යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නැවතත් තරගයක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නැවතත් තරගයක්

3 October 2018 03:46 pm

වත්මන් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ඔක්තෝම්බර් 02 විශ්‍රාම යාමෙන් හිස්වන මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමෙන් පසු, ඊළඟ උසස් තනතුර වන හමුදාපති පදවිය ලබාගැනීමට එය මහත් උපකාරි විය හැකි බැවින් මෙම තනතුර ලබාගැනීමට හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිපදෙනෙකු අතර මේවනවිට තරඟයක් ඇතිවී තිබෙන බවට තොරතුරු ලැබී ඇත.

රටේ සේනාධිනායක වශයෙන් ජනාධිපති විසින් මෙම තනතුරට සුදුසු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පත්කිරීමේදී නොකැළැල් හමුදා දිවියක් හිමි (unblemished military career) උත්තම සේවා පදක්කම(USP) ලබා තිබීම, යුධබිමේදි සතුරා ඉදිරියේ නීර්භීතව සටන්කර පදක්කම් ලබා තිබීම (Gallantry Medals- WWV,RWP,RSP) මාණ්ඩලික පාඨමාලාව සමත්ව (Passed Staff College- psc , ආරක්ෂක විද්‍යා පීඨයේ (ndc/ndu) පාඨමාලාව හදාරා, පුහුණු පාසැලක උපදේශකයකු ලෙස රාජකාරි කර හමුදා විෂයන් පිළිබඳ දැනුම දියුණුකරගෙන තිබීම, පාබල (infantry) හෝ සහයක (support arms) රෙජිමේන්තුවකට අයත්වීම, ඉංග්‍රීසි සිංහල භාෂා හොදින් හැසිරවීමේ හැකියාව, සෙබළුන්ගේ හා නිළධාරින්ගේ විශ්වාසය (confidence) දිනාගෙන තිබීම, හමුදාව තුළ යම් පිළිගැනීමක් ( recognition) තිබීම හා මනා පෞරුෂත්වයක් (personality) තිබීම යන සුදුසුකම් කෙරෙහි අනිවාර්්‍යයෙන්ම අවධානය යොමුකළ යුතුය.

ජ්‍යෙෂ්ඨත්වය හා ඉහත සදහන් සුදුසුකම් සපුරා ඇති නිළධාරින්ගේ නාමයෝජනා හමුදා මුලස්ථානය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකල යුතුය. වත්මන් හමුදාපතිට වඩා ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු සිටියදී හිටපු හමුදාපති විසින් මොහුව නිර්දේශ කිරිම නිසා එදා මාණ්ඩලික ප්‍රධානි තනතුර ලබාගෙන පසුව හමුදාපති තනතුරද ලබාගන්නා ලදී. හමුදා මුලස්ථානය විසින් පෞද්ගලික හිතවත්කම හෝ යම් බලපෑමක් මත නුසුදුසු පුද්ගලයකු නිර්දේශ කළහොත් එය හමුදාපතිගේ ප්‍රතිරූපයටද හානියක් විය හැක. දැනට හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පාඨමාලා වන අංක 18A, 19 හා 20ට අයත්, මාණ්ඩලික ප්‍රධානි තනතුරට නිර්දේශ කිරීමේදි ගැටළු ඇතිවිය හැකි නිළධාරින්ගේ විස්තර පහත සඳහන් කර ඇත.

අජිත් කාරියකරවන

පාඨමාලා අංක 18 න් අසමත්ව (relegate) 18A කණ්ඩයෙන් කොමිෂන් ලබා ගිණුම් කටයුතු, තූර්ය වාදක කණ්ඩායම් හා ගොවිපලවල් නඩත්තු කරන සේවා ඒකකයක් වන පොදුසේවා බලකායේ නිළධාරියෙක්ව සිට පසු කාලයක විජයබා රෙජිමේන්තුවට එක්වූ නිළධාරියෙකි. ප්‍රධාන පාඨමාලාවකින් අසමත්වී තිබීම, පාබල නිළධාරියෙකුවුවත් යුධබිමේදි සතුරා ඉදිරියේ වික්‍රමාන්විතව කටයුතු කළ බවට ඔප්පු කිරීම (proof) සඳහා කිසිම පදක්කම් ලබා නොතිබීම, මාණ්ඩලික පාඨමාලාව (psc) හදාරා හෝ පුහුණු පාසැලක උපදේශකයකු ලෙස රාජකාරි කර මනා දැනුමක් නොතිබීම, හමුදාවතුල විශාල පිළිගැනීමක් නොතිබීම හා මනා පෞරුෂත්වයක් නොතිබීම යන කරනු අයහපත් ලෙස බලපෑ හැක.

සත්‍යප්‍රිය ලියනගේ

නිළධාරින්ගේ නිල උසස්කිරීම්, තනතුරුවලට පත්කිරීම්, විදේශ පාඨමාලා හා තනතුරුවලට තෝරා ගැනීම්, අස්කිරීම් සදහා නිර්දේශ කිරීම්, විනය පිළිබඳ කටයුතු කිරීම් සදහා පත්කරන මණ්ඩලවල සභාපතිත්වය දරන්නේ මාණ්ඩලික ප්‍රධානි තනතුර හොබවන නිළධාරියාය. ඉක්මනින් කේන්තියට පත්වන, මත්පැන් සාදවලට වැඩි නැඹුරුවක් ඇති, විනය විරෝධී ක්‍රියාවන් සිදුකර දඩුවම්ලබා, නොකැලැල් හමුදා දිවියකට හිමි (unblemished military caree) උත්තම සේවා පදක්කම ( USP) පවා අහිමි මොහුව, විශිෂ්ඨ සේවා විභූෂණය වැනි විනය පිළිබඳ උසස්ම පදක්කම්ලාභින් සිටියදී මාණ්ඩලික ප්‍රධානි තනතුර නිර්දේශ කිරිම පවා සදාචාරාත්මක නොවන්නකි. විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන මොහුගේ සොහොයුරා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බැවින් යම් බලපෑමක් එල්ල කළ හැක. තවද හමුදාපතිගේ මස්සිනාගේ ඒකකයේ, මස්සිනාට ඉතා හිතවත් අයෙක් නිසා, හමුදාපතිට පවුලේ අයගෙන්ද බලපෑමක් එල්ලවීම නිසා නිර්දේශ කිරිමට පෙලඹිය හැක.

රුක්මල් ඩයස්

යුධබිමේ අත්දැකීම් අඩු, නීර්භීතව සටන්කිරීම වෙනුවෙන් කිසිම පදක්කම් ලබානොමැති, වගකීමකින් රාජකාරි කළ බවට වාර්තා නොමැති, නිතරම නැටුම් වැයුම් හා සාද පවත්වන, හමුදාව තුළ විශාල පිළිගැනීමක් ඇති නිළධාරියකු නොවන නිසාත්, නුදුරේදී විශ්‍රාම යාමට නියමිත නිසාත් මොහුට මෙම තනතුර ලැබේ යැයි සිතිය නොහැක.

රුවන් කුලතුංග

විනය විරෝධි ක්‍රියාවන් සිදුකර දඬුවම් ලබා, නොකැළැල් හමුදා දිවියකට හිමි (unblemished military career) උත්තම සේවා පදක්කම පවා අහිමි මොහුව, මාණ්ඩලික ප්‍රධානි තනතුරට නිර්දේශ කිරිම ගැටළු සහගතය. පාබල නිළධාරියකුවුවත් හමුදා දිවියේ බොහෝ කාලයක් මාණ්ඩලික තනතුරු දරා ඇති, යුධබිමේ කැපීපෙනෙන කාර්යයක් කළ බවට වාර්තා නොමැති අයෙකි.

ජගත් ගුණවර්ධන

යුද්ධයේදි මානසික ආතතිය ඇතිවී යුධබිමෙන් ඉවත්කර වගකිවයුතු තනතුරක් ලබානොදී නිල උසස් කිරීම් සඳහා නොසලකා හැර සිටි අයෙකි. ක්‍රිෂාන්ත සිල්වා හමුදාපති අවධියේදී ඔහුගේ ඒකකයේ නිළධාරියෙක් නිසා තම පෞද්ගලික හිතවත්කම මත නිල උසස්වීම් ලබාදුන් අයෙකි. මානසික රෝගියකු මාණ්ඩලික ප්‍රධානි තනතුරකට නිර්දේශ කිරීමක් සිදුවිය නොහැක.

නිර්මාල් ධර්මරත්න

විනය විරෝධී ක්‍රියාවන් රැසකටම චෝදනා එල්ලවී ඇති නිසාත්, මෑතකදි වගකිවයුතු තනතුරකට පත්කර නොමැති නිසාත්, උසස් තනතුරක් ලබානොදීම ගැන ෆීල්ඩ් මාෂල් ඔහු වෙනුවෙන් හමුදාපතිට චෝදනාකර ඇති නිසාත් මාණ්ඩලික ප්‍රධානි තනතුරට නිර්දේශ කිරීමක් සිදුවිය නොහැක.

අජිත් විජේසිංහ

යුධබිමේ රාජකාරි කර අත්දැකීම් අඩු, නීර්භීතව සටන්කිරීම වෙනුවෙන් කිසිම පදක්කමක් ලබා නොමැති හමුදාව තුළ පිළිගැනීමක් (recognition) නායකත්වයක් (leadership)මනා පෞරුෂත්වයක් (personality) තිබීම යන කරුණුවලදී පහළ මට්ටමක සිටින, නුදුරේදී විශ්‍රාම යාමට නියමිත නිසා මෙම තනතුර ලැබේ යැයි සිතිය නොහැක.

දුමින්ද කැප්පෙටිවලාන

විනය විරෝධි ක්‍රියාවන් රැසකට චෝදනා ලබා ඇති උත්තම සේවා පදක්කම ( USP) අහිමි මොහු හමුදාවෙන් ඉවත්කර සිට නැවත සේවයේ පිහිටුවා ඇත. ෆීල්ඩ් මාෂල් සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. ඉක්මනින් කිපෙන, කලබලයෙන් කටයුතු කරන නිසා මෙම තනතුරට නිර්දේශ කිරිමක් සිදුවිය නොහැක.

