මන්ත්‍රීවරුන්හට මහජන නියෝජිතයන් වීමට බලකරමු - Lanka News Web (LNW)

මන්ත්‍රීවරුන්හට මහජන නියෝජිතයන් වීමට බලකරමු

ශ්‍රී ලංකාවේ මිලියන 20 කට අධික සමස්ත ජනගහනය නියෝජනය කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ අභිලාෂ ඉටුකිරීම, ජනතාවට තනි තනිව ඉටු කර ගත නොහැකි අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා දූරදර්ශීව සහ වර්තමානයේ පමණක් නොව අනාගත තත්වයන්ද සැලකිල්ලට ගනිමින් ලංකාවේ සහ එහි පුරවැසියන්ගේ සුභසිද්ධිය පතා කටයුතු කිරීමට අප උත්තරීතර පාර්ලිමේන්තුව සඳහා 225 දෙනෙකුද, පළාත් සභා සඳහා 455 දෙනෙකුද සහ පළාත් පාලන ආයතන සඳහාද 8535 දෙනෙකු වශයෙන් ජනතා නියෝජිතයන් 9215 ක ප්‍රමාණයක් පත්කරගෙන තිබේ.

එය මුලු ජනගහනයට සාපේක්ෂව ජනගහනයෙන් 2170 ක් සඳහා එක් මන්ත්‍රීවරයෙකි. මෙම පිරිස නඩත්තු කිරීම සඳහා (දීමනා, වාහන, දුරකථන, කාර්යාල, කාර්යය මණ්ඩල සහ ආරක්ෂාව) ජනතාවගේ බදු මුදල්වලින් මිලියන ගණනක් මාසිකව වැය කිරීමට සිදුව තිබේ.

එහෙත් මහජන නියෝජිතයන්ගෙන් බහුතරයක් එම වගකීම ඉටු කරන්නේද යන්න බරපතල ගැටළුවකි. එමෙන්ම මහජන නියෝජිතයන් ලෙස ඔවුන් ජනතාවගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන ස්වරූපයක්ද නොපෙනේ. එමෙන්ම වගකීම් සහගතව සහ ගෞරවනීය ලෙස කටයුතු කරන මහජන නියෝජිතයන් ඇගයීමට, දිරිමත් කිරීමට යාන්ත්‍රණයක් නොමැති වීමද බලවත් අඩුපාඩුවකි. විශේෂයෙන් විවේචනය සඳහා නිරන්තරයෙන් පෙළඹෙන ජනතාව, මාධ්‍ය ආයතන හා සිවිල් සමාජ යහපත් නියෝජිතයන් ඇගයීම සඳහාද ක්‍රියාකරන්නේ නම් මේ තත්වය වෙනස් කිරීමට පහසුවක් වනු ඇත.

මහජන නියෝජිතයා කෙතරම් කාර්යබහුල වූවත් ඔවුන්ගෙන් විය යුතු ප්‍රමුඛ කාර්යය අමතක නොකළ යුතුය. මසකට දින 7 ක් හෝ 8 ක් රැස්වන පාර්ලිමේන්තව ඝණපුර්ණය හෙවත් 20 දෙනෙකු නොමැති වීම නිසා කල්දමන්නේ නම් එය ඉතා කණගාටුදායක තත්වයකි. ගණපූර්ණය 20 යනු 225 පාර්ලිමේන්තුවෙන් 8% ක් පමණි. ඝණපූර්ණය නොමැති වීම නිසා සභාවාර කල් දැමීම මෙම වර්ෂයේදීම අවස්ථා ගණනාවකදී වාර්තා විය. එය ජනතා මුදල් විනාශ කිරීමකි. දිනක පාර්ලිමේන්තු වියදම ආසන්න වශයෙන් රු ලක්ෂ 45 ක් පමණ වන බව දැනගන්නට තිබේ. මෙම අවාසනාවන්ත තත්වය වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම සභා නායකවරයාගේ මෙන්ම පක්ෂ නායකයින්ගේද වගකීමක් බව අප අවධාරණය කරමු. විශේෂයෙන්ම මහජන නියෝජිතයන් ලෙස ඔබ නියෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් වගකීමකින් සහ වගවීමකින් යුතුව තම යුතුකම මැනවින් ඉටු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ලෙස සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේන් දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මහජන නියෝජිතයන් තම සුඛවිහරණ සඳහා මහජන මුදල් භාවිතා කරන ආකාරය බස්නාහිර පළාත් සභාව මෑතකදී පුටු මිලදී ගැනීම සඳහා දරන ලැබූ උත්සහයෙන් පැහැදිලි විය. රජයේ නිවාස ව්‍යාපෘති මගින් පවුලකට ජීවිත කාලය සඳහාම ඉදිකරන නිවසකට රුපියල් ලක්ෂ පහක් ලබාදෙන විට, මසකට දෙවරක් රැස්වන පළාත් සභාවක පැය කිහිපය ඉඳගැනීම සඳහා පුටුවක් රු. ලක්ෂ 6 1/2 වය කිරීම සිහි බුද්ධියක් ඇති කිසිවෙකුට කළ හැකිද යන්න සිතා බැලිය යුතුය. ඔවුන් මහජන මුදල් කෙතරම් වගකීමෙන් කළමණාකරනය කරගන්නේද යන්න මෙමගින් පැහැදිලි වේ. එමෙන්ම එසේ ගනු ලබන පුටු සභා රැස්වීම්වලදී කෙතරම් හිස්ව තිබෙන්නේද ගනු ලබන තීරණ කෙතරම් ජනතා සුභවාදීද යන්න පිළිබඳව නැවත නැවතත් හෘදසාක්ෂියෙන් විමසන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

පළාත් පාලනයේ ද විශාල වෙනසක් නොපෙනෙන අතර වැඩි වූ සභිකයින් ප්‍රමාණයට ජන ජීවිතයේ සිදුවූ වෙනස කවරේද යන්න විමසා බැලීමට කාලය එළඹ ඇත. එමෙන්ම ඔවුන්ගෙන් කීදෙනෙකු මේ වනවිට සමාජ විරෝධී ක්‍රියාවන් හෝ බලය අවභාවිතා කිරීම හේතුකොට ගෙන බන්ධනාගාරවල සිටින්නේද යන්න විමසා බැලිය යුතුය.

මෙතෙක් ඡන්දදායක භූමිකාව නිරූපනය කල ඔබ වහ වහා වඩා දියුණු සක්‍රීය පුරවැසි භූමිකාවකට අවතීරණය විය යුතුය. ඔබ විසින් පත්කර යැවූ මහජන නියෝජිතයින් සිය වගකීම නිසි පරිදි ඉටු කරන්නේද යන්න සොයා බැලිය යුතුය. එසේ නොවන්නේ නම් අපගේ දරුවන්ගේ මෙන්ම රටේ අනාගතය අඳුරුවීම නොවැලැක්විය හැකි වනු ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,
රෝහණ හෙට්ටිආරච්චි - පැෆ්රල් සංවිධානය
චාමින්ද රාජකරුණා, නිශාන්ත ප‍්‍රිතිරාජ් - සර්වෝදය ශ‍්‍රමදාන සංගමය
ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය, සමාධානි කිරිවන්දෙණීය, නවින්ද්‍ර ලියනාරච්චි - සණස ව්‍යාපාරය
මනෝරි කලුගම්පිටිය - රයිට්ස් නව් සාමුහිකය
අශෝක ඔබේසේකර, ශෂී ද මෙල් - ශ්‍රී ලංකා ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල්
ආතාවුද ජයවර්ධන - විද්වත් වෘත්තීකයන්ගේ සංගමය
හේමන්ති ගුණසේකර - ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය
දයා හේරත් - ලක්බිමේ මවුවරු සහ දියණියෝ
සමන් හමන්ගොඩ - පැල්ට‍්‍රා සංවිධානය
මංජුල ගජනායක - මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය
විමල් ප‍්‍රනාන්දු - මානව හිමිකම් සුරකීමේ සංවිධානය
තිස්ස විජේතුංග , ආරියපාල ගමගේ - රාජ්‍ය නොවන සංවිධාන ජාතික ක්‍රියාකාරී පෙරමුණ

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...