යුධ හමුදාපති සහ ඉහළ නිලධාරීන් විසින් හමුදා නිලධාරීන් රැසක් පුද්ගලික පළිගැනීම් මත සේවයෙන් නෙරපා හැරීමේ උත්සාහයක

යුධ හමුදාපති සහ ඉහළ නිලධාරීන් විසින් හමුදා නිලධාරීන් රැසක් පුද්ගලික පළිගැනීම් මත සේවයෙන් නෙරපා හැරීමේ උත්සාහයක

23 September 2018 07:29 am

හමුදා නිළධාරින් ගණනාවක් යුක්තිය පතා අධිකරණයට

1983 ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ කිරීමෙන් පසු යුධ හමුදාවෙි පිරිස් බලය වැඩි කිරීම සඳහා නිලධාරීන් ගණනාවක් ඉතා කෙටි කාලයක් තුළ බදවා ගන්නා ලදී. 1985/1986 වර්ෂවල පාඨමාලා (intake) අංක 20 සිට 26 දක්වාත්, කෙටිකාලීන පාඨමාලා (Short Service) අංක 04 සිට 11 දක්වාත්, ජාතික සහයක බලකා (NAR) 01 සිට 04 දක්වාත්, ස්වෙච්ඡා පාඨමාලා (Volunteer) අංක 01 සිට 06 දක්වාත් ආරම්භ කළ අතර මෙම පාඨමාලා සඳහා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් බඳවා ගන්නා ලදී. එයින් වැඩිම පිරිසක් පාබල ඒකක (Infantry) වෙතද සහයක (Other Arms) හා සේවා ඒකක (Service) වෙත ඉතිරි නිලධාරීන් ද අනුයුක්ත කරන ලදී. මේ සියලුම නිලධාරීන් තම යෞවනය රට ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපකර, තම දෙමව්පියන්, බිරිඳ, දරුවන්ගෙන් ඈත්ව හමුදා ජීවිතයෙන් වැඩි කාලයක් උතුරු නැගෙනහිර යුධබිමේ ජීවිත අවදානමෙන් සේවය කර ඇති නිලධාරීන්ය. යුධ හමුදාපති හා වෙනත් ඉහළ තනතුරු දැරූ නිලධාරීන් තම පෞද්ගලික හිතවත්කම් මත සමහර නිලධාරීන්ට වැඩි සැලකිලි දක්වනවිටත්, පෞද්ගලික එදිරිවාදිකමි මත අසාධාරණකම් කිරීමේදීත් ඒවා විඳ දරාගෙන තම රාජකාරි ඉටුකර ඇත. මෙම අසාධාරණයට ලක්වූ නිලධාරීන්ගේ සේවය ඇගයීමකට ලක්කරනවා වෙනුවට වත්මන්ව හමුදා මුලස්ථානය විසින් ඔවුන්ගේ රැකියාව අහිමි කරවීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇත.

කන්නට ඕනෑ විට තලගොයත් කබරගොයා වීම

යුධබිමේ වසර ගණනාවක් සේවය කර වයස වසර 55 පිරී විශ්‍රාමයාමට ආසන්නයේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකුටම මෙි වනවිට ඔවුන් විසින් වසර ගනණාවකට පෙර සිදුකර ඇති සුළු වැරදි සැලකිල්ලට ගෙන ඉදිරි නිල උසස්වීම් ලබානොදීමටද, සේවයට සරිලන තනතුරු ලබානොදීමට හා අනිවාර්යයෙන් විශ්‍රාම යැවීමටද කටයුතු කර ඇත. ඔවුන් සිදුකර ඇති සුළු වැරදි වෙනුවෙන් අවවාද හෝ දඬුවම් ලබාදී, එයින් පසුව නිල උසස්වීම් කිහිපයක් ලබා, ඉතා හොදින් රාජකාරි ඉටුකර, ඉන්පසු කාලයේ කිසිම වැරද්දක් පිළිබඳ රපෝර්තුවී නොතිබියදී, එකම වැරද්දට මෙසේ අසාධාරණ ලෙස දෙවරක් දඩුවම් කිරීමට කටයුතු කිරීම යුක්ති සහගත නොවන බව පෙන්වා දිය හැක. නමුත් විශාල වැරදිකර ඇති නිලධාරීන් කිහිප දෙනෙකුටම පෞද්ගලික හිතවත්කම් මත නිල උසස්වීම් හා උසස් තනතුරු ලබාදී ඇති අතර වැරද්දකට දඬුවම් විඳ ඇති තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයකුට නොකැළැල් හමුදා දිවියකට හිමි “උත්තම සේවා පදක්කම” ලබාදීමට හමුදාවේ පවතින නීතිරීති පවා වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇත. එහි ඇති විශේෂත්වය නම් සුළු වැරදක් කර ඇති තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු “උත්තම සේවා පදක්කම” ලබාගැනීමට කර ඇති ලිඛිත ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබීමය.