නිශ්ශංක රණවන

විනය විරෝධි ක්‍රියාවකට චෝදනා ලබා ඇති නිසා උත්තම සේවා පදක්කම (USP) අහිමි අයෙක් බැවින් මෙම තනතුරට නිර්දේශ කිරිමක් සිදුවිය නොහැක.

හමුදාපති විසින් මෙම නිළධාරින් නිර්දේශ නොකර, පාඨමාලා අංක 19 හෝ 20 ට අයත්, ඉහත සදහන් සුදුසුකම් සපුරා ඇති නිළධාරින්ගේ නාමයෝජනා ඉදිරිපත්කර, ජනාධිපති විසින් නිවැරදි තේරීමක් කර ඒ නිළධාරින් අතුරින් ඉතාමත් සුදුසු අයෙක් සදහා අනුමැතිය ලබාදී පත්කිරීම කළ යුතුය. නැතහොත් පසුගිය රජය සමයේ මෙන් දේශපාලන හිතවත්කම් හා විවිධ බලපෑම් මත නුසුදුසු පුද්ගලයකු පත්කළහොත්, සලාක සැපයුම්කරුවන්ගේ ව්‍යාපාර දියුණු කිරීම උදෙසා දිවා ආහාරය කඳවුරෙන් ලබාගැනීම අනිවාර්ය කර සෙබළුන්ගේ වැටුපෙන් මුදල් අයකර ඔවුන්ගේ අකමැත්තෙන් බලෙන් ආහාර ලබාදීමෙන් රජය කෙරෙහි කළකිරීමට පත්වී ඇති හමුදා සාමාජිකයන් තවදුරටත් රජය කෙරෙහි කළකිරීමට පත්විය හැක. මීට අමතරව එය යහපාලන රජයේ ප්‍රතිරූපයටද බලපෑ හැක.

මේ වන විට සුදුසුකම් නොමැති හා සුදුසුකම් ඇති නිළධාරින් කිහිපදෙනෙක් විසින් විවිධ පුද්ගලයන්, ආයතන හා ආගමික නායකයන් වෙත යමින් තමන්ට මෙම තනතුර ලබාගැනීමට දරුණු උත්සාහයක යෙදෙන බවට තොරතුරු ලැබී ඇත. නමුත් මෙම තනතුර සහ ඊළඟ හමුදාපති තනතුර සදහා ඉතාමත්ම සුදුසු පුද්ගලයා කවරෙක්ද යන්න ගැන හමුදාව තුළ, ආරක්ෂ අංශවලට සම්බන්ධ පුද්ගලයන් තුළ හා දේශපාලකයන් තුළ යම් අදහසක් ඇති නමුදු ජනාධිපතිගේ තේරීමට කිසියම් හෝ බලපෑමක් කළ නොහැකි බැවින් ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව විශ්‍රාමික ජෙනරාල්වරයකු ලංකා නිව්ස් වෙබ් සමග පැවසීය. ෆීල්ඞ් මාෂල්ගේ හිතවතෙක් පත්කිරීමට ඔහුට අවශ්‍ය නමුදු ඔහු විසින් නිර්දේශ කළ වත්මන් හමුදාපති ගැන පසුව ඔහු විසින් කළ ප්‍රකාශ නිසා මේවනවිට ඔහුගේ නිර්දේශ පිලිබද සැලකිල්ලක් නොදක්වන තත්වයක් ඇත.

යුධ හමුදාපතිට වසරක සේවාදිගුවක් ලබාදීම නිසා හමුදාපති පදවිය ආසන්නයටම පැමිණ විශ්‍රාම යාමට මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට, දම්පත් ප්‍රනාන්දුට හා පියල් වික්‍රමරත්නට සිදුවූ අතර හමුදාපතිගේ සේවා දිගුව අවසන්වීමට ප්‍රථම හමුදාපති පදවියට සුදුසුකම් ඇති තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිපදෙනෙකුටම වයස වසර 55 සම්පූර්ණවීම නිසා හමුදාපති පදවිය පෙනි පෙනීම විශ්‍රාමයාමට සිදුවී ඇත.

එය බොහෝ හමුදා සාමාජිකයන්ගේ නොසතුටට පත්වන කරුණක් බැවින් රජය විසින් මේ කරුණ පිළිබදව සැලකිල්ලක් දැක්විය යුතුය.

මේ අතර ලංකා නිව්ස් වෙබ් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් මේ වන විට දැනගැනීමට ලැබී ඇත්තේ ජනාධිපතිතුමා විසින් වත්මන් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දම්පත් ප්‍රනාන්දු හට දෙසැම්බර් 31 වනදා දක්වා, එනම් මාස 3 ක සේවා දිගුවක් ප්‍රදානය කර ඇති බවයි. ඒ අනුව මෙම තනතුර සඳහා කුළල් කා ගනිමින් සිටි තරගකරුවන්ගේ අපේක්ෂා සුන් වී ඇති බව ද වාර්තා වේ. 

- විශේෂ ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි.