Garbage Free Lanka සමග ජාතික කසල පිරිසිදු කිරීමේ දිනය

Garbage Free Lanka සමග ජාතික කසල පිරිසිදු කිරීමේ දිනය

23 January 2019 01:35 pm
ලංකාවේ පරිසර සංවිධාන කීපයක් මේ වන විට රට පුරා පිරිසිදු කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. පසුගිය ක්‍රිකට් සංචාරයක මහනුවර පැවති තරඟයකින් අනතුරුව නරඹන්නන් විසින් මුළු ක්‍රිකට් ක්‍රීඩාංගණයම පිරිසිදු කරන්න පෙළඹුනා. මීට ආදර්ශයක් වූයේ පසුගිය වසරේ රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියයි. එහිදී මුළු ලෝකයටම පේන්න විශාල ආදර්ශයක් සපයීමට ජපාන පාපන්දු ලෝලීන් සමත් වුනා. ඒ සෑම තරඟයකින් අනතුරුවම තරඟයේ ප්‍රතිඵලය කුමක් වූවත් ඒ ඒ ක්‍රීඩාංගණ පිරිසිදු කිරීම මගින්.
මෙම ක්‍රියාවලිය ලොව පුරා අගය කිරීමට ලක් වූවා පමණක් නෙවෙයි, ඇතැම් රටවල තරුණ තරුණයින් මෙය සිය රටවල ක්‍රියාත්මක කරන්නත් පෙළඹුනා. ශ්‍රී ලාංකීය පරිසර හිතකාමී තරුණ කොටස් මෙය උතුම් ආදර්ශයක් කරමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයද තරඟ දෙකකටම පසුව පිරිසිදු කර රටට, පොදු මහජනතාවට වැදගත් පණිවිඩයක් ලබා දුන්නා.
 
මෙම ක්‍රීඩාංගණය සුද්ද කිරීමේ ක්‍රියාවලිය අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද දක්නට ලැබුනෙ අප කාටත් වඩා ලොකු බලාපොරොත්තුවකට පාර කපමින්. එනම්, පිරිසිදු සුන්දර රටක් හදන්නට අපේ අලුත් පරම්පරාව ඉලක්ක කල හැකි බවයි. ඔවුනට නිසි නායකත්වය හා මෙහෙයවීම ලබා දීමට හැකි නම්, ක්‍රමවත් දැනුවත් කිරීම් ඔස්සේ ඔවුනගෙ සහභාගිත්වය ලබා ගෙන කසල බැහැර කිරීමේ හා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන් මෙන්ම කුණු සම්බන්ධ මහජන විනය ජනතාගේ සිහියට ඇතුලු කල හැකි බව අපට පසක් වුනා.
 
නාගරීකරණය වන සමාජ වටපිටාවක් තුල කසල කළමනාකරණය කරගැනීම උදෙසා ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නොමැති වීම නිසාම මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑම, රට පුරා මනරම් වූ වෙරළ තීරයන් වෙතට කුණු ගොඩ ගැසීම, සිරීපාදේ වැනී සංවේදී පරිසර කලාපයන් වෙත අක්‍රමවත් ව කුණු බැහැර කිරීම, වටිනා ජෛව විවිධත්ව කලාප තුලට කුණු බැහැර කිරීම ආදී පරිසර ගැටලු මෑතකදී උත්ගත වෙලා. ජනගහනයෙ වර්ධනයත්, නූතන පරිභෝජනයේ වෙනස් කමුත් නිසා මිනිසා විසින් නිපදවන කුණු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
 
එහෙත් එය කළමනාකරණය කරගැනීම සඳහා ප්‍රමාණවත් රාජ්‍ය මැදිහත්වීමක් දක්නට නොහැකි කම නිසා ම ගැටලුව සංකීර්ණ වෙලා.
 
ඉතිං, මේ ගැටලුවලට පිළියම් හොයන්න සමාජයේ විවිධ කණ්ඩායම් මේ වනවිට ඉදිරිපත් වෙලා. ඉන් එක් කණ්ඩායමක් තමයි Green Map Sri Lanka සංවිධානය. ඔවුන් රට පුරා මේ වනවිට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතීන් ගණනාවක් සංවිධානය කරලා. ඒ වගේම සුරකිමු දුම්රිය සංවිධානය මේ වනවිට ලංකාව පුරා දුම්රිය ස්ථාන ගණනාවක් සුද්ද පවිත්‍ර කරලා . Green Spine වනවගා ව්‍යාපෘතියත් රට පුරා ගස් හිටවන ව්‍යාපෘති රැසක් කරන ගමන් කුණු ප්‍රශ්නය විසඳන්නත් ඉදිරිපත් වෙලා. ඔවුන් එකතුවෙලා පසුගියදා සිරීපාදේ මාර්ගය නල්ලතන්නිය සිට ඉහලටම සුද්ද කර කුණු ටොන් භාගයක් පමණ කර මතින් බිමට ගෙනාවා.
 
මේ සුදානම් වෙන්නෙ ඔවුන්ගේ අලුත්ම ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ගැන හඳුන්වා දෙන්න ඒ තමයි 'Garbage Free Lanka – නිකසල ලංකා ජාතික සංග්‍රාමය' මේක සිද්ද වෙන්නෙ පෙබරවාරි 04 ජාතික නිදහස් දිනය දවසේ උදේ 8 සිට හවස 2 දක්වා. ඔවුන් ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන මුළු රටම ආවරණය වන පරිදි පිරිසිදු කිරීමක් කරන්නයි හදන්නේ.
 
ඔබේ නගරයේ, ගමේ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, ඉස්කෝලේ, විශ්වවිද්‍යාලයේ, ටියුෂන් පංතියේ, කට්ටිය එකතු වෙලා තමන් කැමති තැනක් සුද්ද කරන්න සංවිධානය කරගන්න පෙබරවාරි 04 වෙනිදට. එදාට එම කර්තව්‍යය සම්බන්ධීකරණය කරන්න ඔවුන් සූදානම් වෙලා ඉන්නවා.
 
ඉතිං, ජාතික දිනය නිකං තවත් එක නිවාඩු දවසක් පමණක් කර නොගෙන රට වෙනුවෙන් කැපකරන්න කැමති ඕනෑම කෙනෙකුට පුලුවන් මෙවන් වැඩසටහනක් සමග එකතු වෙලා මේ දීපව්‍යාප්ත සංග්‍රාමය සමග එකතු වෙන්න. මව් රටට උපහාර කරන්න ඇයව පිරිසිදු කරලා ලස්සන කරනවා තරම් දෙයක් තවත් කොයින්ද.
 
එකතු කරන කුණු ප්‍රාදේශීය සභාව හරහා ඉවත් කිරීමට සූදානම් කරගන්න. කුණු ප්‍රතිචක්‍රිකරණය කරන සමාගම් කීපයක විස්තර දිනය ලංවෙන කොට දන්වන්න ඔවුන් සූදානම්.
 
මෙම නිකසල ලංකා ජාතික සංග්‍රාමය මෙහෙයවන අයට අමතලා ඔබටත් පුලුවන් සෙසු ශ්‍රී ලාංකීය ජාතිය සමග පෙබරවාරි 04 වෙනිදට අත්වැල් බැඳගන්න.
 
අමතන්න
Green Map Sri Lanka -රෝහණ අමරකෝන් 773777443
සුරකිමු දුම්රිය – රුවන් පතිරණගේ 765436858
Green Spine Reforestation Program -පැතුම් කර්නර් 0778077760