යුද හමුදාපති සහ ෆීල්ඩ් මාෂල් - ගුරා ගෝලයා මඩ නා ගැනීමෙන් යුධ හමුදාවම මඩින් නෑවෙයි

යුද හමුදාපති සහ ෆීල්ඩ් මාෂල් - ගුරා ගෝලයා මඩ නා ගැනීමෙන් යුධ හමුදාවම මඩින් නෑවෙයි

13 September 2018 11:55 am

මේ දෙදෙනා එකිනෙකාට මඩ ගසා ගැනීමෙන් හමුදාවේ ප්‍රතිරූපයට ඉමහත් හානියක් සිදුවෙමින් පවතින අතර, ඉදිරියේ යුධ හමුදාව අභ්‍යන්තරයේ විශාල කැළඹිලි තත්වයක් ඇති වීමට ද මෙය හේතු විය හැකිය. 

2015 ජනවාරි 8 නව රජය පත්වීමෙන් පසු රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ තමන් සමග සාකච්ඡා කර නොමැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය 7 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 2018/9/9 දින යුද හමුදාව විසින් එයට අනවශ්‍ය ලෙස මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රතිචාර දැක්වීමෙන් පසු ෆීල්ඩ් මාෂල් විසින් මාධ්‍ය මගින් යුද හමුදාපති මහේෂ් සේනානායකව ප්‍රසිද්ධියේ ඉතාමත් පහත් ආකාරයට විවෙිචනය කරන ලදී.

1949 යුද හමුදාව ආරම්භ කිරීමෙන් පසුව පත් වූ කිසිම යුද හමුදාපතිවරයෙකුට තනතුරේ සිටියදී විපක්ෂයකින් හෝ වෙනත් කිසිම අයෙක් විසින් මෙසේ පරිභව කර නොමැත. නව හමුදාපතිවරයෙකු පත්කිරීමට පැවති මාධ්‍ය හා සීතල තරගයේදී සුදුසුකම්ලත් හමුදාවෙි ජ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිපදෙනෙකු සිටියදී ඔවුන්ට අසාධාරණයක් කර වත්මන් හමුදාපති පත්කිරීමට ජනාධිපතිට හා අගමැතිට දැඩි බලපැමි එල්ලකර විශාල කාර්යභාරයක් ඉටුකළ හිටපු හමුදාපතිවරයෙක් හා කැබිනටි අමාත්‍යවරයෙක් වන ෆීල්ඩ් මාෂල් , අද මෙලෙස තමන්ගේ ගෝලයා වන යුද හමුදාපතිවරයාව විවෙිචනය කිරිම විශ්මිතය.

රටේ ජනපතිට අගමැතිට හා රජයට රටෙි ආරක්ෂාව පිළිබඳ සත්‍ය තත්වය පහදා දී ආරක්ෂක කටයුතු පිලිබද අවැසි උපදෙස් ලබාදීම හමුදාපතිවරයකුගේ යුතුකම හා වගකීමවුවද වත්මන් හමුදාපති එලෙස නොකර අදාල බලධාරින්ට සත්‍ය තත්වය පහදාදී නොමැති බව ෆීල්ඩ් මාෂල් චෝදනා කරයි. අදවන විට උතුර නැගෙනහිර ආරක්ෂාව සදහා ස්ථාන ගතකර (deploy) ඇති බලඇණි 33ක් වසා දමන්නැයි හමුදාපතිවරයා නියෝග කර ඇතැයිද පැවසීය.

රටෙි ආරක්ෂාව සදහා යොදවා ඇති ඒකක, බලසේනා, සේනාංක හා ආරක්ෂක සේනාවන් ස්ථානගත කිරීම, ඉවත්කිරීම, අවැසි උපදෙස් ලබාදීම හා අදාල රාජකාරින් සදහා යෙදවිය යුතු ආකාරය පිලිබද විශ්ලේෂණයක් කර යුද හමුදාපතිට නිර්දේශ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (Director General General Staff) නිළධාරිගේ කාර්යයකි, එහෙත් වත්මන්ව එම තනතුර දරන නිළධාරියා බලසේනාවකට, සේනාංකයකට හෝ ආරක්ෂක සේනාවකට අණදීම සිදුකර නොමැති තදබල විනය විරෝධී ක්‍රියාවන් නිසා නිල උසස්වීම් නිසිකල නොලද, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වඩා කණිෂ්ඨ නිළධාරියෙකි. වත්මන් යුද හමුදාපතිගේ ඒකකයේ වීම හා ඔහුගේ පෞද්ගලික මිතුරුකම මත මෙම පත්කිරීම කර ඇති නිසා හැකියාවන්, සුදුසුකමි හා අත්දැකීමි නොමැතිකමින් ඔහු විසින් ගන්නා ලද තීරණ හා ලබාදෙන ලද උපදෙස් බොහොමයක් ප්‍රශ්නකාරී බව ක්ෂේත්‍රයේ අණදෙන්නන් (Field Commanders) පවසා ඇත.