වැටත් නියරත් ගොයම් කන හැඩ

යුද හමුදා නිලධාරීන්ගේ අනාගතය පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා මණ්ඩල පත් කරන නමුදු එම මණ්ඩලවලට අවශ්‍ය බලතල ලබාදී නොමැති බවත්, මණ්ඩල විසින් ලබාදෙන තීරණ බොහෝවිට ඉහළදී වෙනස්කර තම පෞද්ගලික හිතවත්කම් හෝ එදිරිවාදිකම් මත වෙනත් තීරණ ලබාදෙන තත්වයක් තිබී ඇති බවට ද තොරතුරු ලැබී ඇත. මීට අමතරව මණ්ඩලවල සිටින නිලධාරීන් ද යුක්තිසහගතව හා සාධාරණව කටයුතු නොකර තමන්ගේ හිතවතුන් බේරාගැනීමටත්, තරහකරුවන්ගෙන් පළිගැනීමටත් කටයුතු කර ඇති අවස්ථාද ඉතිහාසයේ ඇති බවට තොරතුරු ලැබී ඇත. තවත් විශේෂත්වයක් වනුයේ නිලධාරීන්ගේ ඉදිරි අනාගතය ගැන තීරණගන්නා මණ්ඩලවල සිටින නිලධාරීන් කිහිපදෙනෙකුටම නොකැළැල් හමුදා දිවියකට හිමි උත්තම සේවා පදක්කම නොමැති, විවිධ වැරදි සදහා දඬුවම් ලබාදී ඇති නිලධාරීන් වීමය. එය අදහාගත නොහැකි තත්වයකි.

උසස් වීමේ ධූරාවලිය උල්ලංඝනය කරමින්...

අසාධාරණයට ලක් වූ සමහර නිලධාරීන් යුධබිමේ (Combat Field) වැඩි ජීවිත අවදානම් ඇති තනතුරු වන, කණ්ඩභාර නිලධාරී (Platoon Commander), කණ්ඩායම් භාර නිලධාරී (Company commander) දෙවන අණදෙන නිලධාරී (Second in Command)වැනි තනතුරුවල ඉතා දක්ෂ ලෙස තම රාජකාරි ඉටුකර, පසුව හමුදාවේ වගකිවයුතු තනතුරු වන ඒකක අණදෙන නිලධාරී (Commanding Officer ) හා බලසේනාධිපති (Brigade Commander) වැනි තනතුරුද සාර්ථකව ඉටුකර කර්නල් හා බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද නිලධාරීන්ය.

හමුදා මුලස්ථානයෙන් පත්කරන මණ්ඩලයක් මගින් පහල නිලයක සිටින නිලධාරීයකු ඉහළ නිලයකට අදාළ තනතුරකට පත්කරන්නේ (බ්‍රි‍රගේඩියර්වරුන් ‘සේනාංකාධිපති’ Division Commander තනතුරටද, කර්නල්වරුන් ‘බලසේනාධිපති (Brigade Commander /බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික (Brigadier General Staff) බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක (Brigadier Admin & Quatering)වැනි තනතුරුවලටද, ලුතිනන් කර්නල්වරුන් ‘කර්නල් ප්‍රධාන මාණ්ඩලික (Colonel General Staff)කර්නල් පාලන හා භට කාර්ය සම්පාදක (Colonel Admin & Quatering) තනතුරුවලටද පත්කරන්නේ, ඔවුන් ඉහල නිලයට උසස්වීම් ලබාගැනීමට අවශ්‍ය සියලු සුදුසුකමි සපුරා තිබේ නම් පමණි. යුද හමුදාව විසින් ඔවුන්ගෙන් වසර ගණනාවක් සේවය ලබාගත්, ඉහළ තනතුරට හිමි නිල උසස්වීම ලබාදීම හමුදාවේ වගකීමක් වන අතර එය එම නිලධාරීන්ගේ අයිතිවාසිකමකි.

දුක් ගැනවිලි කියන්නත් පුද්ගලික හිතවත්කම් අවශ්‍යද?

මෙම නිලධාරීන් බොහොමයක් විසින් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳ යුදහමුදාපති වෙත ලිඛිතව දැනුම් දී සහනයක් ඉල්ලුම් කළ (Redress of Grievances) ඇති අතර, එම ඉල්ලීම් පිළිබඳ නිසි අවධානයක් යොමුනොකර, එහි සඳහන් කරුණු නිසි පරීක්ෂාවකට ලක්නොකර, සුදුසු මණ්ඩලයක් වෙත ඉදිරිපත්කර සහනයක් සලසාදීමක් සිදුනොකර ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

තම දුක්ගැනවිලි පැවසීමට යුධ හමුදාපති හමුවීම සදහා ඉල්ලීම් කළ නිලධාරීන් අතුරින්, පෞද්ගලික හිතවත්කම් ඇති නිලධාරීන්ට පමණක් ඒ සදහා අවස්ථාව ලබාදී ඇත. තමන්ට සිදුවී ඇති අසාධාරණවලට යුධ හමුදාවෙන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබෙන නිසා මේ වනවිට යුදහමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් තමන්ට සිදුව ඇති අසාධාරණකම් වෙනුවෙන් අධිකරණයේ පිහිට පතා තිබේ.

මීට අමතරව ෆීල්ඩ් මාෂල් සමග කිට්ටු සම්බන්ධයක් පවත්වන සමහර නිලධාරීන් ද යුධ හමුදාපති තනතුරට තරඟයක් දුන් බොනිෆස් පෙරේරාට හිතවත්ව කටයුතු කළ සමහර නිළධාරින්ද, හිටපු හමුදාපතිවරුන් වන ජගත් ජයසූරිය, දයා රත්නායක හා ක්‍රිෂාන්ත සිල්වා යටතේ ඉතා කිට්ටුවෙන් රාජකාරි කළ සමහර නිලධාරීන් ද තමන්ට සිදුවන සමහර අසාධාරණකම් පිළිබඳ කණස්සල්ලෙන් පසුවන නිසා එම නිලධාරීන් කිහිප දෙනෙකුද මේ වන විට නීතිඥයන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.

සල්ලි පොළියට ගෙන නඩු කියන තත්වයට යුද හමුදා නිලධාරීන් පත් කළේ කවුද?

යුධ බිමේ ජිවිතය පරදුවට තබමින් රාජකාරි කර, තමන්ට ලැබුණු වැටුප බොහොම අරපිරිමැස්මෙන් පරිහරණය කර, එයින් ඉතිරි කරගත් මුදල් (සමහර නිලධාරීන් ඉතිරි කරගත් මුදල් නොමැතිව පොළී පදනම මත ණයට මුදල් ලබාගෙන) නඩුදැමීමට නීතිඥවරුන්ට පිදීමට සිදුව ඇත. තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල් මෙසේ නීතිඥවරුන්ට වැය කිරීමට සිදුවීම පිළිබඳ ඔවුන් මහත් කණස්සල්ලට පත්ව ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරියසේන හා දීපාලි විජේසුන්දර, ෂෙහාන් ගුණරත්න, අර්ජුන ඔබෙිසේකර, ජනක්ද සිල්වා වැනි අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහල ප්‍රතිරූපයක් ඇති විනිසුරුවන් ඉදිරියේ විභාගවන නඩු වලින් තමන්ට සාධාරණයක් ලැබෙන බවට එම නිලධාරීන් තුළ දැඩි විශ්වාසයක් ඇත. තමන්ගෙන් යුද හමුදාව වසර ගණනාවක් සේවය ලබාගත් ඉහළ තනතුරට හිමි නිල උසස්වීම් ද තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට සරිලන තනතුරක් ද හමුදාමය නොවන වෙනත් පාඨමාලා (non military) හදාරා හමුදාවෙන් පිටත රැකියාවක් කිරීමට සුදුසුකම් ලබානොමැති නිසා වයස වසර 55 වනතුරු හමුදාවේ රැකියාව කිරීමට ඉඩ ලබාදෙන ලෙස ද වැනි ඉතාමත් සාධාරණ ඉල්ලීම් කිහිපයක් කර ඇත.

හමුදාව විසින් නිලධාරීන්ට සිදුකරන මෙම අසාධාරණකම්, රජයේ අනුදැනුම මත සිදුකරන ‘රණවිරු දඩයමක් ’ ලෙස සමහරුන් අර්ථකථන දෙන බැවින් මෙම තත්වය රජයට ද එතරම් හොඳ තත්වයක් නොවේ. එම නිසා අවම වශයෙන් යුධබිමේ වසර ගණනාවක් ජීවිත පරදුවට තබා, ඉතා අවදානම් ක්‍රියාන්විතවලට සහභාගිවී, රණශූරත්වයට පදක්කම් පවා ලබා සිටින නිලධාරීන්ට රටේ සේනාධිනායකයාගේ අවධානය යොමුකර, ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත්වී යම් සහනයක් ලබාදීම සුදුසුය.

- විශේෂ ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි.

සැ.යු.- මෙම ලිපියෙන් මතු කරන කරුණු සම්බන්ධයෙන් යුධ හමුදාපති, මාධ්‍ය ප්‍රකාශක හෝ බලය ලත් ඕනෑම නිලධාරියෙකු විසින් කරුණු පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට ලංකා නිව්ස් වෙබ් සූදානම් ය.