2020 දි මහින්ද දිනනවා යැයි කියන 'ඉකොනොමිස්ට්' 2015 දිත් ඇනගත්තා මතකද?

2020 දි මහින්ද දිනනවා යැයි කියන 'ඉකොනොමිස්ට්' 2015 දිත් ඇනගත්තා මතකද?

17 September 2018 09:08 am

මීළඟ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනු ඇති බවට මහා බ්‍රිතාන්‍යයේ Economist Intelligence Unit (EIU) නමැති උපදේශන හා ජනමත සමීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණය ජයගෙන 2020 මහ මැතිවරණයෙන් ද බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව ද එම ආයතනය පවසයි.

මෙම සමීක්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇති ප්‍රධාන කරුණු දෙකක් වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය සහ ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දැක්වීමයි.

2015 වාර්තාව

මීට පෙර පසුගිය ජනාධිපතිවරණයේදී ද Economist Intelligence Unit (EIU) ආයතනය මෙවැනි සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වූ අතර එහිදී කියා සිටියේදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් නැවත ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවයි. එහිදී එම සමීක්ෂණය හරහා පෙන්වා දුන්නේ රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද ඔහුට අවශ්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය සොයා ගැනීමට එවකට විපක්ෂ කණ්ඩායම් අසමත් වන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට වසර දෙකක් තිබියදී මහින්ද රාජපක්ෂ මහතා සුදුසුම අවස්ථාවේදී ජනාධිපතිවරණය කැඳවූ බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බවත් Economist Intelligence Unit (EIU) එදා ප්‍රකාශ කළේය.

එහෙත් එම සමීක්ෂණ වාර්තා පුස්සක් බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස පත් විය.

මෙවර ද Economist Intelligence Unit (EIU) මගින් සිදුකර ඇති සමීක්ෂණයේ නිගමනය අසත්‍යවීමට වැඩි ඉඩක් ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඉකොනොමිස්ට් සමීක්ෂණයට පාදක කරගත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂ ඇණිය ලබාගත් බහුතර බලය මේ වනවිට දිනෙන් දින හීනවෙමින් පවතින අතර එය පසුගිය 05 වැනිදා නාමල්ලාගේ කොළඹ වැටලීමෙන් සක්සුදක් මෙන් ප්‍රත්‍යක්ෂ විය. ලක්ෂ ගණනක් කොළඹට ගෙනැවිත් කොළඹ වටලා එහි රැයක් ගත කරන බව එම විරෝධතාවයේ සංවිධායකයන් ප්‍රකාශ කළ ද පාක්ෂිකයන් 50,000 ක් හෝ කොළඹට ගෙන ඒමට ඔවුන් අසමත් විය. එපමණක් නොව පසුදා වනතෙක් කොළඹ නවාතැන් ගන්නවා යැයි කීව ද පාක්ෂිකයන්ගේ සහභාගීත්වය නොමැතිවීම නිසා සහ සංවිධාන දුර්වලතා හේතුවෙන් රාත්‍රී 12 ට පෙර විරෝධතාවය අවසන් කිරීමට ද සිදුවිය.

Economist Intelligence Unit (EIU) පෙර පැවති දේශපාලන තත්වය හා මාධ්‍ය වාර්තා පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත. කෙසේ වෙතත් මේ වනවිට, රාජපක්ෂලාට වාසිදායක දේශපාලන වටපිටාව වෙනස් වී ඇති අතර එය ඉදිරියට තවදුරටත් රාජපක්ෂලාට අවාසිදායක වනු ඇත. තමන්ට වාසිදායකව තිබූ දේශපාලන වටපිටාව පසුගිය 05 වැනිදා කොළඹ වැටලීම හරහා නාමල්ලා විසින් පියවර කිහිපයක් පසුපසට ඇද දැමූ අතර අනෙක් පැත්තෙන් ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති හරහා ආණ්ඩු ලකුණු දමා ගනිමින් සිටී. තවත් පැත්තකින් විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීම හරහා පැවති රජයේ දූෂණ-වංචා, අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කරමින් තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දලාට ලැබෙන ප්‍රතිඵලය සලකා බැලිය යුත්තේ ඉහත කී කාරණා මත මිස පසුගිය පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය මත නොවේ.

පසුගිය පළාත් පාලන මැතිවරණය ජය ගත්තද මහින්දලාට ඡන්දය දුන් බොහෝ දෙනා මේ වනවිට කලකිරීමෙන් සිටින අතර තමන් නැවතත් රැවටී ඇති බව ඔවුන් බහුතරයක් තේරුම් ගෙන සිටී. අනෙක් අතින් එම මැතිවරණයෙන් ජයගත් පොහොට්ටු අපේක්ෂකයන් සැලකිය යුතු පිරිසකට පසුගිය මාස කිහිපය තුළ අපරාධ ඇතුළු විවිධ චෝදනා එල්ල විය.

පොහොට්ටු අපේක්ෂකයා කවුද?

ජනාධිපතිවරණය ජයගැනීමට නම් ඒ සඳහා ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සිදුවන අතර එහෙත් පොදුජන පෙරමුණ දැන් සිටින්නේ තමන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන උභතෝකෝටිකයට මුහුණ දෙමිනි. මහින්ද රාජපක්ෂට නැවතත් ඉදිරිපත් විය නොහැකි බව ස්ථිරය. සුදුසු අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් මහින්ද ඇණිය තුළ විසංවාද ගණනාවක් පවතින අතර පසුගිය කාලයේදී අපේක්ෂකත්වය සඳහා වඩාත්ව ලංව සිටි ගෝඨාභයට ද එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පසුබැසීමට සිදුවිය.

පසුගියදා ද හින්දු පුවත්පතට මහින්ද රාජපක්ෂ ලබාදුන් සම්මුඛ සාකච්ඡාව හරහා ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා යැයි සඳහන් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළ ද ඒ සඳහා ද කුමාර වෙල්ගමලාගෙන් සහ වාසුදේව නානායක්කාරලාගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ. ඔවුන් පවසන්නේ මහින්ද කී සහෝදරයා ගෝඨාභය නොව චමල් බවයි.

ඉකොනොමිස්ට් පුවතට මේ වනවිට මහින්දට සම්බන්ධ මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ. ඒ හරහා මහින්දලා උත්සාහ ගන්නේ නැවතත් පෙර පරිදිම ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය මංකොල්ලකෑමටයි. කෙසේ වෙතත් ඉදිරියේදී එය එතරම් පහසු නොවනු ඇති බව පසුගිය 05 වැනිදා පොහොට්ටු පාක්ෂිකයන් ම පෙන්වා දුන් අතර කෙසේ වෙතත් රාජපක්ෂලා ඒ බව තවමත් තේරුම් ගෙන නොමැත.

EIU ලිපිය