නව යුද හමුදාපතිවරයෙකු තේරීමෙිදි එවකට සිටි සියලු සුදුසුකම් තිබූ ජ්‍යේෂ්ඨ නිළධාරීන් කිහිපදෙනෙකුට වඩා වත්මන් හමුදාපතිට සුදුසුකම් ඇති බවට, තවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙකු සමග ජනපතිට හා අගමැතිට කරුණු ඉදිරිපත්කර බලපෑම් කළ ෆීල්ඩ් මාෂල්වරයාම දැන් ප්‍රකාශ නිකුත් කරමින් ඔහු හමුදාපති බවට පත්වූයේ සුදුසුකම් නිසා නොව ඔහුට වඩා ජ්‍යේෂ්ඨ නිළධාරින් විසින් කළ වැරදි නිසා බැව් පැවසීමෙන් තමන් අතීතයේ සිදුකළ වරද නිවැරදි කරගැනීමට සැරසෙන බව පෙනේ.

තවද යුධබිමෙි වසර ගනනාවක් නීර්භීතව හා දක්ෂ ලෙස සටන්කළ, අවසන් යුද්ධයේදීද සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කළ, හමුදාපතිවරයෙක්වීමට සියලු සුදුසුකමි සපුරා තිබියදී ඒ ආසන්නයට පැමිණ - වත්මන් රජය පත්වීමෙන් පසු විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා වැනි අයෙක් හමුදාපති ලෙස පත්කිරිමට නිර්දේශ නොකර යුද්ධය කාලයේ යුධබිමට නොගොස් හමුදා මුලස්ථානයේ ෆයිල් ගොඩක් භාරව සිටි බ්‍රිගේඩියර්වරයෙක් හමුදාපති තනතුරට පත්කිරීමෙිදි ෆීඩ් මාෂල් තම විරෝධය නොපෑමද ප්‍රශ්න සහගතය.

මීට අමතරව වත්මන් හමුදාපති හමුදාපතිවරයෙක්වීමට අවශ්‍ය මූලික සුදුසුකමක්වන ආරක්ෂක විද්‍යා පීඨයක ඉගෙනුම ලබා නොතිබූ බව ෆීල්ඩි මාෂල් හොදින්ම දැනගෙන සිට නුසුදුස්සෙකුට හමුදාපති පදවිය ලබාදීමට කටයුතු කර අද එම සුදුසුකම නැතිබව ප්‍රකාශ කිරිම වනාහී, කෑමට අවශ්‍යවූවිට කබරගොයි මසුත් තලගොයි මස් කළා වැනිය.

ෆීල්ඩ් මාෂල් විසින් යුද්ධ හමුදාවේ යුධමය සූදානම පිළිබඳ සෑහීමකට පත් නොවන බවට කළ ප්‍රකාශයට යුද හමුදාපති විසින් මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රතිචාර දක්වමින්, වසර ගණනාවකට පසුව විශ්‍රාමගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිලිබද සමාලෝචනය කිරිමට ෆීල්ඩ් මාෂල්ට නොහැකි අතර ඒ සඳහා ෆීල්ඩ් මාෂල්ට කිසිම සදාචාරාත්මක අයිතියක්ද නොමැති බව දන්වා ඇත. මීට අමතරව ෆීල්ඩ් මාෂල්ගේ පුද්ගලික හා දේශපාලන වශයෙන් ඇති අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට, ජාතික ආරක්ෂාව ඈඳා ගනිමින් රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය විවෙිචනය කිරිම සමස්ථ යුධ හමුදාවම තරයේ හෙළා දකින බවටද ප්‍රකාශකර ඇත.

තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ හා සුදුසුකමි සපුරා තිබූ කිහිපදෙනෙකු සිටියදී හමුදාපති පදවිය ලබාගැනීමට අවස්ථාව උදාකරදුන් ෆීල්ඩ් මාෂල්ගේ ප්‍රකාශයකට මෙසේ දරුණු ප්‍රතිචාර දක්වා ඔහුව තරයේ හෙළා දකින බවටද ප්‍රකාශ කිරීම ඉහලට නැගීමට උදව් වූ ඉණිමගට පයින් ඇන කන්න දුන් අත සපාකෑමක් බව විශ්‍රාමික ජෙනරාල්වරයෙකු පැවසීය.

ෆීල්ඩ් මාෂල් හමුදාපති අවධියේ ඔහු සමග කිට්ටුවෙන් රාජකාරි කළ හා දේශපාලන කටයුතු වෙනුවෙන් උදව් කළ බවට චෝදනාලත් ජ්‍යේෂ්ඨ නිළධාරින් කිහිපදෙනෙකුට නියමිත නිළ උසස්වීම් ලබානොදී, තවත් කිහිපදෙනෙක්ව අනිවාර්ය විශ්‍රාම යැවීම සිදුකරන ලදී. නව රජය පත්වීමත් සමග ෆීල්ඩ් මාෂල්ගේ නිර්දේශ මත වත්මන් යුද හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු එම නිළධාරින් නැවත සේවයේ පිහිටුවන ලදී. එම නිළධාරින් තවමත් ෆීල්ඩ් මාෂල්ව නිතරම පෞද්ගලිකව හමුවී හෝ දුරකථනයෙන් ඔහු සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වනු ලැබෙී. ඇතිවී ඇති වත්මන් තත්වය නිසා කාගේ පැත්ත ගතයුතුදැයි යන ප්‍රශ්නයෙන් එම නිළධාරින් මහත් අපහසුතාවයකට පත්ව ඇත.

පසුගිය වසරේ අගභාගයේ සිට මෙම දෙදෙනාගේ විරසකය පැවති නිසා දෙදෙනාටම හිතවත් කිහිපදෙනෙකුම මෙම දෙදෙනා අතර සම්බන්ධය යළි ඇති කිරිමට උපරිම උත්සාහ කළ නමුදු එය අසාර්ථකවී ඇත. තත්වය දරුණුවීම නිසා ෆීල්ඩ් මාෂල්ට හිතවත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිපදෙනෙකුටම යුද හමුදාපතිගේ වෙනස්කම් (discriminations)වලට මුහුණදීමට සිදුවී ඇත. පියල් වික්‍රමරත්නට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුර නොලැබීම එක් උදාහරණයකි.

පසුගිය අගෝස්තු මස යුද හමුදාපති දෙවැනි සේවාදිගුවක් බලාපොරොත්තුවෙන් මෙම වසර මුල සිටම කටයුතු කරන ලදී. එය ලබාදීමේ අවසන් තීරණය ජනපති සතු වූ නිසා සහ එවකට තිබූ දේශපාලන තත්වය මත හමුදාපතිට ඔහු ජනපති වෙත වැඩි පක්ෂපාතිබවක් ඇති බව පෙන්වීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. එම අවස්ථාවෙි ෆීල්ඩ්මාෂල් සමග කිට්ටු සබඳතාවය අවාසි සහගතවිය හැකිබැවින් ඔහුගෙන් ඈත්වීමේ අවශ්‍යතාවයකින් කටයුතු කළ බැව් උපකල්පනය කළ හැක.

කෙසේ නමුත් මේ තත්වය මත අදවන විට යුද හමුදාවේ නිළධාරින් අතර සමගියට විශාල බලපෑමක් ඇතිවී හමුදාවෙි පිල් බෙදීමක් ඇතිවී ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ දෙදෙනා එකිනෙකාට මඩ ගසා ගැනීමෙන් හමුදාවේ ප්‍රතිරූපයට ඉමහත් හානියක් සිදුවන බව පෙන්වාදිය හැක. ජනපති විසින් මෙි සදහා කඩිනමින් මැදිහත්වී සුදුසු ක්‍රියාමාර්ගයක් නොගතහොත් හමුදාව අභ්‍යන්තරයේ විශාල කැළඹිලි තත්වයක් ඇතිවිය හැක.

- විශේෂ ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි.