එක්නැළිගොඩ පැහැරගෙන ගිය යුධ හමුදා බුද්ධි නිලධාරියා CID අත්අඩංගුවට!

එක්නැළිගොඩ පැහැරගෙන ගිය යුධ හමුදා බුද්ධි නිලධාරියා CID අත්අඩංගුවට!

20 September 2018 05:22 pm

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ ලුතිනල් කර්නල් එරන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව ලුතිනල් කර්නල් එරන්ත පීරිස් සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් සාක්ෂි නොතිබූ අතර එම කාලය තුළ බුද්ධි අංශ කණ්ඩායම අතර සිදුව ඇති දුරකථන පණිවිඩ හරහා එරන්ත පීරිස් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඇත්තේ ලුතිනල් කර්නල් එරන්ත පීරිස් බවට අනාවරණ වී තිබේ.

එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට මීට පෙර අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරුවෙකු වූ යුද හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්නගේ සමීපතමයා වන්නේ ලුතිනල් කර්නල් එරන්ත පීරිස් බව සඳහන්. මේ වන විට ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, මාණ්ඩලික සැරයන්වරුන් වන ප්‍රියන්ත කුමාර, කණිෂ්ක ගුණරත්න, ප්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර සහ රවීන්ද්‍ර රූපසිංහ යන සත් දෙනාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඇප මත නිදහස්ව සිටියි.

2010 වසරේ ජනවාරි මස 24 වැනි දින කොළඹට නුදුරු ප්‍රදේශයකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කර තිබෙන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට යුධ හමුදාවේ සහය නොලැබෙන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

කෙසේවෙතත් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීමට යුද හමුදා නිලධාරීන් වගකිව යුතු බවට සාක්ෂි හෙළිදරව් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.