ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නැවත දිවයිනට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නැවත දිවයිනට

20 September 2018 07:37 am
විදෙස්ගතව සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (19) නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඔහු පසුගිය 10 වැනිදා මෙක්සිකෝව බලා පිටත්ව ගියේ මෙක්සිකෝ නිදහස් දින සමරුව සඳහා සහභාගිවීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙසයි.
ඔහු හදිසියේ විදෙස්ගත වීම දැඩි කතාබහට ලක් වූ අතර ඊට හේතු වූයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය එකොළොස්වැනිදා රහස් පොලීසියට පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී තිබීමයි. එය නොතකා විජේගුණරත්න මහතා විදෙස්ගත වූ අතර ජනාධිපතිවරයා ද දැනුවත්ව මෙය සිදුවීම විශේෂත්වයකි.
 
පසුගිය රජය සමයේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අයට සැඟවී සිටීම ආධාර අනුබල දීම, එම සිද්ධියේ පරීක්ෂණ කඩාකප්පල් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එල්ල වී තිබේ. රහස් පොලීසියට ඔහු කැඳවා තිබුනේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.
 
මේ අතර විජේගුණරත්න මහතා ඇමරිකාවේ රැකවරණය ඉල්ලා ඇති බවට පසුගියදා වාර්තා වූ අතර එම වාර්තා අසත්‍ය බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නැවත පැමිණීම හරහා තහවුරු වී තිබේ. එම වාර්තා අසත්‍ය බව අපි පසුගිය 15 වැනිදා වාර්තා කළෙමු. .
 
ෆොන්සේකා 25 වැනිදා රහස් පොලීසිය
 
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ලබන 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව ද වාර්තා වේ. ඒ ඉහත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
 
සබැඳි පුවත්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා එහෙම අත්අඩංගුවට ගන්න බෑ
මාධ්‍ය වාර්තා අසත්‍යයි - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇමරිකාවේ රැකවරණය ඉල්ලා නෑ
අධිකරණ නියෝග නොතකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙක්සිකෝ යයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෙට රහස් පොලිසියට