නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගේ ප්‍රශ්න 10 ට මහින්ද පිළිතුරු නොදුන්නේ ඇයි ?

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගේ ප්‍රශ්න 10 ට මහින්ද පිළිතුරු නොදුන්නේ ඇයි ?

3 October 2018 12:55 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා චීනයෙන් මුදල් ලබාගෙන ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් සිදුකළ අනාවරණය අසත්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඒකාබද්ධ විපක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව දිගින් දිගටම ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඒ එම පුවත අසත්‍ය බවට මෙතෙක් ඔහු නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත.
 
මෙම පුවතින් අනාවරණය කළ තොරතුරු අසත්‍ය නම් ඒ සඳහා ප්‍රතිචාර දැක්විය හැක්කේ ඔහුට පමණක් බව අදාල පුවත් වාර්තාව සකස් කළ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනී මාරියා අබි හබීබ් ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඇය මෙරට රූපවාහිනී ආයතනයකට ලබාදුන් ප්‍රකාශයකදී සඳහන් කර සිටියේ මෙම වාර්තාව සකස් කිරීමේදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අදහස් ලබා ගැනීමට කිහිප වරක් උත්සාහ කළ බවයි. මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම මගින් උත්සාහ කළ බවත් එහෙත් ඒ කිසිවක් සාර්ථක නොවූ බවත් ඇය එහිදී අවධාරණය කළාය. ඒ අනුව පැහැදිලි වන්නේ මහින්ද සහ ඔහුගේ පාර්ශ්වය හිතාමතාම නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනිය මගහැර ඇති බවයි.
 
කෙසේ වෙතත් මෙම වාර්තාව පළවීමෙන් පසු මහින්දලා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළේ තම පාර්ශ්වයෙන් කිසිදු විමසීමකින් තොරව මෙම වාර්තාව සකස් කර ඇති බවයි.
 
මාරියාගෙන් මහින්දට ප්‍රශ්න 10 ක්
 
මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට හෝ වෙනත් ආකාරයකින් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකිවීමෙන් පසු මාරියා හබීබ් ප්‍රශ්න 10 ක් මහින්ද රාජපක්ෂ වෙත යවා තිබේ. එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙතැයි මාස දෙකක් තිස්සේ ඇය බලා සිටි බව ද එම මාධ්‍යවේදිනිය පවසයි. හිටපු ජනාධිපතිවරයා නොමැති නම් බැසිල් රාජපක්ෂ වැනි මහින්දගේ සමීපතමයෙකු හරහා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට ද එම මාධ්‍යවේදිනිය උත්සාහ දරා ඇති අතර රාජපක්ෂ පාර්ශ්වය විසින් එම අවස්ථාව ද මගහැර තිබේ.
 
වගකිව යුතු මාධ්‍ය ආයතනයක් වශයෙන් නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත, තමන්ට එල්ල වන චෝදනා පිළිබඳව පිළිතුරු ලබාදීමට මහින්ද රාජපක්ෂට අවස්ථාව ලබා දී තිබියදී එම අවස්ථාව මගහැර තිබේ. එසේ මගහැර එකී වාර්තාව පළවූ පසු එය අසත්‍යයක් යැයි පන්සල් ගානේ සහ මහජන රැස්වීම් ගානේ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
 
මෙකී පුවත අසත්‍යයක් නම් ඔහු කළයුතුව තිබුනේ මාරියා හබීබ් මාධ්‍යවේදිනිය හමු වී ඒ බව ප්‍රකාශ කිරීමයි. අඩුගානේ මාධ්‍යවේදිනිය එවූ ප්‍රශ්න 10 සඳහා පිළිතුරු යැවීමට හෝ ඔහුට අවස්ථාව තිබිණි. එසේ වූවා නම් මාරියා හබීබ් සිය වාර්තාව සකස් කරන්නේ මහින්ද රාජපක්ෂගේ අදහස් ද සැලකිල්ලට ගනිමිනි.
 
නිව්යෝර්ක් ටයිම්ස් සිදුකළ අනාවරණය අසත්‍යයක් නම් මහින්දලාට ඊට පිළිතුරු ලබා නොදී සිටීමට කිසිදු හේතුවක් නැත. මාධ්‍යවේදිනිය හමුවීම හෝ ඇය ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම හරහා පෙනී යන්නේ එම අනාවරණය සත්‍යයක් වන බවයි.
 
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය මහින්ද රාජපක්ෂලා චීනයෙන් අල්ලස් ලබාගත් එකම අවස්ථාව ද නොවේ. මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද චීනයෙන් මුදල් ලබාගෙන ඇති බවට පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී වාර්තා වූ අතර ඊට අදාල චෙක්පත් පිළිබඳ තොරතුරු ද මාධ්‍ය හරහා එළියට පැමිණියේය.