ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට හා ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙමින් තිබේ

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට හා ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වෙමින් තිබේ

21 November 2018 12:32 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශන රැසක් සිදු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

එම තීරණයත් සමඟ ඔහුගේ පරීක්ෂණවල අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක් මතු වී ඇත. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය එයට අනුබද්ධිත ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය සමඟ එක්ව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන අර්බුදය හමුවේ මාධ්‍ය නිදහස හා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම කෙරෙහි බරපතල තර්ජනයක් මතු වී ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරනු ලබයි.

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්, නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නාමල් පෙරේරා යන මාධ්‍යවේදින් පැහැරගෙන ගොස් පහර දීම සහ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධ සිදුවීම් රාශියක් වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල ප්‍රධාන විමර්ශන නිළධාරියා වූයේ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාය.

නිශාන්ත සිල්වා මහතා මාරු කර යැවීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතාගේ උපදෙස් මත සිදු වී තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සභාපති දුමින්ද සම්පත් මහතා මෙසේ අදහස් දැක්වීය.

'මේ හදිසි ස්ථාන මාරුව සිදු කර තිබෙන්නේ නිශාන්ත සිල්වා මහතාගේ විමර්ශනවලට සම්බන්ධ නඩු කටයුතුවලට බාධා කිරීම සඳහා කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.'

මේ අතර එම සංවිධානයේ විධායක සභිකයන්ට මාධ්‍යවේදීන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් කතා කිරීම වළක්වමින් විවිධ තර්ජන හා බාධා එල්ල වෙමින් පවතියි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට මෙම තර්ජන එල්ල වී ඇත. පසුගිය ඔක්තෝබර් මස අවසානයේ සිට ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති ලසන්ත රුහුණගේ, උප සභාපතිවරුන් වන කාංචන මාරසිංහ සහ ශාන්ත ප්‍රියදර්ශන, ලේකම් ‍ෆ්‍රෑන්ක් ද සොයිසා, ජාතික සංවිධායක නිමල් අබේසිංහ, භෘණ්ඩාගාරික ටී. නඩරාසා සහ අනෙකුත් කමිටු සාමාජිකයන් මෙම සංවිධානයේ කටයුතු කිරීම නිසා තර්ජනයටත් හිරිහැරයටත් ලක් වී තිබේ.

අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ රුහුණගේ, කේ. සංජීව සහ තරිඳු උඩුවරගෙදර යන මාධ්‍යවේදීන් විසින් රාජපක්ෂ සහ සාමාජිකයන් පත් කිරීමට විරුද්ධව කළ ප්‍රකාශයක වීඩියෝ පටයක් පිළිබඳව රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතාම අවිධිමත් ලෙස අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ව රාජ්‍ය ද්‍රෝහින් ලෙස හඳුන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මෙසේ අදහස් පළ කරයි.

'ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අප සම්මේලනය විශාල අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන් සතු අදහස් ප්‍රකාශනයේ නිදහස හා ප්‍රකාශනයේදී ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට සිදු වන තර්ජන හා හිරිහැර සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සැලකිල්ලෙන් පසුවෙනවා.'

එසේම ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව මාධ්‍ය නිදහස, කර්තෘ මණ්ඩල නිදහස සහ ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් හා ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන්ට හිරිහැර සහ තර්ජන සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.