ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෙට රහස් පොලිසියට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෙට රහස් පොලිසියට

9 September 2018 04:08 pm

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණවර්ධන, නේවි සම්පත්ට රැකවරණ සැපයීම, ආධාර අනුබල දීම යනාදී චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හෙට (10)රහස් පොලිසිය වෙත කැඳවා තිබේ.

බොහෝ විට ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඔහුව හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට සැක කෙරෙන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 29 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියම කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව වහාම අත්අඩංගුවවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.

නමුත් මේ දක්වා එය සිදුවූයේ නැත.

මේ අතර රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වන්නේ, ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට රහස් පොලිසියට ඉහළම තැන්වලින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවයි. මේ බලපෑම් හේතුවෙන් රහස් පොලිසිය මේ වන විට පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවයකට ය.