කරපිංචා අම්මාගේ ඉරණම වෙත මානව හිමිකම් කොමිසමේ අවධානය

කරපිංචා අම්මාගේ ඉරණම වෙත මානව හිමිකම් කොමිසමේ අවධානය

14 September 2018 08:06 am

ලංකා නිව්ස් වෙබ් විසින් අවස්ථා ගණනාවකදී අවධානයට ලක් කරන ලද ‘HNB ග්‍රාමීන් පොලිසි ගෙනියන්න හදන කරපිංචා අම්මා‘ ගේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ජාතික මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වී ඇති බව අප වෙත වාර්තා වේ.

මේ අනුව ඉදිරියේදී ඔවුන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිත ය.

මේ වන විට ජාතික මානව හිමිකම් කොමිසම විසින්, ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය උගුල තුළ පුරවැසියන්ගේ ඉරණම පිළිබඳ සාධනීය කථා බහක නිරත වන නෙළුම්යාය පදනම අමතා අදාළ විස්තර සියල්ල ලබාගෙන ඇති අතර, ඉදිරි විමර්ශන ක්‍රියාමාර්ගවලදී නෙළුම්යාය පදනම ද එහි එක් පාර්ශවකරුවෙකු වශයෙන් සම්බන්ධ වනු ඇත. මේ සම්බන්ධ විමර්ශන කටයුතුවලදී සියලු සහයෝගය මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන බවත් මෙම ගැටළුව සඳහා ඔවුන්ගේ මැදිහත්වීම අතිශයින් අගය කරන බවත් නෙළුම්යාය පදනම පවසයි.

අනුරාධපුර ගල්නෑව ජන උදාන ගම්මානයේ වෙසෙන ‘කරපිංචා අම්මා‘ සිය 91 හැවිරිදි මාතාව සහ රෝගී සැමියා සමග, දිනකට සැතපුම් 30-40 ක් පාගමනින් යමින් කරපිංචා එකතු කරමින් ගෙන යන ජීවන අරගලය මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඒවා ගෙවා ගත නොහැකි තත්වයට පත් වීම තුළ ඔවුන්ගේ වාචික හිංසනයට, තර්ජනයට සහ අවමන් සහගත සැලකිලිවලට ලක් වන ආකාරය පසුගිය දිනවල වෙබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතා බහට ලක් වී තිබිණි.

විදුලිය විසන්ධි වී, ගෙදර කෑමට පවා කිසිවක් නොමැතිව ඔවුන් ගත කරන අන්ත දුක්ඛිත ජීවිතයට යම් පිළිසරණක් වෙමින් නෙළුම්යාය පදනම, මේ වන විට ඇයගේ නිවසට විදුලිය නැවත ලබාදීමටත්, අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබාදීමටත් කටයුතු කර ඇත. කෙසේ නමුත් මෙය, මෙම ගැටළුවට කිසිසේත්ම ‘ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව‘ ද නෙළුම්යාය පදනම පෙන්වා දෙයි.

ජාතික මානව හිමිකම් කොමිසම, ග්‍රාමීය ණයගැති බවේ පත්ලටම කිඳා බැස ඇති මෙම කාන්තාවන්ගේ ණය උගුල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ භූමිකාව පිළිබඳ විශේෂයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද ලංකා නිව්ස් වෙබ් වෙත දැනගන්නට ලැබේ.

HNB ග්‍රාමීන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයේ අදාළ ණය වාරික එකතු කරන නිලධාරියා පසුගිය දිනෙක ඇයට තර්ජනය කර තිබුණේ ‘වාරික නොදමන්නේ නම් පොලිසි ගෙන යන බව‘ සහ ඉන් අනතුරුව ඇයට විරුද්ධව නඩු පැවරීමට කටයුතුකරන බව කියමිනි.

මෙම ගම්මානයේ වෙසෙන කාන්තාවන් ගණනාවකට එරෙහිව නඩු පවරන බව දැනුම් දෙමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන කිහිපයක් විසින් සිය නීතීඥයන්ගේ මාර්ගයෙන් මේ වන විට එන්තරවාසි එවා ඇත.

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, සම්පූර්ණ ණය වාරික නොවන වාරික භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර, ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, අසම්පූර්ණ වාරික භාරගත්තද, හිඟ පොලිය සහ දඩ පොලිය එයට එක් කරමින් සැලසුම් සහගත ලෙස නඩු පැවරීමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි, නෙළුම්යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා නීතීඥ රදිකා ගුණරත්න ලංකා නිව්ස් වෙබ් සමග ප්‍රකාශ කළාය.

පෙර ලිපිය:

‘HNB ග්‍රාමීන් පොලිසි ගෙනියන්න හදන කරපිංචා අම්මා මෙන්න!‘‘