දෙමළාට ගහන්න ඕන වුණාම 2011 කළ ඉදිකිරීම් පෞරාණික ලෙස පෙනීම

දෙමළාට ගහන්න ඕන වුණාම 2011 කළ ඉදිකිරීම් පෞරාණික ලෙස පෙනීම

19 September 2018 08:41 am

'දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාවට උතුරු-නැගෙනහිර පෞරාණික නටබුන් විනාශ කරනවෝ' යැයි පසුගිය දිනවල අන්තවාදී සිංහල බෞද්ධ සංවිධාන කිහිපයක් පසුගිය දිනවල මාධ්‍ය ඉදිරියේ මහා සංදර්ශනයක් සිදු කළේය.

ඊට හේතුපාදක වූයේ කාරච්චි ප්‍රාදේශීය සභා බලධාරීන් විසින් කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉදිකිරීමක් කඩා ඉවත් කිරීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසන්නේ මෙම නටබුන් පුරාවිද්‍යා පොළොන්නරු යුගයට අයත් බවයි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාගේ මූලිකත්වයෙන් මෙම පුරාවිද්‍යා නටබුන් විනාශය සිදුකර ඇති බවත් මන්ත්‍රීවරයා ඇතුළු නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු පවත් ජිනානන්ද හිමි පවසයි.

මේ අතර සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ මේවා ඓතිහාසික නටබුන් බවට තහවුරු වී ඇති බවයි. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා නටබුන් මුස්ලිම් දේශපාලනඥයන් විසින් විනාශ කරන බවත් උතුරේ ඓතිහාසික නටබුන් දෙමළ දේශපාලනඥයන් විසින් විනාශ කරන බවත් උන්වහන්සේ පවසා තිබෙනවා.

අන්තවාදී සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන මාධ්‍ය ඉදිරියේ කෑමොර දෙන්නේ මේවා ඇසින් දුටු සිදුවීම් ආකාරයෙනි. පුරාවිද්‍යා නටබුන් බවට තහවුරු කරගෙන ඇතැයි පැවසුවද එසේ තහවුරු කර ගත්තේ කෙසේදැයි ඔවුන් නොපවසයි. එසේ පැවසීමට ඔවුන්ට සාක්ෂි ද නොමැත.

කිලිනොච්චියේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී. මණ්ඩාවල මහතා පවසන්නේ මෙම ඉදිකිරීම් 2011 වසරේදී ඉදිකර ඇති බවයි. අනුරාධපුර ජේතවන හා අභයගිරි ස්ථූප සංරක්ෂණය සඳහා භාවිතා කරන ගඩොල්වලින් ප්‍රතික්ෂේප වූ ගඩොල් භාවිතා කර මෙම ඉදිරිකිරීම් සිදුකර ඇති බවත් යුද හමුදාවේ මැදිහත්වීම මත ඉදිකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. අනෙක් පැත්තෙන් පුරාවිද්‍යා නටබුන් යැයි කියන මෙම ඉදිකිරීම සඳහා භාවිතා කර ඇති ගොඩොල්වල මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලාංඡනය පැහැදිලිවම සටහන් කර ඇති අතර ඉදිකිරීම සඳහා භාවිතා කර ඇත්තේ සිමෙන්ති බදාමයි.

අන්තවාදී බෞද්ධ සංවිධානවලට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරු යුගයේදී පවා තිබූ රාජ්‍ය ආයතනයක් වන අතර එම යුගයේ ඉදිකළ ගොඩනැගිලි සඳහා සිමෙන්ති බදාම භාවිතා කිරීම තුළින් ඔවුන් කෙතරම් දියුණු තාක්ෂණය භාවිතා කර ඇත්තේ යන්න එකී සංවිධාන හෙලි කරයි.

2009 වසරේ යුද්ධය අවසන්වීමෙන් පසුව උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් ගවේෂණයක් සිදුකළ අතර එම ලැයිස්තුවල ද අඟුළුගල්ලේ ජිනානන්දලා කියන ආකාරයේ මෙවැනි පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳ සටහන් වී නොමැත. එයට හේතුව වී ඇත්තේ පොළොන්නරු යුගයට අයත් යැයි කියන මෙම ඉදිකිරීම ඒ වනවිටත් ඉදි වී නොතිබුණු බැවිනි.

මෙම ඉදිකිරීම ඉවත් කිරීම සිදුව ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික් කමිටු රැස්වීමේ තීරණයක් මත බවයි අදාල ඉදිකිරීම් ඉවත් කළ කාරච්චි ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසන්නේ. එය කිසිසේත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත හෝ ඔහුගේ අවශ්‍යතාවය මත සිදුවූවක් නොවන බව ද එම නිලධාරීන් අවධාරණය කරයි.