ගෝලීය උණුසුම වැඩිවීම සෙල්සියස් අංශක 3 ක් දක්වා සීමා කරන ලෙස පමණි. ඉලක්කමක් වශයෙන් ගත් කල එය සරල ය. නමුත් එයින් වන බලපෑම අති මහත් ය. මන්ද යත්, ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ ගිය විටත් මිනිසාට එය මාරක ප්‍රතිඵල උදාකරන නිසා ය.

[caption id="attachment_6901" align="aligncenter" width="479"]2018 වසරේ ගෝලීය කාබන් විමෝචනය උපරිමයක් විය. | Guardian

2018 වසරේ ගෝලීය කාබන් විමෝචනය උපරිමයක් විය. 

මේ වන විට පැසිෆික් කලාපයේ දීර්ඝකාලීන ස්වභාවික දේශගුණික චක්‍රය ද උණුසුම් වී තිබේ. ලෝක ගෝලය සීඝ්‍රයෙන් උණුසුම් වෙමින් යයි. එහි අරුත, ඉදිරි විසි වසර තුළ වැඩි වැඩියෙන් දේශගුණික විපර්යාස සිදුවනු ඇති බව ය. දේශගුණික විපර්යාස කියා දෙයක් මේ ලෝකයේ නැති බව කියන ට්‍රම්ප් වැනි ලෝක නායකයන් සිටින තාක් කල් අප ඒ යථාර්ථය පිළිගන්නේද? චීනය වැනි රටවල් සිය ආර්ථිය ප්‍රසාරණය කරගන්නා තරමටම දේශගුණයට හිතකර ප්‍රතිපත්තියක් ද ප්‍රසාරණය කර ගන්නට මැලි වන්නේ ඇයි?

පැරිස් සම්මුතියට අත්සන් කළ රටවල් අතරින් ලෝකයේ වැඩිපුරම ගල් අඟුරු භාවිතා කරන රටවලට මේ අවදානම පහදා දී ගල් අඟුරු දහනය නවත්වාලීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ සඳහා පැරිස් සම්මුතික දේහය විසින් මේ වන විට ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 478 කි. ලෝකයේම සාගින්න නිවීමට පවා මේ සා මුදලක් වැය නොවේ. නමුත් ඒ මුදල් ලබාගෙන චීනය දමා තිබූ සෙල්ලම් අතරින් එකක් වූයේ චීන බැංකු හරහා ගල් අඟුරු ආයෝජනය දිරිගැන්වීමයි! (Source : NGOs Urgewald)

පෝලන්තයේ පැවති ජගත් පරිසර සමුළුවේදී බ්‍රසීලයේ ජගත් සංවිධාන නියෝජිතයා මෙසේ කීවේය. ‘‘හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හරියට ක්‍රෙඩිට් කාඩ් ණයක් වගෙයි.. ගෙවා අවසන් කරන්න කල් යන තරමට, ගෙවන්න තිබෙන ප්‍රමාණය වේදනාකාරී ලෙස වැඩිවෙනවා..“

සැබවින්ම මේ වනවිට මිනිසා පන්දු කෙළින්නේ, හොඳින්ම රත් වූ පෘථිවි තැටියකය. ඔහු විසින් ඉවක් බවක් නැතිව නිකුත් කරන කාබන් අංශු ඉහළ වායු ගෝලයේ තාප වැස්මක් සාදයි. ඒ තාප වැස්ම විසින් හිරු එළියේ තාපය ද නැවත මහ පොළොවටම පරාවර්තනය කරයි. එය දෙගුණයක දඬුවමකි. හරියට හරිතාගාරයක් තුළ සිදුවන තාපන ක්‍රියාවලිය සේ ය. ඉතින් දිගින් දිගටම රත්වනවා හැරෙන්නට මේ මහපොළොවට සිසිල් වන්නට ක්‍රමයක් අප ඉතිරි කර  නැත. ඒ රත්වීමේ අවසානය වනු ඇත්තේ, කාල බෝම්බයක් මෙන්  පුපුරා යාමයි.

නමුත් ට්‍රම්ප්ලාට, බොල්සොනාරෝලාට පමණක් නොව ලංකාවේ ඇතැමුන්ට ද පැරිස් සම්මුතිය තවත් එක් ‘විජාතික / අන්තර්ජාතික කුමන්ත්‍රණය‘කි. ඒ යටතේ ක්‍රියාත්මක වන ගෝලීය කාබන් ව්‍යාපෘතිය ඔවුන්ට පැහැදිලිවම තවත් එක් ‘ප්‍රොජෙක්ට්‘ එකකි. ඩීල්වලට, ගේම්වලට කැමති රටවල් ‘ප්‍රොජෙක්ට්ස්‘වලට කැමති නැත. ඒ නිසාදෝ දීර්ඝ කාලීන සැලසුම් ඔවුන්ට දිරවන්නේ නැත.

නමුත් අප වටහාගත යුතු සත්‍යය වන්නේ සොබාදම් මාතාව ‘එදා වේල ටුවර්ස්‘වලට රුචි නැති බව ය.

රුදුරු වූ විට ඇය - දරු සුරතල් බලන්නේම නැත!

- රදිකා ගුණරත්න |